[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 161 වැනි නිකාය සංවත්සර සැමරුම ලබන 29 වැනි දා

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 161 වැනි නිකාය සංවත්සර සැමරුම ලබන 29 වැනි දා

මහාවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ ‘නිකාය දිනය’ හෙවත් ආදි කර්තෘ දිනය වශයෙන් සැලකෙන්නේ, එම නිකාය ආරම්භ කරන ලද අතිපූජ්‍ය ශාසනවංශ කවිධජ සිරිසද්ධම්මාචරිය යති සංඝපති අඹගහවත්තේ සරණංකර ඉන්දාසභවරඤාණසාමි මහානායක මාහිමිපාණන් වහන්සේ අපවත් වූ (1886. 01. 29) දිනයයි. ඒ අනුව 2024. 01. 29 වන දිනට යෙදෙන්නේ 138 වැනි නිකාය දිනයයි.


රාමඤ්ඤ මහනිකායේ ආදි කර්තෘ අඹගහවත්තේ සරණංකර ඉන්දාසභවරඤාණසාමි මහා නාහිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකාය ආරම්භ කෙරෙන්නේ 1863 ජුනි 12 වැනි දින ය. එතැන් සිට 2024. 01. 29 වන දිනට යෙදෙන්නේ 161 වන නිකාය සංවත්සරයයි. මෙවර නිකාය දිනය හෙවත් ආදි කර්තෘ දිනයත් 161වන නිකාය සංවත්සර දිනයත් එක්කරමින්, නිකාය දින උත්සවය, රත්නපුර, ඇහැළියගොඩ, බළංගොඩ, නිවිතිගල යන ප්‍රාදේශීය සංඝ සභා හතරත් එම සංඝ සභාවල නිකායාරක්ෂක දායකසභාත්, සබරගමු පළාත් ආණ්ඩුකාරතුමා ඇතුළු සපරගමුව පළාත් සභාවත්, දිසාපතිතුමා සහ දිසාපති කාර්යාලයත්, අනෙකුත් රාජ්‍ය ආයතනත්, ප්‍රදේශවාසීන්ගේ සහයෝගයත්, ඇති ව ලබන 29 වැනි දින ප.ව. 2.00ට, රත්නපුර දිස්ත්‍රික් මහලේකම් ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහානායක, මීරිගම, මිණිඔළුව, විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති, අග්ගමහාපණ්ඩිත, දර්ශන විශාරද අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන,තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

එම උත්සවයේ දී අපේ රටටත් සම්බුද්ධ ශාසනයටත් උසස් සේවාවන් කරන ලද සපරගමු පළාතේ තෛ‍්‍රනිකායික මහාසංඝ රත්තනයටත් ගිහි ප්‍රභූන් කීප දෙනෙකුටත් ගෞරව සම්මාන ප්‍රදානයත් රත්නපුර දිස්ත්‍රික්කයේ සංඝසභාවලට අයත් දහම් පාසල් හා පිරිවෙන්වල පැවැත් වූ තරගවලින් ජයග්‍රහණය ලැබූ ගිහි-පැවිදි ශිෂ්‍යයන්ට සහතික පත්‍ර සහ ත්‍යාග ප්‍රදානයත්, ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ කීපයක් ඇතුළු ව සපරගමුවේ ශාසනික ප්‍රබෝධය සදහා ක්‍රියා කරන ලද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායික භික්ෂූන් වහන්සේගේ සේවාවන් අගය කෙරෙන අපේ මහතෙරවරු නමින් ලිපි එකතුවක් ද එළිදැක්වීමත් සිදුකෙරේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකාය ආරම්භ කරන ලද අතිපූජ්‍ය අඹගහවත්තේ සරණංකර ඉන්දාසභවරඤාණසාමි මහානායක මා හිමිපාණන් වහන්සේ, 1847 දී පැවිදි වී ඇත්තේ ගාල්ලේ තුවක්කුගල වත්තේ පුරාණ විහාරාධිපති, ස්‍යාමෝපාලි වංසික අක්මීමන සෝභිත හිමියන්ගේ ශිෂ්‍යයෙක් වශයෙන් ය. සරණංකර සාමණේරයන්, පානදුරයට කැඳවා ගෙනවිත් පාලි, සංස්කෘත, ඉංග්‍රීසි භාෂා උගන්වන ලද්දේ, කරතොට ධම්මාරාම හිමියන්ගේ ශිෂ්‍ය (අක්මීමන ධම්මසිරි හිමි) ප්‍රේදිරික් ද සිල්වා පණ්ඩිත සේකර ප්‍රපනේන්ත රාළහාමි විසින් ය.

පසුව අඹගහවත්තේ සරණංකර හිමියන්, විශේෂ අධ්‍යාපනයක් ලැබුවේ කරතොට ධම්මාරාම හිමියන්ගේ ශිෂ්‍ය බෙන්තර අත්ථදස්සි හිමියන්ගෙනි. එකල බෙන්තර අත්ථදස්සසි හිමියන් විසින් කරන ලද වාදවිවාදවලටත් සහභාගි වූ සරණංකර සාමණේරයෝ ධර්ම-විනය ඥානයෙන් සහ ගුණනුවණින් පිරිපුන් ව, උපසම්පදාව ලැබුවේ ව්‍ය. ව. 1855 දී බෙන්තර අත්ථදස්සි හිමියන්ගේ ආචාර්යත්වයෙන් මහනුවර මල්වත්තේ දී අක්මීමන සරණංකර නමින් ය.

ගුරුශිෂ්‍ය දෙදෙනා විසින් ම ඒ උපසම්පදාව ප්‍රතික්ෂේප කරන ලද නිසා ව්‍ය. ව. 1856 දී නැවත කෝට්ටේ කල්‍යාණ නදී උදකුක්ඛේප සීමාවේ දී සරණංකර සාමණේරයන් උපසම්පදාවට පත්කෙරිණ. එයත් ප්‍රතික්ෂේප කළ අඹගහවත්තේ හිමියෝ දසසිල් සමාදන් වී කලක් ගිහි ව සිටියහ. මේ කාලයේ දී අඹගහවත්තේ සිල්වතා, අක්මීමන සෝභිත හිමියන්ගේ උපදෙස් අනුව ගාල්ලේ පරමානන්ද විහාරාධිපති බුලත්ගම සිරිසුමනතිස්ස හිමියන් විසින් නැවතත් අඹගහවත්තේ සරණංකර නමින් ම පැවිදි කරන ලදී.

පසුව ගරු බුලත්ගම හිමියන්ගේ උපදෙස් පරිදි බුරුමයට වැඩම කළ අඹගහවත්තේ සරණංකර හිමියෝ, ‘බුරුමයේ රතනාපුණ්ණ රාජධානියේ පවත්නා භික්ෂු වංශ පරම්පරාව, ලංකාවේ මහාවිහාර පරම්පරාවට සම්බන්ධ බව දැනගෙන, එහි සංඝරාජ ඤෙය්‍ය ධම්මාභි මුනිවර ඤාණකිත්තිස්සිරි සඟරජ හිමියන් ප්‍රධාන භික්ෂූන් වෙතින් උපසම්පදාවත් ‘ඉන්දාසභවරඤාණසාමි’ යන ගෞරව සම්මානයත් ලැබූහ.

පසුව ඉරවඩි ගඟේ උදකුක්ඛේප සීමාවේ දී සංඝරාජයන් වහන්සේ ප්‍රධාන සංඝයා වෙතින් දළ්හී කර්මයක් (උපසම්පදාව ස්ථිර කිරීම හෙවත් උපසම්පදාව පිරිසුදු කිරීමක්) ලබා ගන්නා ලදී. සඟරජතුමන් ළඟ කලක් ධර්ම විනය හදාරා ආපසු එන අතර හංසවතී (පේගු) නුවර කල්‍යාණ නදී සීමාවේ දී වනවාසික භික්ෂූන් වෙතින් නැවතත් දළ්හී කර්මයක් ලබා ගෙන ගාල්ලට පැමිණියේ ව්‍ය. ව. 1862.08.18 වන දින දී ය.

එතැන් සිට අඹගහවත්තේ ඉන්දාසභවරඤාණසාමි මාහිමියෝ, ලාංකික ථේරවාදී භික්ෂු ශාසනයේ ආරක්ෂාවටත්, වර්ධනයටත් අවශ්‍ය වූ පිරිසුදු උපසම්දා විනය කර්මයක් කිරීමට, වනවාසික වරාපිටියේ සිරිසුමිිත්ත නාහිමි සහ වනවාසික පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද නාහිමි ආදීන් සමග සාකච්ඡා කර, ව්‍ය.ව. 1863 ජුනි 12වන දින ගාල්ලේ මහමෝදර උදකුක්ඛේප සීමාවේ දී සාමණේරයන් තිදෙනෙක් අධිසීලයට පත්කෙරෙමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය ආරම්භ කළහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය, ආරම්භයේ සිට ම, භාවිත වන්නේ මහාවිහාරික වනවාසික භික්ෂූන් විසින් ආරක්ෂා කරන ලද විනයානුකූල වූ සාම්ප්‍රදායික ප්‍රතිපත්තීන් ම ය. ඒවා අතර පාත්‍රය සහ ගොටු අත්ත භාවිතය, උභයාංශ පාරුපනය, සිවුරු පඬුගසා භාවිත කිරීම, පිණ්ඩපාතයේ වැඩීම, උපසම්පදාවට උදකුක්ඛේප සීමාව පමණක් භාවිත කිරීම, විහාරස්ථානවල දේවාල හෝ දේවපූජා නොපැවැත්වීම, ධර්මවිනය ගිහියන්ටත් කියාදීම, ශාසනික කටයුතුවල දී වනවාසික භික්ෂූන්ට ආවේනික වූ සිරිත් විරිත් හා විශේෂ වචන භවිත කිරීම ආදිය සඳහන් කළ හැකි ය.

මෙම සාම්ප්‍රදායික සිරිත්-විරිත් පිළිබඳ ව අන්‍ය නිකායික භික්ෂූන් වහන්සේත්, රාමඤ්ඤ නිකායික භික්ෂූන් වහන්සේත්, දායකයනුත් අතර විවාද ඇති විය. එවැනි විවාද අතර 1880. දඩගමුවාදය, 1886. පාරුපන වාදය, 1888. වාසිවාදය, 1890. හෙනරත්ගොඩ වාදය, 1892. අඟුරුවැල්ලේ වාදය, 1895. නූපෙ වාදය, 1896. ඇල්ගිරිය වාදය (විෂ්ණු දේවවාදය) ආදිය දැක්විය හැකි ය. මේ වාදවල දී රාමඤ්ඤ නිකාය වෙනුවෙන් ගිහි වියතුන් ඉදිරිපත් වීම විශේෂත්වයක් විය. එනිසා ම ධර්ම විනය උගත් ගිහිපිරිසක් ඇතිවිය. එම විවාද පිළිබඳ විස්තර ඤාණෝපායිනී, ලක්මිණි පහණ, ලංකා ප්‍රදීපය ආදී පුවත්පත්වල පළවිය.

එනිසා ලේඛකයන්ගේ, පාඨකයන්ගේ හා ශ්‍රාවකයන්ගේ දහම් දැනුමත්, සංස්කෘතික අවබෝධයත් වර්ධනය විය. ඒ අතර විවිධ ක්ෂේත්‍රවලින් පුළුල් දැනුමක් ඇති ගිහි උගත්තු බිහිවූහ. ඔවුහු රට, ජාතිය, සංස්කෘතිය පිළිබඳ පොතපත් ලියූහ. එමඟින් ජනතාවට, බුදුදහමත් දේශීය සංස්කෘතියත්, ලාංකික ඉතිහාසයත් පිළිබඳ ව අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. ඒ ප්‍රබෝධය, බුද්ධාගමේත් සිංහල ජාතියේත් ආරක්ෂාවට හේතු වූ බව සර් පොන්නම්බලම් රාමනාදන් මහතා වැනි වියතුන් විසින් ද ප්‍රකාශ කර ඇත.

විසිවැනි ශතවර්ෂයේ අගභාගයේ පමණ සිට බොහෝ භික්ෂූන් අතර ආධ්‍යාත්මික පරිහානීය ලක්ෂණ ප්‍රවර්ධනය වෙමින් පවතී. එයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ආරාමික ශික්ෂණයෙන් යුත්ත වූ ශාසනික ප්‍රතිපත්තිවලට ප්‍රමුඛත්වයක් දෙන භික්ෂු අධ්‍යාපනයෙන් බැහැර වූ භාෂා-ශාස්ත්‍ර සහ පාසල් විෂයානුබද්ධ අධ්‍යාපනයට පිරිවෙන් අධ්‍යාපනය යොමුවීමයි. එයින් පටිපත්ති සාසනයට සම්බන්ධ ආධ්‍යාත්මික අත්දැකීම්වලින් තොර භික්ෂුවකට අධිසීල, අධිචිත්ත, අධිපඤ්ඤා සංඛ්‍යාත උපසම්පදාවේ සජීවීකරණයට අත්‍යවශ්‍ය වන්නා වූ ප්‍රායෝගික කුසලතාව හීන වන්නේ ය. එය ශාසනික පරිහානියකට සෘජුව ම බලපාන බව අනාගතභය සූත්‍ර දේශනාවල සඳහන් වන්නේ ය.

එනිසා අතීත මහ යතිවරුන් මෙන් ම මෑත භාගයේ වැඩ සිටි අසරණ සරණ සරණංකර මාහිමි, වැලිතර අඹගහපිටියේ ඤාණවිමල මාහිමි, අඹගහවත්තේ සරණංකර ඉන්දාසභවරඤාණ සාමි වැනි මහයතිවරුන් විසින් ද ජීවිත පරිත්‍යාගයෙන් සුරකින ලද, උපසම්පදාව කේන්ද්‍ර කරගත් සජීවී සංඝ සමාජය ආරක්ෂා කිරීමට උපකාරී වන ලෙසින් වර්තමාන භික්ෂු අධ්‍යාපනය වෙනස් කිරීම ජාතික අවශ්‍යතාවක් බව, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 161වැනි නිකාය සංවත්සර දිනයේ දී, අවධාරණය කරන්නෙමු.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 24 බදාදා අ.භා. 09.54
පුර පසළොස්වක ලබා 25 බ්‍රහස්පතින්දා අ.භා. 11.27 ගෙවේ. 25 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]