[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැප කැමැති නම් සිත රැකගන්න

සැප කැමැති නම් සිත රැකගන්න

තථාගතයන් වහන්සේගේ නිරන්තර සාකච්ඡාවට බඳුන් වූ කරුණු අතර මූලික ස්ථානයක් සිත පිළිබඳව යොමු වී ඇති ආකාරය ත්‍රිපිටක ධර්මය තුළින් අනාවරණය වේ. ධම්ම පද පාලියෙහි චිත්ත වග්ගය ද සිත පිළිබඳව ඉතා සරල ව තොරතුරු සපයයි. විවිධ උපමා උපමේයයන් ද මේ සඳහා යොදා ගෙන ඇති අයුරු දැක ගත හැකි ය.

එහි ඇති සැලීම් ස්වභාවය පමණක් නොව චපල බව පිළිබඳව ද තොරතුරු සඳහන් වේ. එමෙන්ම නොරැකිය හැකි බව සේ ම වංක බව පිළිබඳවත්, එසේ ඇද ගැසෙන සිත වඩු කාර්මිකයකු ලීයක ඇද හරින්නාක් මෙන් ඍජු කර ගත යුතු ආකාරය ද දැක්වේ. එසේම සිතෙහි ඇති සැලෙන බව දැක්වීම සඳහා දියෙන් ගොඩගත් මත්සයෙකුගේ හැසිරීම් රටාව අපේ අවධානයට ලක්කොට ඇත. මෙම වංකභාවයත්, සැලෙන ස්වභාවයත් අප විසින් සවිමත් කර ගත යුතු වන්නේ කෙලෙස් දුරලීමේ දුෂ්කර ක්‍රියාවලිය ශක්තිමත් කර ගැනීම සඳහා බව ඉතා පැහැදිලිය.

පුහුදුන් සත්වයින්ගේ නිරන්තර අපේක්ෂාව වන්නේ සැප කැමතිවීම මෙන්ම එම සැප ළඟා කර ගැනීම සඳහා ක්‍රියාත්මක වීම ය. සැපයෙහි ස්වභාවය ලෞකික සහ ලෝකෝත්තර යනුවෙන් දෙයාකාර වේ.

ලෞකික සැප අපේක්ෂාවෙන් නිරන්තරව උත්සාහ වන බොහෝ පිරිසක් ඇත. අස්වාදනීයත්වය එහි ස්වභාවය වේ. එම ආශ්වාදනීය බවෙහි තාවකාලිකත්වය දන්නේ නමුදු බොහෝ දෙනා සීඝ්‍රයෙන් හඹා යන්නේ ඒ සඳහාම ය.

ලෝකෝත්තර සැපයෙහි සුවිශේෂත්වය වන්නේ අවින්දනීය බව ය. එය සැපයක් වන්නේ ද එනිසා ම ය. කෙසේ නමුත් කිනම් සැපයක් සඳහා වුව ද අපේ සිතට හිමි වන්නේ ප්‍රමුඛතාවයක් ම ය. ඒ බව ධම්මපද පාලියෙහි චිත්ත වග්ගයට අයත්

“දුන්නිග්ගහස්ස ලහුනේ – යත්ථ කාම නිපාතිනෝ,

චිත්තස්ස දමතෝ සාධු – චිත්තං දන්තං සුඛා වහං “

මෙම ගාථා ධර්මයෙන් මනාව පැහැදිලි කොට තිබේ. ඉන් පැහැදිලි කරනුයේ ද සිතෙහි ඇති මෙම ස්වභාවය පිළිබඳවය. “දුන්නිග්ගහස්ස” යනු දමනය කිරීමට ඇති අසීරුතාවය පැහැදිලි කරන යෙදුමකි. සිත ඉතා දුෂ්කරව දමනය කරනවා පමණක් නොව එක් අරමුණක තබා ගැනීමේ නොහැකියාව ද පෙන්නුම් කෙරේ. ‘ලහුනෝ යන්න ක්ෂණිකව සිදුවන සිතෙහි හට ගැනීම හා බිඳීයාම ඉතා යුහුසුළුව සිදුවන අයුරු ප්‍රකාශ කරන්නකි. මරණ ධර්මය පිළිබඳව කරන විග්‍රහයන් හි දී ක්ෂණික මරණය ලෙස දක්වා ඇත්තේ ද මෙම කරුණම ය.

“යත්ථ කාම නිපාතිනෝ” මින් අදහස් වන්නේද සිත තමා කැමති අරමුණ කරා අප නොදැනුවත්ව ම ගමන් ගන්නා බවයි. සිත, සිත කැමති ඕනෑම තැනක රැඳිය හැකි බව මින් ප්‍රකාශ වන අතර, එහිදී උස් පහත්කම් හෝ නෑ නොනෑකම් විෂයක් වන්නේ නැත. කායිකව සිදුවන සිරගත කිරීමක දී වුව ද සිත තම රුචිකත්වයන් හා සමඟ නිදහස්ව හැසිරෙන අයුරු මින් පැහැදිලි කෙරේ.

මෙබඳු වූ සිත කීකරු කර ගැනීම දමනය කර ගැනීම කළ හැකිවන්නේ නම්, “සුඛාවහං” ලොව්තුරා සැප සඳහා මං පෙත් විවර වන බව ධර්මයෙහි දැක්වේ.

මේ අනුව සැප අපේක්ෂා කරන්නන්ගේ වගකීම වන්නේ “චිත්තං දන්තං” යනුවෙන් දැක්වෙන පරිදි තම සිත මනාව කීකරු කර ගැනීම ය.

වස්සාන සමයෙහි ඉතිහාසය තථාගත ධරමාන කාලය දක්වා දිවෙන්නක් බව අපේ ධර්ම සාහිත්‍ය මඟින් අනාවරණය කරනු ලැබේ. එහි දැක්වෙන තොරතුරු අනුව අතීතයේ සිටම මෙම උතුම් පින්කම සඳහා භික්ෂු භික්ෂුණීන් ද දායක දායිකාවන් වශයෙන් ගිහි සමාජය ද දක්වා ඇත්තේ විශාල උනන්දුවකි. බරණැස ඉසිපතන මිගදාය කේන්ද්‍ර කොටගෙන ඇරඹුණ, මෙම දීර්ඝ කාලීන ව්‍යායාමයෙහි නියැළෙන ලද්දේ එය විනය ප්‍රඥප්තියක් ලෙස ද, ශාස්තෘ නියමයක් ලෙස ද සලකමින් ය.

ඒ අනුව ආරාධනා ලැබ හෝ නොලැබ මෙම උතුම් සිරිතෙහි නියැළීම සඳහා ඇතැම්විට භික්ෂූන් වහන්සේලා ගව් ගණන් යොදුන් ගණන් පා ගමනින් වැඩම කර ඇති අයුරු අපේ ධර්ම සාහිත්‍ය මගින් වාර්තා කොට ඇත. එසේ ගමන් ගන්නා භික්ෂූන් මුහුණ දෙන ලද දේශගුණික සහ පාරිසරික ගැටලු පමණක් නොව ගෝචරස්ථාන පිළිබඳ දුෂ්කරතාවන් පිළිබඳවද සඳහන් වේ.

එමෙන්ම අමනුෂ්‍ය උපද්‍රව ද, විවිධ මනුෂ්‍ය උපද්‍රව ද විඳ දරා ගනිමින් මෙහි නියැළුණු ආකාරය සැබැවින්ම අනුවේදනීය වේ. බුදුරදුන් තව්තිසාව ආදී දිව්‍ය ලෝකයන්හි පවා වස් වසා වැඩසිටි අතර “යව“ වැනි රළු ආහාරයන්ද වලඳමින් අති දුෂ්කරතාවයන්ගෙන් යුතුව නේරංජාවේ දී වස්සාන සමයක් ගෙවාලූ ආකාරය ද ප්‍රකට සිදුවීමකි. කෙසේ නමුත් මෙම විශේෂිත කාලසීමාව තුළදී කිසියම් මාර්ග ඵලයකට පත්වීම දායක දායිකා අපේක්ෂාව විය. භික්ෂූන් වහන්සේලාගේ ව්‍යායාමය ද වූයේ වස්සානය නිමවීමට පෙර කෙසේ හෝ නිර්වාණ අවබෝධය ලබා ගැනීම ය.

ඉහත ගාථා ධර්මය දේශනා කොට ඇත්තේද, වස්සාන සමයක සිදු වූ එබඳු සිදුවීමක් පාදක කොටගෙන ගත් එක්තරා භික්ෂුවක් අරමුණූ කොටගෙන ය. කෝසළ රාජ්‍යයට අයත් ඇළගම නමින් හඳුන්වන ලද ග්‍රාමය නිගමයක් විය.

මෙහි ධනවත් වූ ද සැදැහැවත් බවින් ද පරිපූර්ණ මාතිකමාතා නම් වූ උපාසිකාවක් වූවා ය.ඇය නිරන්තරයෙන්ම තම පුණ්‍ය මහිමයෙන් ලබන ලද ධනය පරිහරණය කරන ලද්දේ පරලොවට ද ගෙන යා හැකි අයුරින් ය. බුද්ධාදී රත්නත්‍රය පිළිබඳව වූයේ අසීමිත විශ්වාසයක් ද ගෞරවාන්විත වූ පිළිගැනීමකි. එක්තරා වස්සාන සමයකට ආසන්නව සැට නමක් පමණ වූ භික්ෂු පිරිසක් එම ගමට වැඩමවන ලද්දේ . එම උපාසිකාව ඉතා මිහිරි අයුරින් දන් පැන් සකසා දෙමින් මහත් ගෞරවයෙන් යුතුව පිළිගන්නා ලද්දීය.

වස් විසීම සඳහා ආරාධනා කරනුයේ සිව්පසයෙන් පූජා පවත්වමින් සංඝෝපස්ථානයෙහි නියළුණේ ද මහත් ශ්‍රද්ධාවෙන් යුතුව ය.

භික්ෂු පිරිස ද එහි උපාසිකාවගේ ශ්‍රද්ධා මහිමය තේරුම්ගෙන ඇයට ද අනුග්‍රහයක් වශයෙන් වෙන් වෙන්ව අධිෂ්ඨානශීලිව භාවනාවෙහි නියැළුණි. එක් දිනක් ආරාමයකට ගිය මාතික මාතාවන්ට කිසිදු භික්ෂුවක් දක්නට නොලැබීමෙන් කැළඹුණ සිතැත්තී සීනුව නාද කරන්නීය.

එක් එක් නම වෙන් වෙන් මාර්ග වලින් තනි තනිව පැමිණීම දැක විමතියට පත් වුණි. භික්ෂු පිරිස කිසියම් කරුණක් නිසා අසමගිව. අසතුටින් වෙන්ව සිටිතැයි සැක සිතුවා යි ඒ ගැන විමසුම් කරන්නී, ලද පිළිතුර වූයේ තමන් වහනසේලා සිදු කරන භාවනාව සඳහා ඇති විය හැකි බාධා අවම කිරීම සඳහා එක්ව නොවෙසෙන බවයි.

මේ අනුව භාවනාව පිළිබඳ කිසියම් අවබෝධයක් මෙන්ම රුචියක් ඇති කරගත් එම උවැසිය තමන් ද එහි යෙදිය හයුතු යැයි දිරිමත්ව කායගතාසති භාවනාවෙහි යෙදුණා ය. අනාගාමිඵල සුවය ලබා ගැනීමට සමත් වූවා ය. අනතුරව වස් විසූ භික්ෂු පිරිස එතෙක් මගඵල ලාභී නොවන බව, දැන රහත්භාවය ලබා ගැනීම සඳහා විවිධ අයුරින් උනන්දු කරවන ලද්දේ භික්ෂූහු ද අධිෂ්ඨානශීලිව බවුන් වඩා රහත්භාවයට පත් වූහ. උන්වහන්සේ බුදුරදුන් හමුවේදී මාතික මාතාවගේ බහුවිධ ගුණයන් ද ප්‍රකාශ කළහ.

මෙම සිදුවීම අසා සිටි එක්තරා භික්ෂුවක් එම ස්ථානය හා උපාසිකාව සොයා යන්නේ ඇයගේ අනුග්‍රහයද නොඅඩුව ලබමින් භාවනාව සඳහා යොමු වූයේ නමුදු උපාසිකාවගේ පරසිත් දන්නා නුවණ පිළිබඳව දැන බියපත්ව බුදුරදුන් මුණ ගැසී තමන්ට මුහුණ දීමට සිදුවී ඇති ගැටලුව ප්‍රකාශ කරන ලදී.

පුහුදුන් තම සිතට නැගෙන විවිධ පාපී සිතුවිලි උපාසිකාව විසින් දැකිය හැකි යැයි සිතා පසුගාමී වූ එම භික්ෂුව දිරිමත් කළ තථාගතයන් වහන්සේ සිත රැකගැනීම දුෂ්කර වුව ද එම ව්‍යායාමය සැපය සඳහා හේතු වන බව දේශනා කරමින් හෙතෙම නැවතත් එම ස්ථානයටම යොමු කරන ලදහ.

අනතුරුව උපාසිකාවගේ අනුග්‍රහය ලබමින් දැඩි සේ භාවනාව සඳහා උත්සාහවත් ව ක්‍රියා කළ එම තෙරුන් රහත් භාවයට පත්වීමේ සිදුවීම උක්ත දේශනය සිදුකිරීම සඳහා හේතු වී ඇත.

  නවම්
පුර පසළොස්වක 

පෙබරවාරි 26 සිකුරාදා අපරභාග 15.50 පසළොස්වක ලබා 27 සෙනසුරාදා අපරභාග 13.47 ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 26

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

 

 

 

 

 

 

 

 

 


 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]