[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආලෝකය දකිමින් අඳුරට වැටීම

ආලෝකය දකිමින් අඳුරට වැටීම

බොහෝ දෙනා තම උපන්දිනය සමරති.

සමරා පී‍්‍රති වෙති. සැබැවින්ම එම සැමරුමේ දී කළ යුත්තේ කුමක් ද? එය ගැඹුරින් සිතියයුතු කරුණකි. එසේ සිතා බැලීමේ දී එය පි‍්‍රය සම්භාෂණ පවත්වා සතුටුවිය යුතු කරුණක් නොවන බව පැහැදිලි වේ.

මන්දයත්, මරණයට තවත් අවුරුද්දකින් ළංවීමක් එයින් සිදුවේ. ඒ ගැන සිතන විට කවර සිනාවක් ද? කවර සතුටක් ද? මොන පි‍්‍රය සම්භාෂණ ද?

පී‍්‍රතිවීම පසෙකලා පිනක් දහමක් කරගැනීම, අවබෝධයෙන් කටයුතු කරන්නන්ගේ ලක්ෂණයයි.

ශ්‍රී ලංකාවේ උපන්දින සැමරුම සඳහා බොහෝ දෙනා අනුගමනය කරන්නේ ඉංගී‍්‍රසීන්ගේ චාරිත්‍ර විධි ය. සමහරු කේක් කපති, ඉටිපන්දම් දල්වති “Happy birth day to you”  කියා ඤාති හිත මිත්‍රාදීන් සුබ පතති. එය ඉංගී‍්‍රසීන්ගේ පිළිවෙතයි. චාරිත්‍රයයි. නමුත් අද බහුතරයක් බෞද්ධයින් තුළ සිදුවන්නේ විජාතිකයන්ගේ ගති සිරිත් අනුකරණය කිරීම ය.

අනිත් අතට නො දැනුවත්ව ම ඒ තුළින් සිදුවන්නේ සිංහල බෞද්ධයින්ගේ උදාර බෞද්ධ සංස්කෘතික අනන්‍යතාවය, උරුමය විනාශ වීමයි. එය බුදුදහමට පටහැනි ය.

බෞද්ධයින්ට ඕනෑම කටයුත්තක දී ආශිර්වාදය ලැබෙන ක්‍රම බුදුදහම තුළ ඇත. එසේ තිබියදීත් දැන දැනම ප්‍රතිඵලයක් නොලැබෙන ක්‍රියාවන් තුළ රැඳී සිටීම අනුවණ ක්‍රියාවකි.

විජාතික චාරිත්‍ර විධි අනුගමනය කර උපන්දින පි‍්‍රයසම්භාෂණ පැවැත්වීමෙන් බෞද්ධයින්ට උදාවන සෙත කුමක්ද? ආශිර්වාදය කුමක්ද? ප්‍රතිඵලය කුමක්ද? එයින් ලැබෙන එකම ප්‍රතිඵලය නම් පැමිණි සියලු දෙනා සමඟ කා බී සතුටුවීම පමණි. යම් තෘප්තියක් ලැබීම පමණි. ඒ තුළ අයහපත් ප්‍රතිඵල කිහිපයක් තිබේ. මත් වතුරෙන් සංතර්පණය වේ. එයින් විකාරත්වයට පත්ව වියරු වැටීම් කෑකෝ ගැසීම්, අමනාපකම් හා ගැටුම් ඇතිවේ. මිල මුදල් විනාශ කර ගැනේ. මෙලොව පරලොව දෙලොවට යහපතක් නොවන පාප කර්ම කිරීමට පෙළඹේ. තමන් බලාපොරොත්තුවන ආගමානුකූලව උපන් දිනය සැමරීමෙන් අර්ථාන්විත වටිනාකමක් ජීවිතයට එක්කරනු ඇත. ඒ තුළ මහඟු ප්‍රතිඵල ඇතිකරයි.

දානමය පින්කම්, බෝධි පුජා පින්කම්, සෙත් පිරිත් දේශනා පූජා බුද්ධියෙන් කරන පින්කම් වේ. දුගී මගී යාචකාදීන්ට ආහාර ඇතුලු වෙනත් අවශ්‍යතා පරිත්‍යාග කිරීම, බලු, කපුටු දාන දීම, වැඩිහිටි නිවාසවලට, ළමා නිවාසවලට යම් යම් දේ පරිත්‍යාග කිරීම ශ්‍රමදාන කටයුතු කිරීම, ආදී ප්‍රජා සත්කාරක වැඩසටහන් ලෙස අනුග්‍රාහක බුද්ධියෙන් දෙන දාන ලෙස කළ හැකි පින්කම් ය. ඒ පින්කම් තෙරුවන් මුල් කරගෙන උපන් දින සැමරුමක දී අර්ථවත්ව කළ හැකි මා හැඟි උතුම් පින්කම් ය. බුදුදහමට අනුකූලව එම පින්කම් කිරීමේ දී තෙරුවනේ ආශිර්වාදය ලැබේ.

තෙරුවන් ඉදිරියේ කිසිවකුට මත් ද්‍රව්‍ය භාවිතයට ඉඩක් නැත. අඬදබර කල කෝලාහල, ගැටුම්, අමනාපකම් නැත. පාලනය කර ගත් සිත් ඇති බව, සන්සුන් ඉඳුරන් ඇති බව, මිනිස් චිත්ත සන්තානය තුළ ඇති වේ.

අපල, උවදුරු බාධක කරදර රෝග පීඩාදී ය අනතුරු වළකා ගැනීමට හා ඒවා මඟ හැර යාමට ද මේ පින්කම්වල බලය හේතු වේ. ඒ ආශිර්වාදය ඒ ඤාති හිත මිත්‍රාදීන්ගේ ජීවිතවලට ද ආශිර්වාදයක් වේ. එවැනි පින්කම් කිරීමෙන් රැස්වෙන පින් සියලු දෙවියන්ට, භූත කොට්ඨාසවලට, සියලු සත්ත්වයින්ට, දිවංගත ඤාති හිත මිත්‍රාදීන්ට ද අනුමෝදන් කළ හැකි වේ.

අනාගත යහපත් බලාපොරොත්තු සපලකර ගැනීමට ද හැකි වේ. ඒ කරන පින්කම් මරණාසන්න මොහොතේ දී අරමුණු වීමෙන් චිත්තප්‍රසාදය ඇති වී ඒ සිතින් මරණයට පත්වීමට හැකි වේ.

මෙලොව පරලොව ජීවිතවලට ආයු, වර්ණ, සැප, බල ප්‍රඤ්ඤා ලැබෙනු ඇත. උපන්දින තෑගි බෝගවලට ද වඩා වටිනාකම් ඇති අමිල ආශිර්වාදයක් ඒ පින්කම් තුළින් ලැබේ.

  නවම්
පුර පසළොස්වක 

පෙබරවාරි 26 සිකුරාදා අපරභාග 15.50 පසළොස්වක ලබා 27 සෙනසුරාදා අපරභාග 13.47 ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 26

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

 

 

 

 

 

 

 

 

 


 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]