[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩම කිරීම. කැලණි විහාරයේ සිතුවමකි.
 චිත්‍ර ශිල්පී සොයිලියස් මැන්දිස්

  උඳුවප් පුර
පසළොස්වක 

දෙසැම්බර් 29 අඟහරුවාදා පූර්වභාග 07.54 න් පසළොස්වක ලබා 30 බදාදා පූර්වභාග
8.58 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

 

 

 

 

පොළොන්නරුව සොළොස්මස්ථාන පූජා භූමි ලෙස නම් කෙරේ

අගමැති අතින් අනුරාධපුරයේදී විවෘත කිරීම්

රජරට බෞද්ධ උරුමය හා පුරා වස්තු විනාශ කිරීමට ඇතැම් අන්තවාදී පිරිස් කටයුතු කරමින් සිටී. විජිතපුර බලකොටුවේ සෙල්ලිපි පවා රැගෙන ගොස් නිවාසයන්හි තබා ගත් අය පසුගියදා අත්අඩංගුවට ගැනීම පවා සිදු කරනු ලැබුණි. අපේ ආදිකාලීන උරුමය බෞද්ධ උරුමය හා එක්ව බැඳී පවතින්නකි. ඒ බොදු උරුමයන් රැසක් තවමත් නිසි පරිදි ආරක්ෂාවකින් තොරව පැවතීම ගැටලුවක් බව තේරුම් ගත් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය පූජාභූමි සංවර්ධනය කිරීමටත්, පූජා භූමි ලෙස ආගමික සිද්ධස්ථාන නම් කිරීමටත් කටයුතු කර ඇත. ඓතිහාසික රජරට රාජධානියේ චාරිකාවක නියැළුණු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ‘පොළොන්නරු ඵෙතිහාසික සොළොස්මස්ථාන පූජා භූමියක්' ලෙස ප්‍රකාශයට පත් කිරීම පසුගිය 20 වැනිදා සිදු කළා. ඒ චාරිත්‍රානුකූල උත්සවයකදීය. ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යතුමා විසින් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති, මහනුවර අස්ගිරි පාර්ශ්වයේ ගෙඩිගේ රාජමහා විහාරාධිපති වේඬරුවේ ශ්‍රී උපාලි අනුනායක හිමිපාණන් වෙත අදාළ සන්නස් පත්‍රය ප්‍රදානය ක‍රනු ලැබීය. වේඬරුවේ ශ්‍රී උපාලි අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් මෙහිදී අග්‍රාමාත්‍යතුමා ඇතුළු ආරාධිත මැති ඇමතිවරුන්ට ආශිර්වාද පිරිත් දේශනාවක් පැවැත්වූහ. වත්මන් රජයේ 'සෞභාග්‍යයේ දැක්ම' රාජ්‍ය ප්‍රතිපත්තිය අරුත් ගන්වමින්, බුදු දහම ප්‍රමුඛත්වයෙහි ලා සලකමින්, ආධ්‍යාත්මික වශයෙන් පිරිපුන් ගුණගරුක ජන සමාජයක් බිහි කිරීම හා ශ්‍රී ලාංකේය ඵෙතිහාසික උරුමයන් අනාගත පරපුර වෙත සුරක්ෂිත කොට දායාද කිරීමේ අරමුණින් පොළොන්නරු ඵෙතිහාසික සොළොස්මස්ථාන රජමහා විහාරස්ථානය අංක 2201/2 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය.

අසිරිමත් උඳුවප් පොහොය

උඳුවප් පොහොය දිනය හා සම්බන්ධ ව පවත්නා ඉතා වැදගත් ඓතිහාසික සිදුවීම් නම් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩමවීමත්, ලංකාවේ භික්ෂුණී සමාජය ආරම්භවීමත් ය. දඹදිව සිට සංඝමිත්තා මහ රහත් තෙරණිය ප්‍රමුඛ භික්ෂුණීන් වහන්සේලා එකොළොස් නමක් විසින් වැඩම කරවන ලද බෝධි ශාඛාව දේවානම්පියතිස්ස රජු විසින් අනුරාධපුර මහමෙව්නා උයනෙහි පිහිටුවනු ලැබී ය. ලක්දිව දඹකොළ පටුනට පළමුවෙන් ම වැඩමකර වූ බෝධීන් වහන්සේ එහි සිට අනුරාධපුර මහමෙව්නා උයනට වැඩමවීම හා එහි රෝපණය කිරීම නිමිති කරගෙන ලක්දිව එතෙක් නොවූ විරූ අන්දමේ අසිරිමත් උත්සවයක් පවත්වා ඇත. මහාවංසයේ හා බෝධිවංසයේ දැක්වෙන පරිදි ඉතා දැකුම්කළුව සකස් කළ රථයක් මත තැන්පත් කළ බෝධීන් වහන්සේ වැඩම වූ පුද පෙරහර නාගදීපයෙහිත්, තිවක්ක නමැති බමුණා ගේ ගමෙහිත්, පුද සත්කාර, පිණිස නතර කොට තිබේ. නගරයේ උතුරු දොරටුවෙන් අනුරාධපුර අගනුවරට වැඩමකර වූ පුද පෙරහර මහමෙව්නා උයනට පිවිස එහි සකස් කළ උස් භූමියෙහි බෝධි රෝපණය සිදු කෙරිණි. මහාවංසයෙහි දැක්වෙන අන්දමට මෙම බෝධි රෝපණ මහෝත්සවය සඳහා කතරගම ක්ෂත්‍රිය රජ දරුවෝ ද, සඳුන්ගම රජ දරුවෝ ද , තිවක්ක බ්‍රාහ්මණයා ද සහභාගි වී තිබේ. මේ අනුව ලංකාවේ සියලුම ප්‍රභූ ජන නායකයින් ගේ සහභාගිත්වයෙන් ජාතික උත්සවයක් ලෙස බෝධි රෝපණ මහෝත්සවය සිදු වී තිබේ.

 

සිරිපා කරුණා සමයේ පුදසිරිත් මෙවරත් චාරිත්‍රානුකූලව ම ඉටුකරනවා

අතීතයේ සිට මෙරට වන්දනාකරුවන් ශ්‍රී පාද වන්දනාව සෙසු වන්දනාවන්ට වඩා වෙනස් ලෙසකින් සිදු කළ බව ඉතා පැහැදිලියි. වෙනත් වන්දනාවන්හි දී ස්ථාන කිහිපයක් යොදා ගත්තත් සිරිපා වන්දනාවේ දී එය පමණක්ම යොදා ගන්නේ එය දුෂ්කරම මෙන්ම විශාල ගෞරවයක් සහිතව වචන පවා ඉතාම සංවරව භාවිත කරමින් ගමන් කළ යුතු වන්දනාවක් වීම නිසයි. සිරිපා වන්දනාව ඇරැඹෙන්නේ පැල්මඩුල්ල, ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සධාතුක කරඩුව සමන්දේව ප්‍රතිමාව හා දේවාභරණ උඳුවප් පොහෝ දිනට පෙර සිරිපා මළුවට වැඩම කිරීමෙන් පසුවයි. ඒ අනුව දෙසැම්බර් 27 වැනිදා පෙරහරින් සමනල කඳු මුදුන වෙත වැඩම කිරීමට කටයුතු යොදා තිබුණා. වෙනදා එම පෙරහර ස්ථාන රැසක නවත්වා ජනතාවගේ ගෞරව බුහුමන්වලට ලක් වුණත් මෙවර පෙරහර අතරමඟ කිසිදු ස්ථානයක නවත්වන්නේ නැහැ. එහෙත් ජනතාවට පෙරහර නැරැඹීමටත් එයට වන්දනාමාන කිරීමටත් අවස්ථාව සලසා තිබෙන්නේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුවයි. එමෙන්ම 28 වැනිදා පෙරහර සිරිපා මලුවට පැමිණෙන විට පෙරහර පිළිගැනීමට එහි ගොස් සිටි විශේෂ කණ්ඩායම ද මෙවර පූර්වයෙන් ගමන් කරන්නේ නැහැ. හැකි උපරිම ලෙසින් සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරීමයි එයින් අදහස් වන්නේ. උඳුවප් පුර පොහෝ දිනෙන් ආරම්භ වන වන්දනාව වෙනදා මෙන් නොව මෙවර විශේෂ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව පවත්වන්නට සිදු වෙනවා.

 

ධර්ම දේශනාව:

කෙලෙස් මළ සෝදා සසර සැඩ පහර තරණය කරමු

උට්ඨානේ නප්පමාදේන - සඤ්ඤමේන දමේනච - දීපං කයිරාථ මේධාවි - යංඕඝෝ නාභිහීරති, නැණවත් හු කෙලෙස් ගංවතුර ඉක්මවා රහත් බව පසක් කරන්නාහු ය. උත්සාහය සහ අප්‍රමාදී බව බුදු දහම නිරන්තරයෙන් ම අගය කරනු ලබන ධර්ම කාරණා දෙකකි. මෙම කරුණු දෙක අපේ ධර්ම සාහිත්‍යය පුරාම විවිධ ඉගැන්වීම් සදහා භාවිත කොට ඇති අයුරු ඉතා සුලභ ය. උත්සාහය යන්නෙන් අර්ථ ගන්වා ඇත්තේ නොපසු බට වීර්ය යි. එනම් අලසකමින් තොරව කය හා සිත වීර්යයෙන් යුතුව නගා සිටුවා ගැනීමයි. කුසල් දහම්හි වහ වහා යෙදෙමින්, නොමුළාව, එළඹ සිටි සිහියෙන් යුතුව, නොපමාව ක්‍රියාකිරීමේ අවශ්‍යතාවය ද දහමින් අවධාරණය කර ඇත. කය වචනය යන දොරටු දෙක මැනවින් හසූරුවා ගැනීම “සඤ්ඤමේන” යන්නෙන් දක්වා ඇත. ඇස, කන, නාසය, දිව, ශරීරය සහ සිත යන සදොර දමනය කර ගැනීම “දමේන” යන්නෙන් පැහැදිලි කොට ඇත. ඉන් ප්‍රකාශ වන්නේ ඉහතින් දක්වන ලද ඉඳුරන් සඳහා ගොදුරු වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම යන අරමුණුවලට නතුව රාග, ද්වේශ, මෝහ ආදිය උපදවා නොගැනීම හෙවත් දමනය කර ගැනීම යන්න වඩාත් සවිස්තර ව සඳහන් කෙරේ. “මේධාවී” යන්නෙන් විස්තර කොට ඇත්තේ නුවණැති පුද්ගලයා පිළිබඳව ය. අරහත්භාවය පසක් කළ උතුමන් පිළිබඳව ය.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]