[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිවෙන

පිරිවෙනටත් බුදුසරණ

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරෙන අතර සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ

****

ගාල්ල ශ්‍රී ලංකා ධර්මදූත මහ පිරිවෙන

දකුණු ලක අග නගරය වන ගාලු පුරවරයට මහත් අභිමානයක් හා ආලෝකයක් ගෙන දෙන අති රමණීය පින් බිමක් ලෙස කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය හැඳින්විය හැකි ය. එසේම ශාසනික හා අධ්‍යාපනික වශයෙන් ශ්‍රී ලංකා ධර්මදූත මහ පිරිවෙන ද දිනා ගෙන ඇති කීර්තිය ඉතා ප්‍රශංසනීය ය. පුරා වසර 26 ක් සපිරෙන මෙම කීර්තිමත් පරිවේණස්ථානය මගින් බොහෝ ගිහි පැවිදි පිරිස වෙනුවෙන් අද දක්වාම සිදුවන මෙහෙවර අතිවිශිෂ්ට ය.

ඉතා මනරම් මුහුදු තීරය අසල බිම්කඩක පිහිටා ඇති ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය 1965 වසරේදී පමණ මුල්ලෙවත්තේ චන්ද්‍රසිරි අනු නා හිමියන් විසින් බොහෝ දුෂ්කරතාවයන් මැද ආරම්භකොට ඇති ඓතිහාසික පින් බිමකි. මුළු මහත් ගාලු පුරවරයට ශාසනික හා අධ්‍යාපනික වශයෙන් සුවිශාල සේවාවක් ඉටු කරන මෙම පුණ්‍ය භූමිය අද වන විට සීඝ්‍ර දියුණුවක් ලබා ඇති අතර වත්මන් විහාරාධිපති ධූරය හොබවනු ලබන්නේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ “මම්මවංශාභිධජ සිරිසද්ධම්ම යුත්තික” පාර්ශ්වයෙහි මහානායක ධූරන්දර , රුහුණූ විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය , දර්ශනපති කණුමුල්දෙණියේ චන්දවිමල මහ නා හිමියන් ය.

මෙමඟින් ඉටුකරන සේවාව ව්‍යාප්ත කිරීමෙහිලා අපවත් වී වදාළ මුල්ලෙවත්තේ චන්දසිරි අනු නා හිමියන්ගේ සංකල්පයකට අනුව 1994 වසරේදී පල්ලත්තර ශ්‍රී සුමනජෝති නා හිමියන් අතින් අත්පොත් තබා මූලික පිරිවෙනක් වශයෙන් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ධර්මදූත පිරිවෙන 2000 වසරේදී මහ පිරිවෙනක් ලෙස ලියාපදිංචි කරන ලදී. එදා සිට අද දක්වාම මෙම පරිවේණාස්ථානය මගින් බොහෝ ගිහි පැවිදි සිසුන් විධිමත් ලෙස අධ්‍යාපනය ලබා ඇති අතර එයින් විශාල පිරිසක් උගතුන් බවට මේ වන විට පත් ව රටට, ජාතියට හා ශාසනයට අමිල මෙහෙවරක් සිදු කරනු ලබති. විශේෂයෙන් සෑම වසරකම අන්තර්පාරිවේණික හා සමස්ත ලංකා ආදී තරග වලින් විශිෂ්ට දක්ෂතා දක්වන මෙහි සිසු ප්‍රජාව පරිවේණස්ථානයට ලබා දෙන කීර්තිය බෙහෙවින් අගය කළ යුතු ය. එසේම සෑම වර්ෂයකම විශාල සිසුන් පිරිසක් සරසවි සඳහා වරම් උදාකර ගැනීම ද සතුටට කරුණකි.

මෙලෙස දිනෙන් දින සුවිශේෂී දියුණුවක් කරා ගමන් කරන ශ්‍රී ලංකා ධර්මදූත මහ පිරිවෙන තුළ සිසු ප්‍රජාවට සියලු භෞතික සම්පත් වලින් මේ වන විට සම්පූර්ණ වී ඇත. අංග සම්පූර්ණ පුස්තකාලයක් හා කියවීම් ශාලා ආදී බොහෝ සම්පත් තුළින් ඔවුන් තම නැණ නුවණ වර්ධනය කර ගැනීම අතිශය සතුට ගෙන දෙන්නකි. ගාලු පුරවරයෙහි පමණක් නොව මුළු මහත් ලක් දෙරණ පුරාම ශ්‍රී ලංකා ධර්මදූත නාමය ප්‍රචලිත වී ඇති අතර එහි වත්මන් දියුණුූවේ මග පෙන්වන්නා වන්නේ පරිවේණාධ්‍යක්ෂ, දර්ශනපති, කණුමුල්දෙනියේ චන්දවිමල මහ නා හිමියන්ය. උන්වහන්සේ ගේ අවවාද අනුශාසනා පරිදි වත්මන් පරිවේණාධිපති ශාස්ත්‍රපති රත්ගම සුනීත හිමිපාණන් හා නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රපති තංගල්ලේ අනුරුද්ධ හිමිපාණන් ප්‍රධාන ගිහි පැවිදි ආචාර්ය මණ්ඩලයෙන් ඉටු වන සේවාව අති විශිෂ්ට ය. එහි

මූලික පිරිවෙන් අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය මෙන්ම ප්‍රාචීන පණ්ඩිත උපාධිය දක්වාම ඉතා මැනවින් අධ්‍යාපනය ලබා දීම ද ධර්මදූත පරිවේණස්ථානයේ කීර්තියට ප්‍රබල සාධකයකි. විශේෂයෙන් 2007 වසරෙහි පවත්වන ලද “ධර්මදූත ධර්මප්‍රභා” නම් දැවැන්ත කලා උළෙල බොහෝ දෙනාගේ ඇගයීමට ලක් විය.

2004 වසරේදී සුනාමි විපතට පවා ගොදුරු වී ඉතා කෙටි කාලයක් තුළ දියුණුවේ මාවතට පිවිසි මෙම පින් බිම අද වන විට භෞතික සම්පත් ආදියෙන් සපිරි අගනා රමණීය ආගමික හා අධ්‍යාපනික ස්ථානයක් බවට පත් වී හමාර ය. මහ නාහිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි සසුන් කෙත සරු කරන තක්සලාවක් බවට පත්වී ඇති ශ්‍රී ලංකා ධර්මදූත මහ පිරිවෙනට වසර 26 ක් පිරීම අතිශය සතුටට කරුණකි. මෙවැනි කාල සමයක් තුළ රට දැය සසුන වෙනුවෙන් උදාර සේවාවක නිරත වී අති අප පරිවේණස්ථානය තවදුරටත් දියුණුවේ මාවතට පිවිස හෙට දවසේ සසුන් කෙත සරු කිරීමට අවශ්‍ය බුදු පුතුන් හා බෞද්ධ ජනතාව වෙනුවෙන් කැප වීමට අවැසි දිරිය හා ශක්තිය වසර 26 ක් සපිරෙන මොහොතේ දි ලැබේවා’ යි පතන අතර දකුණු ලක පමණක් නොව ලොව දිදුලන බෞද්ධ අධ්‍යාපන තක්සලාවක් බවට පත් වීමට ශී‍්‍ර ලංකා ධර්මදූත මහ පිරිවෙනට හැකි වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.

****

ජාතික අධ්‍යාපන ආයතනය තුළ පිරිවෙන් අධ්‍යාපන ඒකකයක් ස්ථාපනය කෙරේ

පාසල් විෂය නිර්දේශ සැකසීම, ගුරු මාර්ගෝපදේශ සැකසීම, ගුරු උපදේශකවරු පුහුණු කිරීම, ගුරුවරු පුහුණු කිරීම ආදී බොහෝ කටයුතු මහරගම ජාතික අධ්‍යාපන ආයතනය කේන්ද්‍රකරගෙන සිදු කෙරේ. එහෙත් පිරිවෙන් අධ්‍යාපනයට එවැනි මැදිහත් වීමක් සිදු නොවීම මහත් අඩුපාඩුවක් ව පැවතිණ. එම අඩුව සපුරාලමින් පිරිවෙන් අධ්‍යාපනයේ සංවර්ධනය ඇතිකරනු වස් ජාතික පිරිවෙන් උපදේශක දොඩම්පහළ ශ්‍රී රාහුල, පිරිවෙන් අධ්‍යක්ෂ වටිනාපහ සෝමානන්ද යන හිමිවරුන්ගේ උපදෙස් මත නව පිරිවෙන් අධ්‍යාපන ඒකකයක් ජාතික අධ්‍යාපන ආයතනය තුළ ස්ථාපනය කිරීමට කටයුතු සකස් කොට ඇත. ඒ අනුව එහි කටයුතු කිරීමට නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ කුඹල්ගොඩ ධම්මාලෝක හිමියන් ද කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, දාපනේ මහින්ද හිමි, දියලපේ සිද්ධාර්ථ හිමි, යු.කේ. රත්නායක මහතා යන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ද පත්කෙරිණි. ජාතික අධ්‍යාපන ආයතනයේ සිංහල භාෂා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුකුරම්පොල ඥානවිමල හිමියන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම කටයුතු සිදු වේ.

නව ලොවට ද ගැළපෙන සුපේෂල ශික්ෂාකාමී විනයධර, ධර්මධර භික්ෂූන් වහන්සේ නමක් බිහිකිරීමේ පරමාර්ථය ඇති ව ගුරු ධාරිතා සංවර්ධනය, ගුරු මාර්ගෝපදේශ සංස්කරණය, නව විෂය නිර්දේශ සම්පාදනය, පෙළ පොත් නැවත මුද්‍රණයට පෙර සංස්කරණය කිරීම, දැනට පවතින පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳ ක්ෂේත්‍ර අධ්‍යයනය කිරීම, ශ්‍රී ලංකාවේ සම්භාව්‍ය අධ්‍යාපනය පිළිබඳ පර්යේෂණයන් කිරීම, භික්ෂූන් වහන්සේලාගේ තොරතුරු තාක්ෂණ දැනුම සංවර්ධනය, ඉංග්‍රීසි හා වෙනත් භාෂා හැකියා වර්ධනය සඳහා කටයුතු කිරීම, පිරිවෙන් අධ්‍යාපනයේ ප්‍රෞඪත්වයට ඉවහල් වූ දේශීය තාක්ෂණ ශිල්ප ක්‍රම, ශිල්පකලා, සටන් කලා, ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය හා ඡ්‍යොතිෂ ශාස්ත්‍රය, වාස්තුවිද්‍යාව, විහාරාරාම කළමනාකරණය මෙන් ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, නූතන භාෂා ආදී වූ සාම්ප්‍රදායික විෂයයන් හා නව විෂයයන් පිරිවෙන් විෂය මාලාවට එක් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ සැකසීම සිදු කෙරෙනු ඇත.

 

  උඳුවප් පුර
පසළොස්වක 

දෙසැම්බර් 29 අඟහරුවාදා පූර්වභාග 07.54 න් පසළොස්වක ලබා 30 බදාදා පූර්වභාග
8.58 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]