[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අවවාද කළ යුතු පුද්ගලයෝ සහ නොකළ යුතු පුද්ගලයෝ

අවවාද කළ යුතු පුද්ගලයෝ සහ නොකළ යුතු පුද්ගලයෝ

අනුමාන සූත්‍රය

තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශිතව, මජ්ක්‍ධිම නිකායෙහි ඇතුළත් අනුමාන සූත්‍රය නූතන සමාජයට බෙහෙවින් වැදගත් ධර්ම කාරණා රාශියක් විවරණය වන්නකි.

බුදුදහමෙහි හික්මෙන ශ්‍රාවකයා තුළ පිහිටිය යුතු උසස් ගුණ ධර්මයක් ලෙස සුවච බව නිතර නිතර ම සාකච්ඡාවට ගැනෙන්නකි. කරණීය මෙත්ත සූත්‍රයෙහි සුවචො යන වචනය ආරම්භයෙහි ම දැක්වෙන්නේ නිවන් මඟට ප්‍රවේශ වන්නට අපේක්ෂිත පුද්ගලයා තුළ අතිශයින් ම වර්ධනය කර ගත යුතු කරුණක් වන බැවිනි.

පුත්ත සූත්‍රයේ දී ඔවාදකාරී යනුවෙන් ප්‍රශංසාත්මක පුද්ගලයකුගේ ජීවිතයේ පැවතිය යුතු ප්‍රධාන ම කරුණක් ලෙස හික්මීම හෙවත් සුවචකම පෙන්වා දෙයි. විනය පිළිබඳ වැඩිම අවධානයක් යොමු කරන බුදුදහමේ ශ්‍රාවකයා අතිශයින් ම විනයගරුක පුද්ගලයකු විය යුතු බව දැක්වෙයි. මෙම අනුමාන සූත්‍රය ද පැහැදිලි කර ඇත්තේ විනයගරුක පුද්ගලයකු බවට පත් විය හැකි ආකාරයයි.

විශේෂයෙන් ම මෙහිදී අවවාද කළ යුතු හා නොකළ යුතු පුද්ගලයන් කවරේද යන්නත්, අකීකරු බව හා කීකරු බව ඇති කරවන කරුණු කෙරෙහිත්, අකීකරු ධර්ම ඇති කෙනෙකු එයින් මිදිය හැකි ආකාරයත් සාකච්ඡාවට ලක් කෙරේ.

මෙම සූත්‍රය දේශනා කරෙන්නේ මුගලන් මහ තෙරුන් වහන්සේ විසිනි. උන් වහන්සේ බුදුරදුන් වෙතින් අසා ශ්‍රාවක පිරිසට ‍දේශනා කරන ලද්දක් ලෙසින් මෙය විවරණය වෙයි. මුගලන් හිමියන් භගු රට සුංසුමාරගිරි නුවර භේෂකලා නම් මුව වනයෙහි වාසය කරන අතරදී මෙම සූත්‍රය දේශනා කර තිබෙයි.

* අනුව යමෙක් අවවාද දීමට අකමැති, අවවාද නොඉවසන, නොරිස්සන කෙනෙකු වේ නම් ඔහුට අවවාද නොකළ යුතු බවත්, ඔහුගේ අකීකරු බව ඇති කරන ධර්ම දහසයක් පවතින බවත් මුගලන් හිමියෝ වදාළහ. කවරේද යත්,

* ලාමක පහත් ආශාවන්ගෙන් ද, අදහස් වලින් ද යුතු වූයේ, ඒවායෙහි වසඟයට පත් වූ පුද්ගලයාට අවවාද නොදිය යුතු ය.

* තමා ම උසස් යැයි සිතා කටයුතු කරන, අන්‍යයන් හෙළා දකින අත්තුක්කංසන පරවම්භන පුද්ගලයාට අවවාද නොදිය යුතු ය.

* ක්‍රෝධයට වසඟ වූ, ක්‍රෝධයෙන් මඩනා ලද පුද්ගලයාට අවවාද නොකළ යුතු ය.

* ක්‍රෝධයෙන් වෛර බැඳ ගන්නා පුද්ගලයාට අවවාද නොකළ යුතු ය.

* ක්‍රෝධයෙන් ම නිතර නිතර අන්‍යයන් හා ගැටෙන්නාට අවවාද නොකළ යුතු ය.

* ක්‍රෝධ සහගත වචන භාවිත කරන්නාට අවවාද නොකළ යුතු ය.

* යම් චෝදනාවක් කරන කල්හී එයට ප්‍රතිවිරුද්ධ ව කටයුතු කරන්නාට අවවාද නොකළ යුතු ය.

* යම් චෝදනාවක් කරන කල්හි චෝදනාව කරන්නාට ම පෙරළා ගරහන්නාට අවවාද නොදිය යුතු ය.

* චෝදනාවක් කරන කල්හි චෝදකයාට ප්‍රතිචෝදනා කරන්නාට අවවාද නොකළ යුතු ය.

* චෝදනා කරන කල්හී වෙනත් කථාවකින් එය වසා දමන්නට උත්සාහ කරන්නාට අවවාද නොකළ යුතු ය.

* චෝදනාවක් කරන කල්හි තමාගේ චරිතයෙහි පිරිසුදු බව දක්වමින් එය ප්‍රතික්ෂේප කරන්නට උත්සාහ දරන්නාට අවවාද නොකළ යුතු ය.

* චූදිතයා ගුණමකුවකුව, චෝදකයාට ම චෝදනා කරන්නාට අවවාද නොදිය යුතු ය.

* ඊර්ෂ්‍යා‍වෙන් මඩනා ලද පුද්ගලයාට අවවාද නොකළ යුතු ය.

* කපටි කෛරාටිකයාට අවවාද නොකළ යුතුය.

* තද ගති සහිත අධික මාන්නාධිකයා ට අවවාද නොකළ යුතු ය.

* තමන්ගේ ම මතයෙහි දැඩිව එල්බගත් පුද්ගලයාට අවවාද නොකළ යුතු ය.

මෙවැනි ගති ඇති අමන මිනිසුනට කිසිදා කිසි ලෙසකින් හෝ අවවාද නොකළ යුතු බවත්, මෙම ගතිවලින් තොර වූ පුද්ගලයා සුවච කීකරු කෙනකු වන බවත් ඔහුට කවරාකාරයෙන් වුව අවවාද කිරීම සුදුසු බවත් මුගලන් මහ රහතන් වහන්සේ වදාළහ.

මෙම සූත්‍රයේ දෙවන කොටසින් කියැවෙන්නේ කෙනෙකු අකීකරු බවට පත් කරවන මෙම ධර්ම තුළින් මිදෙන ආකාරයයි.

එනම් යම් ලාමක අදහස් ඇති, පහත් ආශාවන්ගෙන් යුතු වූ පුද්ගලයකු දැකීමට තමන් තුළ ඇත්තේ අප්‍රිය බවක් නම්, තමා එසේ වූ විට අන්‍යයන් ද තමා කෙරෙහි කටයුතු කරන්නේ එසේ බව සලකා එවැනි දැඩි පහත් ලාමක ආශාවන්ගෙන් මිදී වාසය කරන්නට උත්සාහ කළ යුතු ය. එවිට ඔහු සුවච පුද්ගලයකු හෙවත් කීකරු පුද්ගලයකු බවට පත්වන අතර, ඔහුට අවවාද දීම සුදුසු බව ද මෙහිදී කියැවෙයි.

එලෙසින් ම අනෙක් කරුණු පිළිබඳව ද කල්පනා කළ හැකි ය. අත්තුක්කංසන පරවම්භන හෙවත් තමන් හුවා දක්වමින් අනුන් හෙළා දකින්නට උත්සාහ කරන පුද්ගලයකු පිළිබඳව තමන්ට දැනෙන්නේ අප්‍රිය බවක් නම්, දැකීමට පවා තමන් තුළ ඇත්තේ අසතුටක් නම්, තමා ද එවැනි දුර්ගුණයෙන් යුතු වූයේ නම්, තමා කෙරෙහි අන්‍යයන් තුළ ද එවැනි අප්‍රිය බවක් ඇති වන්නේ යැයි සිතා එම වැරැද්දෙන් මිදෙන්නට උත්සාහ කළ යුතු ය.

ක්‍රෝධශීලී පුද්ගලයා මෙන්ම ඉහතින් දැක්වූ සොළොස් ධර්මවලින් යුතු කවර ම පුද්ගලයකු වුව කිසිවකුට ප්‍රියමනාප නොවන්නේ ය. ආශ්‍රයට ද අකමැති වන්නේ ය. කොටින් ම දැකීමට පවා අප්‍රිය වන්නේ ය. එසේ නම් මෙම සොළොස් ලාමක ධර්මයන්ගෙන් කවරක් හෝ තමා තුළ ඇති කල්හි ඒ බව සලකා තමා තුළ එම ලාමක ධර්ම නැති කොට කීකරු සුවච අවවාද ලැබීමට සුදුසු කෙනකු බවට පත්වීමට උත්සාහ ගත යුතු ය.

මේ නිසා මෙම අනුමාන සූත්‍රය අපගේ ධර්ම ශාලාවල නිතර නිතර සාකච්ඡාවට ගත යුතු සූත්‍රයකි. එයට හේතුව වන්නේ බොහෝදෙනා ධර්මය හොඳීන් අසා නිවෙස් වෙත ගිය ද නිවසෙහි අභ්‍යන්තර ගැටලු ආරවුල් නිරාකරණය කොට ජීවිතයට මුහුණ දීමට උත්සාහ නොකරන බැවිනි. එකිනෙකාට චෝදනා කර ගනිමින්, මානයෙන් උදම් ව කටයුතු නොකොට වැඩිහිටියන්ගේ අවවාද උපදෙස් නිවැරැදිව පිළිපදිමින් අනතිමානී කෙනකු වන්නටත්, ඒ තුළ කවරම අභියෝගයක් වුව ජය ගන්නටත් ඔබට ශක්තිය ලැබේවා.!

  උඳුවප් පුර
පසළොස්වක 

දෙසැම්බර් 29 අඟහරුවාදා පූර්වභාග 07.54 න් පසළොස්වක ලබා 30 බදාදා පූර්වභාග
8.58 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]