[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මඟ නොමඟ තෝරා ගැනීම ඔබ සතුය අනෙකකුට කළ නොහැකිය

මඟ නොමඟ තෝරා ගැනීම ඔබ සතුය අනෙකකුට කළ නොහැකිය


සීලය දවසකට දෙකකට පමණක් සීමා වූවක් නොවේ. එය එදිනෙදා ජීවිතය තුළින් ප්‍රායෝගික ව ක්‍රියාත්මක විය යුත්තකි. ඒ සීලය ඔබ සුරකිනු ඇත. ඒ තුළින් ඔබ තුළ ඇති අඳුර නැතිවි ඔබ ආලෝකවත් කරනු ඇත. මඟ නොමඟ තෝරා ගැනීම, ඔබ සතු ය. එය අන් අයෙකුට කළ නොහැකි ය.

‘විභව‘ යනු පුළුවන් බවයි. එනම් පුද්ගලයා සතු හැකියාවයි. ඉලක්ක, අරමුණු සපුරාගැනීමේ දී අප තුළ ඇති සැඟවුණු ශක්තිය ‘විභව‘ යනුවෙන් අපි හඳුන්වමු. මේ විභව ශක්තිය මල්ඵල ගැන්වීම අප සතු වගකීමකි.

මේ සඳහා අවස්ථාව උදාකරගත යුතු ය. එසේ නොවුණ හොත් ඒ විභව ශක්තිය යටපත් වී සැඟවුණු මට්ටමට පත්වනු ඇත. අක්‍රියවනු ඇත. මෙලොව සිටින අනෙකුත් සියලු සත්වයින්ට වඩා මිනිසා සතු විභව ශක්තිය ආශ්චර්යවත් ය. එමෙන් ම බලසම්පන්න ය.

මෙයින් උපරිම ඵල නෙළා ගැනීමේ හැකියාව මිනිසා සතු ය. බුද්ධත්වය යනු,මේ විභව ශක්තියේ උපරිම ප්‍රතිඵලයකි. බෝසත් චරිතය අභියෝග රැසකට මුහුණ දී ඇත. ඒ සියල්ල ජයගත හැකි වූයේ විභව ශක්තිය මත පදනම් වූ අධිෂ්ඨාන පූර්වක ක්‍රියාදාමය තුළිනි.

මේ අප ගත කරන්නේ 2020 වර්ෂයේ අවසාන දින කිහිපයයි. 2021 වර්ෂය සැලසුම් සහගත ඵලදායි ලෙස ගත කිරීමට තීරණය කරනවා නම්, එය ඔබගේ අනාගත පැවැත්මට මහත් ශක්තියක් වනු ඇත. අපගේ ජීවිත සැලසුම් කිරීමේදි අනාගතය ගැන සිතීම ඉතා වැදගත් ය. අනාගතය ගැන නොසිතා ක්‍රියාත්මක වන ජීවිත වේදනාකාරි අවාසනාවන්ත ජීවිත බවට පත් වන අයුරු අප බොොහ් විට දැක ඇත.

අපගේ විමුක්තිදායකයා අපම ය. එය වෙනත් කෙනෙකුට කළ නොහැකි ය. තමාගේ ක්‍රියාකාරිත්වය තුළින් ම තමාගේ ජීවිතය ආලෝකවත් කර ගත යුතු ය . තරහ, ක්‍රෝධය, වෛරය පුරවාගත් සිත තුළ ආලෝකයක් නැත. කිලිටි සිතින් යුත් තැනැත්තා ගත කරන්නේ අන්ධකාර ජීවිතයකි. අන්ධකාරයෙහි යන්නා මඟ නොමඟ නොදනී. බොහෝවිට වැරදි මඟෙහි ගමන් කරනු ඇත. වළවල් වල වැටී, ගල්මුල්වල හැපී, අතරමං වූ ජීවිත බවට පත්වීමට ඉඩ ඇත. මේ නිසා කරදර වේදනාවලට පත් නොවී සැනසිලිදායක ගමනක් සඳහා පවිත්‍ර වූ මනසකින් යුත් දීප්තිමත් ආලෝක වත් දැක්මක් ඇති ජීවන ගමනක අවශ්‍යතාවය වැදගත්වනු ඇත.

ළමා, තරුණ, වැඩිහිටි යන මේ සෑම කොටසකට ඇති අඩුපාඩුකම් හා දුර්වලතා හඳුනාගෙන අලුත් වර්ෂයකට මුහුණ දීමට අප සූදානම් විය යුතු ය. බුද්ධ චරිතය යනු එක මොහොතක් වත් අපතේ නොයවා මුළු දවසම ඵලදායි මට්ටමින් සැලසුම් සහගත ව ක්‍රියාත්මක කළ උතුම් චරිතාපදානයකි. අලුයම පිබිදීමේ සිට රාත්‍රී සැතපීම තෙක් කාලය ප්‍රයෝජනවත් වැඩකට යෙදවීම උන්වහන්සේගේ චරිතය තුළ කැපී පෙනෙන ලක්ෂණයකි. මේ අයුරින් ක්‍රමවත් ව, ඵලදායි දිනචරියාවකින් යුක්තව කටයුතු කිරීම දීප්තිමත් අනාගතයකට ප්‍රබල ශක්තියක් වනු ඇත.

ජීවත්වීමේදී නොයෙක් ප්‍රශ්න , ගැටලු, අභියෝග ඇතිවන්නට පුළුවන. අටලෝදහම අප තේරුම් ගත යුතු ය. අභියෝගයකට බියවී, මුලුගැන්වී, අලසව, නිද්‍රෝපගතව පැත්තකට වී සිටීම නොව බුද්ධිමත්ව, වීර්යවන්තව ප්‍රශ්නවලට මුහුණ දෙමින් අකම්පිත ගමනකට අප සූදානම් විය යුතුව ඇත.

මහ පොළොව මෙන් ඕනෑම නින්දාවක් අපහාසයක්, විඳින්නට අප පුරුදු විය යුතු ය. මොනතරම් කීර්ති, ප්‍රශංසා, තාන්නමාන්න ලැබුණත් ඒ තුළින් හිස උදුම්මවා නොගැනීම අපගේ වගකීමක් වනු ඇත. නොමඟ යන තරුණ පිරිස් අද සමාජය තුළ බහුල වශයෙන් දැකගන්නට පුළුවන. බුදුදහම තුළ පෙන්වා දී ඇති සරු දෙය කුමක්ද? නිසරු දෙය කුමක්ද? යන විමර්ශනාත්මක බැල්මකින් කරුණු සොයාබලා අර්ථවත් ඵලදායි ජීවන ගමනකට සූදානම් වීම විශේෂයෙන් ළමා, තරුණ, ලෝකයාට මහඟු පිටුවහලක් වනු ඇත.

බෞද්ධ ශික්ෂණයට, හැදියාවට මෙන් ම අධ්‍යාපනයටත්, ප්‍රමුඛතාවය ලබාදෙමින් අපගේ ළමා ලෝකය දින චරියාවකට අනුව හැඩගැස්වීම ගැන මවුපියන්ගෙත් ගුරුවරුන්ගෙත් විශේෂ අවධානය යොමුවිය යුතුව ඇත.

නිවස තුළ ජීවත්වන ඔබ සැම සතුටෙන් සමඟියෙන් හෘදයංගම බැඳීමකින් ජීවත්වීම අත්‍යවශ්‍යම කරුණකි. සිත් වේදනාවට පත්කරන වචනවලින් හා ක්‍රියාකාරකම්වලින් ඉවත් ව කටයුතු කිරීමට අධිෂ්ඨාන කර ගන්න. යටත් පිරිසෙයින් දිනකට පැයක් පමණ කාලයක් වත් දරුවන් සමඟ මවුපියන් සමීප ව කටයුතු කළ යුතු ය. මවුපියන් කෙතරම් වගකීම්වල, විවිධ කාර්යයන්වල නියුක්ත ව සිටියත් දරුවන්ගේ ලෝකයෙන් දුරස්වීම එතරම් සුබදායක ලක්ෂණයක් නොවනු ඇත.

දරුවන් හා මවුපියන් අතර බැඳීම මෙහෙකරුවකු ගෙන් හෝ වෙනත් වැඩිහිටියකු ගෙන් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකින් හෝ ලැබෙන්නේ නැත. පවුල නැමැති සමාගමේ අධ්‍යක්ෂවරුන් වන්නේ සැමියා හා බිරිඳයි. බොහෝ විට අද දෙදෙනාම රැකියාවල නියුක්ත ය. රැකියාවල ස්වභාවය පිළිබඳ ව දෙදෙනාටම අන්‍යෝන්‍ය අවබෝධයක් තිබිය යුතු ය.

ඒ අනුව නිවසේ කටයුතු වලට බාධාවක් නොවන අයුරින් තම තමන් සතු කාර්යභාරය කළමනාකරණය කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වනු ඇත.

ජීවිතයක අධිෂ්ඨානයක් තිබිය යුතු ය. බුද්ධිමත් ව සිතා බලා වීර්යවන්ත ව තම ඉලක්කයන් සපුරා ගැනීමට උත්සුක වීම සාර්ථක ජීවන ගමනක ලක්ෂණයකි.

ආර්ථික අතින් ඉතා දුර්වල මට්ටමක සිටි සමහර ජීවිත නිවැරදි අධිෂ්ඨානය හා උත්සාහය තුළින් උසස් මට්ටමට පත් වී ඇති අයුරු පැහැදිලි ව දැකගන්නට පුළුවන. තමන් කරන දේ අවංකව ඍජුව කරන්න. නිවැරදි දේ තෝරා බේරාගෙන කටයුතු කිරීම තුළින් ඔබට සැමදාම සතුටු විය හැකි ය. සමාජය තුළ ජීවත් වීමේදි අපගේ දොසක්, වරදක්, අඩුපාඩුවක් පෙන්වා දුන් විට එය පිළිගැනීමට අප සූදානම් විය යුතු ය.

කෙනෙකුට මෙලොවදී ලැබිය හැකි ඉහළම ධනය සතුටයි. තම රාජකාරියට අදාළ සියලු වගකීම් හා යුතුකම් නිවැරැදිව ඉටුකරන්න. කුමන ක්ෂේත්‍රයක වුවද, තම කාර්ය භාරය දෙස බලා සතුටු විය හැකි අයුරින් තම වගකීම් නොපිරිහෙළා ඉටුකිරීම දෙලොවම සැනසිල්ලට හේතුවක් වනු ඇත.

සමහරු කාර්ය බහුල ජීවිත ගත කරති. ක්‍රමානුකූල ව කරගත හැකි ආකාරයට කාර්යභාරය සීමා කරගත යුතුව ඇත. එසේ නොවුණහොත් මානසික ආතතියෙන් පීඩනයට පත්වනු ඇත. මොනතරම් වැඩ කළත් සතුටක් නැත්නම් එවැනි ජීවිතයක ඇති ඵලය කුමක්ද?

උදේ සිට රාත්‍රි නින්දට යනතෙක් ගත වූ කාලය දෙස ආපසු හැරී බැලුවහොත් මොනතරම් කාලයක් අනවශ්‍ය කතා වෙනුවෙන් ඔබ ගත කර ඇත්දැයි ඔබට ප්‍රත්‍යක්ෂ වනු ඇත. දියුණුූ රටවල් දෙස බලන විට ශ්‍රී ලාංකිකයාගේ වැඩ කරන කාලය ඉතා අඩුමට්ටමක පවතී.

උදේ හයේ සිට රාත්‍රී දහය දක්වා පැය භාගයෙන් භාගයට ඔබ කළ දේ සටහන් කර වගුවක් ලෙස සකසා බලන්න. එවිට ඔබට ම තෙරේවි කාලය ගත වී ඇත්තේ කුමන ආකාරයකට ද යන්න කෙතරම් කාලයක් නිකරුණේ ගතකර ඇත්ද? කෙතරම් කාලයක් ප්‍රයෝජනවත් දේට යෙදුනාදැයි ඔබට ම දැනගත හැකි ය. අනවශ්‍ය අයුරින් ඉන්ද්‍රියයන් පිනවීමට යාමේ ප්‍රතිඵල වත්මන් සමාජයේ දුක්ඛදායක, වේදනාත්මක සිද්ධීන් තුළින් ප්‍රකටව ම දැකගන්නට පුළුවන. නොයෙකුත් ලෙඩ රෝග, අනවශ්‍ය වියදම්, පවුල් අවුල් ,නඩුහබ, ගුටිබැට හා මිනිස් ඝාතන , මරණීය තර්ජන, අනවබෝධයෙන් ඉන්ද්‍රියන් පිනවීමේ ප්‍රතිඵලයන් ය.

බෞද්ධයන් වන අප තුළ තිබිය යුතු මූලික ලක්ෂණයකි, හික්මීම. මේ හික්මීම හෙවත් සංවරය තව දෙයකින් ක්‍රියාත්මක කළ හැකි ය. එනම් නිවැරැදි දේ පුහුණු කිරීම හා වැරදි දෙයින් ඉවත්වීමයි. එය අපි චාරිත්‍ර වාරිත්‍ර ලෙස හඳුන්වමු.

සීලය දවසකට දෙකකට පමණක් සීමා වූවක් නොවේ. එය එදිනෙදා ජීවිතය තුළින් ප්‍රායෝගික ව ක්‍රියාත්මක විය යුත්තකි. ඒ සීලය ඔබ සුරකිනු ඇත. ඒ තුළින් ඔබ තුළ ඇති අඳුර නැතිවි ඔබ ආලෝකවත් කරනු ඇත. මඟ නොමඟ තෝරා ගැනීම, ඔබ සතු ය. එය අන් අයෙකුට කළ නොහැකි ය.

  උඳුවප් පුර
පසළොස්වක 

දෙසැම්බර් 29 අඟහරුවාදා පූර්වභාග 07.54 න් පසළොස්වක ලබා 30 බදාදා පූර්වභාග
8.58 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]