[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං:  උදම්මිට අස්සජීතිස්ස නා හිමි

උදම්මිට අස්සජීතිස්ස නා හිමි

අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශවයේ අනුනායක “විනය කීර්ති ශ්‍රී ධර්මාලංකාර කවිධජ” , “ශ්‍රී සද්ධර්ම ජෝතික ධජ, ශාසන සෝභන, ලෝකත්ථචාරී, උත්තමාරාම පුරාණ විහාරාධිපති, ශ්‍රී සංඝතිස්ස ධර්මාලංකාර ධර්ම විද්‍යාලයාධිපති උදම්මිට අස්සජි තිස්ස අනු නා හිමි, අමරපුර මහා නිකායේ අඹගහපිටි පාර්ශ්වයේ වැඩ බලන මහා නායක පදවියෙන් පිදුම් ලැබූහ.

ඒ වත්මන් අමරපුර මහා නිකායේ අඹගහපිටි පාර්ශ්වයේ මහානායක හීනටියන නන්දතිස්ස නාහිමියන්ගේ අනුශාසකත්වය පරිදි පසුගිය දා පැවැති කාරක සංඝ සභා රැස්වීමේ දී ඒකමතික එකඟත්වයෙනි.

1940 උඳුවප් මස 29 වෙනි දින උදම්මිට විජයමුනි ලෝරන් සොයිසා මහතාගේ සහ වෙද සුදු නෝනා මහත්මියගේ දෙවැනි දරුවා ලෙස ජන්ම ලාභය ලැබීය.

සසුන් කෙත සාරවත් කිරීම සඳහාම වූ පෙර පින් මහිමය මඟ සලකුණුකොට ගනිමින් 1951 පෙබරවාරි මස 21 වෙනි දින උදම්මිට උත්තමාරාම පුරාණ විහාරාධිපති එවකට අමරපුර මහා නිකායේ අඹගහපිටි පාර්ශවයේ අනුනායක උදම්මිට ධර්මාලංකාරතිස්ස අනු නා හිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් හා කන්දේගොඩ අම්බලන්ගොඩ ශ්‍රී නාග පුෂ්පාරාමාධිපති එවකට අමරපුර මහා නිකායේ අඹගහපිටි පාර්ශ්වයේ මහා නායක අරියවංසාලංකාර මහෝපාධ්‍යාය උදම්මිට ධර්මරක්ෂිත නාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් උතුම් වූ පැවිදි බිමට ඇතුළත් වූ සේක.

මූලික දහම් අධ්‍යාපනය සිය ආචාර්යයන් වහන්සේ යටතේ ද, උසස් අධ්‍යාපනය මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙන් සහ කොළඹ විද්‍යොදය සරසවියෙන් ලද නා හිමිපාණන් වහන්සෛ් 1961 ජූනි මස 20 වෙනි දින උදම්මිට සිරි ධම්මරක්ඛිත මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් බලපිටි මෝදර උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදා ශීලයෙහි පිහිට වූහ.

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස මෙන්ම, කොළඹ ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලයේ ආරම්න පුස්තකාලාධිපති ලෙස ද කටයුතු කළ උන්වහන්සේ, දීර්ඝ කාලයක් මුළුල්ලෙහි “ශ්‍රී ලංකාද්වීප, සිංහල බෞද්ධයා, බුදුසරණ, දවස බෞද්ධ සංග්‍රහය ආදී පුවත්පත් වලට ශාස්ත්‍රීය හා සමාජීය වශයෙන් වැදගත් වූ ලිපි රැසක් ලියා පළ කරමින් පුවත්පත් ජනමාධ්‍ය සේවයෙහි ද නිරත වූහ.

1979 ඔක්තෝබර් මස සිය ආචාර්යයන් වහන්සේගේ අපවත් වීමෙන් පසු උදම්මිට උත්තමාරාම පුරාණ විහාරස්ථානය ඇතුළු එම විහාර ඝනයේ සියලු විහාරස්ථානවල වගකීම හා භාරකාරත්වය නා හිමිපාණන් වහන්සේට පැවරුණු අතර බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක ධුරය හොබවමින් නිකායේ සහ මහා සංඝරත්නයේ අභිවෘද්ධිය වෙනුවෙන් මහත් කැපවීමෙන් යුතුව ශාසනික සේවයේ යෙදුණහ.

ගුණ නුවණින් හා දහමින් පිරිපුන් සමාජයක් ගොඩනැංවීමෙහි ලා සිසු සිසුවියන් දහස් ගණනකට ධර්ම ඥානය ලබා දෙමින් ශ්‍රී සංඝ තිස්ස ධර්මාලංකාර ධර්ම විද්‍යාලයේ ප්‍රධානාචාර්ය ධුරය හොබවන උන්වහන්සේ, තම නිකායට සහ සම්බුද්ධ ශාසනයට සිදු කරන ලද සේවාව කෙරෙහි කෘතවේදී ගෞරවයක් ලෙස “විනය කීර්ති ශ්‍රී ධර්මාලංකාර කවිධජ” යන ගෞරව නාමයෙන් ද පුදනු ලැබූහ. තවද ශ්‍රී ජයවර්ධනපුර ගුණ සමරු පදනම විසින් උන්වහන්සේ සිදු කරන ලද අමිල යුග මෙහෙවර අගය කරමින්, දේශයේ පුනර්ජීවනය වෙනුවෙන් ජාතික, ආගමික, සංස්කෘතික හා අධ්‍යාපනික යුග මෙහෙවරක නියැළුණු ගරුතර මහා සංඝ පීතෘන් වහන්සේලාට හා මානව හිතවාදී දේශප්‍රේමීන්ට පිදෙන “ශ්‍රී සද්ධර්ම ඡ්‍යොතික ධජ, ශාසන ශෝභන, ලෝකත්ථචාරී” යන ගෞරව නාමයෙන් ද අප අනු නාහිමිපාණන් වහන්සේ පුදනු ලැබූහ. උතුම් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ශාසනාභිවෘද්ධියෙහි හා පරාර්ථ චර්යාවෙහි නිරත වීමට උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.

       බිනර අව අටවක පෝය 

සැප්තැම්බර්10 බ්‍රහස්පතින්දා පූ.භා 02.06 න් අව අටවක ලබා 11 සිකුරාදා. පූ.භා 03.35 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]