| 
				 
දුටුගැමුණු මහ රජතුමා - 05: 
				 
එළාර රජු වේළුසුමන යෝධයාගේ 
වහසි බසට රැවටේ
				
				 
				 
				 
" අප ඉක්මන් නොවිය යුතු යි. එසේ වුවහොත් මුලින් යුද්ධය ආරම්භ කළේ එළාර යැයි පවසමින් 
කාවන්තිස්ස රජු අප හා යුද වැදීමේ සාධාරණත්වය පෙන්නුම් උත්සාහ කරාවි. ඒ නිසා අපි 
ඔහුගේ උපායන්ට නොරැවටී සිටිමු." 
				 
වේළුසුමන යෝධයා කරණවෑමියකු ගෙන්වා හිසකේ බාවා ගත්තේ ය. කසයක් ගෙන්වා ගෙන ලේ ගලන 
තුරු පිට පුරා පහර කිහිපයක් ගසා ගත්තේ ය. රතු පිළියෙන් සැරසී උතුරු සළුවක් ද පෙරවා 
ගත්තේ ය.  
 අසු පිටට නැගී වේගයෙන් ගමන් කළේ ය. වඩමන් තොටදී අසු මෙගොඩ ගැට ගසා ගඟට පැන පීනා 
එගොඩ විය. සොළි ආරක්ෂක භටයන් විසින් ඔහුව අල්ලා ගත්තේ ය. තමාට එළාර රජු හමු වී මාගම 
රාජ්‍ය ගැන බොහෝ දේ පවසන්නට ඇති බව පැවසීම නිසා රජ මාළිගාවට පමුණුවන ලදී. මාගම 
රාජධානියෙන් බැට කෑ සරණාගතයකු ලෙස රඟපෑවේ ය." මම ඔබතුමා කෙරෙහි බොහෝ පැහැදී 
සිටියෙමි. මාගම සෙබළු නිරතුරුව ම ඔබතුමාගේ නුගුණ ම කියවති. මම ඔවුන්ට විරුද්ධ ව 
ඔබතුමාගේ ධර්මිෂ්ටකම, මහානුභාවය, සාධාරණත්වය, යුක්තිය ඉෂ්ට කිරීම පිළිබඳ ගුණ 
කීවෙමි. එයින් කිපුණු කාවන්තිස්ස රජතුමා යෝධයින් ලවා මා හට පහර දී කෝටු මස් කර රතු 
පිළි අන්දවා එළාර වෙතම යවයි අණ කළේ ය." යනුවෙන් පැවසී ය.  
රජු දුන් දඬුවම් බලනු මැනැවැයි පවසමින් පිටේ තිබූ කස පහරින් තුවාල වූ තැන් පෙන්වී 
ය. ඔහුගේ වහසි බසට රැවටුණු එළාර රජතුමා මාගම, කළ රාජකාරී පිළිබඳ විමසා රජ මාළිගයෙහි 
අස් ගාලෙහි සේවයට පත් කළේ ය. ප්‍රමාද වීම සුදුසු නොවන බව වටහාගත් වේළුසුමන එදිනම 
තිසා වැවෙන් පැන් ගෙනවිත් කොළොම්තොට සමීපයෙහි සඟවා තැබී ය. මහනෙල් මල් විලට ගොස් 
හොඳින් පිපුණු මානෙල් මල් මිටියක් කඩාගෙන ගොස් අශ්වගාලෙහි තැබී ය. පසුදා උදෑසන 
අහස්හලෙහි හොඳම අශ්වයා තෝරා ගත්තේ ය. රජ මාළිගය අබියස වාහල් දොරකඩට පැමිණ රැස් 
කරගත් පිරිස් අභිමුව වහසි බස් පැවසී ය. තමා මාගම්පුර කාවන්තිස්ස රජුගේ වේළුසුමන 
යෝධයා බවත්, රජ බිසවගේ දොළදුක සන්සිඳුවීමට අවශ්‍ය දෑ ගෙන යෑමට මෙහි පැමිණි බවත් 
තොපගේ රජුට හැකි නම් මා අල්ලා ගන්නා ලෙසත් පැවසී ය. මෙසේ පැවසූ වේළුසුමන යෝධයා හීයක 
වේගයෙන් මිහින්තලාව බලා අසු මෙහෙයවී ය.  
එළාර රජුගේ අණින් මේල්දේව නම් ප්‍රධාන යෝධයා ප්‍රමුඛ තවත් සෙනෙවිවරු පිරිසක් 
වේළුසුමන යෝදයා පිටුපස ලුහුබඳින්නට විය. වේගයෙන් අසු මෙහෙය වූ වේළුසුමන යෝදයා පසුව 
හැල්මේ ගොස් අයිනේ වූ පඳුරකට මුවා වී කඩුපත ඔවුන් එන මඟ හරස්කර අල්ලාගෙන සිටියේ ය. 
දෙදෙනාගේ ම හිස කඳින් වෙන් ව ගියේ ය. හිස් දෙක බිම වැටෙන්නට නොදී අල්ලාගෙන උරයක බහා 
ගෙන කොලොම්තොට සැඟ වූ තැනින් තිසා වැවේ පැන් කළය හා මානෙල් මල් මිටිය ද ගෙන වඩමන් 
තොට පැමිණියේ ය. ගඟට පැන පීනා මෙගොඩ විය. මාගම රජ මාළිගය වෙත පැමිණියේ ය. 
				 
වේළුසුමන යෝධයාගේ දක්ෂතාවය පිළිබඳ සතුට පළ කළ කාවන්තිස්ස රජතුමා එදිනම විහාරමහා 
දේවියගේ දොළ සන්සිඳුවාලී ය. අනතුරුව නිමිති කරුවන් ගෙන්වා මෙබඳු දොළක් ඇතිවීමට 
හේතුව විමසා සිටියේ ය.  
“නුඹ වහන්සේට ගෞරව, පුරුෂ බල පරාක්‍රමයෙන් යුතු , ප්‍රඥා සම්පන්න, රට එක්සේසත් කළ 
හැකි ධෛර්ය සම්පන්න, පෙර කළ පින් ඇති පුත්‍ර රත්නයක් පිළිසිඳ ඇත. ඒ කුමරු මෙරට 
ද්‍රවිඩ බල මුළු සිඳ බිඳලා රට එක්සේසත් කර රාජ්‍ය පාලනය කරනු ඇත.’ යනුවෙන් නිමිති 
කරුවෝ් පැවසූහ. නිමිති කරුවන්ගේ ප්‍රකාශ ඇසූ කාවන්තිස්ස රජතුමා ද විහාරමහා දේවිය ද 
බොහෝ සතුටට පත් වූහ.  
සිය ප්‍රධාන යෝධයාත්, ඔහුගේ සෙනෙවියාත් දෙදෙනා ම මරා ඔවුන්ගේ හිස් ද රැගෙන යන්නට 
වේළුසුමන යෝධයාට ඉඩ හැරීම පිළිබඳ එළාර රජතුමා බොහෝ කිපුණේ ය. රජුගේ කෝපයත්, 
පසුතැවීමත් තේරුම්ගත් දීඝජන්තු යෝධයා වේළුසුමනගේ හිස ගෙන එන්නට මාගම යන්නට අවසර 
ඉල්ලා සිටියේ ය. එහෙත් අවසර නො ලැබිණි. 
“අප ඉක්මන් නොවිය යුතු යි. එසේ වුවහොත් මුලින් යුද්ධය ආරම්භ කළේ එළාර යැයි පවසමින් 
කාවන්තිස්ස රජු අප හා යුද වැදීමේ සාධාරණත්වය පෙන්නුම් උත්සාහ කරාවි. ඒ නිසා අපි 
ඔහුගේ” උපායන්ට නොරැවටී සිටිමු. ඔහු මෙතෙරට එනකම් ඉවසා සිටිමු. එවිට අපගේ ශූරත්වය 
පෙන්වමු යනුවෙන් එළාර රජ සෙනෙවිවරුන්ට පැවසී ය.  
- අයන්ති විතාන   |