[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

මෙවර ජයග්‍රාහී කවිය:

නවම් පෝ දිනේ

සැරියුත් මුගලන් අගසව් හිමිවරු සසුනට කළ මෙහෙවර මනරම්
මහ සඟ සනිපත පළමුව ඇරැඹී කළ සේවය ගැන මවයි හැඟුම්
පෝ දින අඹරේ බැබළෙන පුන් සඳ අතරින් ගෙනෙනා දැහැමි සිතුම්
බොදුනු රටක සුව විඳින්න අපහට අතීත සැමරුම් මවයි නවම්


නිදහස

ජාතියටම එක ධජයකි
ආගමට ද තව ධජයකි
පළාතටත් වෙන ධජයකි
සිංහ කොඩිය හෙළ ධජයකි

තුන් සිංහලයම අළලා
ජාති භේද දුරු කරලා
සිංහ කොඩිය යට ඉඳලා
ඉමු නිදහසෙ ජය ලබලා


පින්වත් යශෝධරා දේවී

ලොවේ උතුම් මව් සම්පත හිමි වූයේ ඇයම යි
පිය සෙනෙහස රාහුලගේ සිතේ මැව්වේ ඇයම යි
ඉවසීමේ නිසල පවන හිමි කිරුළත් ඇය ම යි
පති ධර්මයෙ උතුම් දේවි යශෝධරා ඇයම යි


දීඝවාපි සෑ රදුන් අබියස

සඳේ සොමි කැන් පෙර පෙරා ලෝ මත වැටෙන්නේ සුළඟ මැද්දේ
සිලි සිලි හඬ නඟන විටදී අමුතු සුවයක් මහද ගෙනදේ
සෑ රදුන් අබියස දී නෙක මල් පුදාලන විට සතුට ගෙන දේ
දීඝවාපී සෑ රදුන් ළඟ නඟති සාධූ සාධු නාදේ

සැදෑසිත් ඒ මහ රජින්දා ලංකා පුරයේ රජව සිටියේ
බුදුරදුන්ගේ නඛා ධාතුව තබා මේ මහ වෙහෙර බැන්දේ
ජරා වාසව තිබූ ඒ මහ සෑ රදුන් කල එළිය වන්න්
දැහැමි බොදු දන නිසා බැතිමත් සැවොම මහ සෑ පුදා ගන්නේ


චීවර පූජාව

සුදු වතින් සැරසිලා ලොකු කුඩා සැම දෙනම
මහමේරු පරදවන උතුම් කඨින චීවරය
හිස මතින් රැගෙන එයි හද බැතින් පන්සලට
වස් විසු සමිඳුන්ට පුදා පින් ලැබ ගන්ට
මේ උතුම් පින්කමෙන්
විවර වෙයි නිවන් මග


පස් කඳ

රූපය මහා දුකෙකී
වේදනාව ද දුකෙකී
සංඥාව දුකෙකී
සංස්කාරයෝ දුකෙකී
විඤ්ඤාණය ද දුකෙකී
මේ පස් කඳ දුක් බව
දෙසූ සේක
බුදු පියාණෝ


අම්මා

අමාවක ගනඳුරේ
කටුක මහ මඟ ගෙවා
අඳුරු වූ සිත දරා
නිවෙස වෙත පැමිණෙනා
කල ගෙතුළ පායලා
පුරා හඳ විලසිනා


කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.


සංස්කරණය
 ජම්මික ප්‍රබෝධනී වැලිකල

නවම් අව අටවක පෝය 

නවම් අව අටවක පෝය පෙබරවාරි 15 වන දා සෙනසුරාදා අපරභාග 04.29 ට ලබයි. 16 වන දා ඉරිදා අපරභාග 03.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 23 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]