[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් අව අටවක 2020.02.15

දක්ෂයෙක් වීම

බෞද්ධයන් ලෙස අපගේ මූලික අරමුණ වියයුතු වන්නේ, අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණදෙමින් ඉපදෙමින්, මියයමින්, වධවේදනාවන්ට හසුවන්නා වූ මේ ඝෝරතර සසර ගමන නිමාකොට උතුම් නිර්වාණය පූරණය කර ගැනීම ය. නිවන් මඟ යන පුද්ගලයා සිදුකළ යුතු වන්නේ නිවනට අනුකූලවන දේ ය. නිවනට අනුකූල වන්නේ කුසල ධර්මයන් ය. එහෙත් එදිනෙදා ජීවිතය තුළ බෞද්ධයන් ලෙස අප ඒ කුසල මාර්ගයෙහි ගමන් කරනවා ද යන්න තවදුරටත් විමසා බැලිය යුතු බව විද්‍යාමාන වේ.

තමන් තමන්ට ම අවංක වී, තමන්ගේ සිතිවිලි, හැසිරීම්, ක්‍රියාකාරකම් ආවර්ජනය කළේනම් තමන් යන මාවත වැරැදි ද නිවැරැදි ද, කුසල මාවත ද, අකුසල මාවත ද යන්න තමන්ට ම අවබෝධ කරගත හැකි වනු ඇත.

තථාගත ධර්මය තුළ අපගේ ජීවිතයට ඉතා පහසුවෙන් ප්‍රායෝගික කරගත හැකි ධර්ම කරුණු බොහෝ ය. බෞද්ධයන් ලෙස අපි දිනපතා උදේ සවස තුන් සූත්‍රය සජ්ඣායනයට යොමු වෙමු. එහිදීත් කරණීය මෙත්ත සූත්‍රය කටපාඩම් නො වන බෞද්ධයෙක් නො මැති තරම් ය. එම සූත්‍ර ධර්මය බෞද්ධයාට එතරම් සමීප ය. එහෙත් ගැටලුවක් බව හැඟෙන්නේ කරණීය මෙත්ත සූත්‍රයෙහි එන ධර්මෝපදේශ කෙරෙහි කො තරම් පිරිසක් අවධානය යොමු කරනවා ද යන්න ය. ජීවිතයට හුරු පුරුදු කරනවා ද යන්න ය.

කරණීය මෙත්ත සූත්‍රයේ පළමුව අවධාරණය කෙරෙන ‘සක්කෝ’ ගුණය ම ප්‍රගුණ කිරීම තුළ ලෞකික ලෝකෝත්තර ජීවිතයට ලැබෙන යහපත අප්‍රමාණ ය. ඵලය මිණිය නොහැකි ය.

‘සක්කෝ’ නම් දක්ෂ බව ය. දක්ෂ විය යුතු කුමට ද? ජීවිතය වඩාත් යහපත් ව, ධර්මානුකූල ව පවත්වා ගැන්මට ය. නිර්වාණය වෙත යන ගමනේ කුසල ධර්ම වැඩීමට ය.

තථාගතයන් වහන්සේ දේශනාකොට වදාළ ගිහි ප්‍රතිපදාව තුළ පංච සීලය ආරක්ෂා කර ගැන්මට තරම්වත් අපොහොසත් වූයේ නම්, අප අදක්ෂ ය. සීලය ආරක්ෂා කිරීමට දක්ෂතාවයක් තිබිය යුතු ය. ඒ දක්ෂ බව ඇති කර ගන්නට නම් තථාගත දහම පිළිබඳ ව ශ්‍රද්ධාව තිබිය යුතු ය. ධර්ම ඤාණය ද ප්‍රගුණ කළ යුතු ය. අදක්ෂයා නිතර ම කටයුතු කරන්නේ මුලාවෙනි. මුලාවූවහුට සීලය රැකීමේ අනුසස් නො දැනේ. සීලයෙන් මිඳීමේ පාපය ද නො හැඟේ. පංචශීලයෙහි අන්තර්ගත වන්නේ කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා ම ඉතා පහසුවෙන් වැළැකී සිටියහැකි ප්‍රතිපත්තීන් ය. නිවෙසක අඹු සැමියන්, මව්පියන් එය සුරැකීමෙහි සමර්ථ නම් එහි ප්‍රතිඵලය එහි හැදෙන වැඩෙන දරුවන් ද සිල්වත් වීම ය. මුළුමහත් සමාජයක සුරක්ෂිත බවේ ආරක්ෂාව පවුල තුළින් ඇරඹෙන බව අප හොඳින් මතකයේ තබාගත යුතුව ඇත. වරදක් දුටු තැන සමාජයට ඇඟිලි දිගු කිරීම ය ඇතැමෙකුගේ පුරුද්ද වනුයේ.

වත්මන් හි දානාදී පින්කම් ඉතා උසස් අයුරින් සිදු කෙරේ. එය ඉතා යහපත් දැක්මෙකි. ලෝභය දුරු කළ හැකි, දානය ප්‍රගුණ කළ තැනැත්තාට ය. සියල්ලන්ට එය කළ නොහැකි ය. දීමට ද දක්ෂතාවයක් තිබිය යුතු ය. කෙනෙක් දානාදී පින්කම් හි තමන්ට වත්කමක් නොවේ යැයි දුර්මුඛ වෙති. එහෙත් තමන්ට අයත් සුළු දෙයක් වුව, හැකි ප්‍රමාණයෙන් පරිත්‍යාග කළ හැකි නම්, දානමය වස්තුවක් කොට පූජා කළ හැකි නම්, එය ද මහඟු ඵල දෙන පුණ්‍ය කර්මයකි. වෛරය දුරු කොට මෙත් සිතිවිලි වර්ධනය කරන්නටද දක්ෂයෙක් වීම අත්‍යවශ්‍ය ය. ඒ සඳහා මෛත්‍රිය පුරුදු පුහුණු කළ යුතු ය.

එය හදවතින් ම කළ යුත්තකි. මවක් තමන්ගේ ප්‍රාණය හා සම එකම පුතුට දක්වන මෛත්‍රිය මෙන් සියල්ලන්ට ම මෙත් වැඩිය යුතු ය. ඒ තුළ තමා ද සුවපත් ව අනුන් ද සුවපත් ය. දෙලොව වැඩ සදන්නේ ය. ගෘහ ජීවිතය, අධ්‍යාපනය, ආර්ථික, සමාජයීය ආදී සෑම අංශයක ම මේ දක්ෂ බව තිබිය යුතු ය. ඒ යහපත් ලෙසිනි. එවිට සසර මග ජය ගන්නට හැකි මාවත පහසුවෙන් ම ගොඩනැඟෙනු ඇත.

නවම් අව අටවක පෝය 

නවම් අව අටවක පෝය පෙබරවාරි 15 වන දා සෙනසුරාදා අපරභාග 04.29 ට ලබයි. 16 වන දා ඉරිදා අපරභාග 03.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 23 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]