[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ ශ්‍රාවිකා ධර්ම ඤාණය ප්‍රගුණ කරවීමට

බුද්ධ ශ්‍රාවිකා ධර්ම ඤාණය ප්‍රගුණ කරවීමට

මානෙල්වත්ත බුද්ධ ශ්‍රාවිකා අධ්‍යයන ආයතනයෙන් නොමිලයේ අධ්‍යාපන පහසුකම්

බෞද්ධ පත්‍ර කලා විශාරද
සීසර් සුදුසිංහ

කැලණිය බොල්ලෑගල මානෙල්වත්ත මහා විහාරයෙන් ආගමික, ශාස්ත්‍රීය සහ ශාසනික වශයෙන් උදාර මෙහෙවර රැසක් සිදුවන බව නොරහසකි.

ඒ අතර බුද්ධ ශ්‍රාවිකා අධ්‍යයන ආයතනය 2011 අරඹා එය පවත්වාගෙන යමින් සුවිසල් සේවයක් සිදු කෙරේ. එම අධ්‍යයන ආයතනය ආරම්භ වූයේ තායිවානයේ ප්‍රධාන සංඝනායක මානෙල්වත්ත මහා විහාරාධිපති නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති බෝදාගම චන්දිම නාහිමියන්ගේ අනුශාසනා හා මඟ පෙන්වීමට අනුව ය. එහි තේමාව වනුයේ රට පුරා විසිරී සිටින බුද්ධ ශ්‍රාවිකාවන්ගේ ධර්ම ඥානය හා ධර්ම සන්නිවේදන කුසලතා ඔප් නංවාලමින් සම්බුදු සසුන සුරක්ෂිත කිරීම හා ලෝවැසියන්ට ධර්ම දානය බෙදා දීම ය.

බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගයට අනුගත ව කටයුතු කිරීම හා චර්යා හැඩ ගස්වා ගැනීම, මෙරට බෞද්ධ සංස්කෘතික පදනම හඳුනාගෙන ඊට හෘදයාංගම ව කටයුතු කිරීම, වර්තමාන සමාජ සංස්කෘතික, තාක්ෂණික අභියෝග හා දුෂ්කරතා ජය ගැනීම පිණිස බුදුදහමේ ඉගැන්වීම් ආදේශ කර ගැනීම, බෞද්ධ සන්නිවේදන ක්‍රමෝපාය බුදුදහම විශ්ව සමාජයට ප්‍රචලිත කිරීම සඳහා අත්හදා බැලීම, ත්‍රිපිටක ධර්මය පුළුල් ලෙස අධ්‍යයනය කිරීම, බුදු මග, ජාතක කතා ඇසුරෙන් පුද්ගල පෞරුෂ සංවර්ධනයට මග පෙන්වීම, සමාජ සුරක්ෂිත භාවය සඳහා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා භාවිත කිරීම, බුදුදහමේ මනෝවිද්‍යාත්මක හා උපදේශාත්මක ප්‍රවේශය කාලීන ගැටලු විසඳීම සඳහා යොදා ගැනීම, විවිධ ව්‍යාපෘති ක්‍රියාකාරකම් ඔස්සේ දැනුම ප්‍රයෝගීකරණය හා එහි නිම් වළලු පුළුල් කිරීම, චිත්ත පාරිශුද්ධිය හා විරාගී චරණය උදෙසා භාවනා ක්‍රම පුහුණුව බුද්ධ ශ්‍රාවිකා අධ්‍යයන ආයතනයෙහි මූලික පරමාර්ථ අතර වේ.

න්‍යායාත්මක හා ප්‍රායෝගික ව්‍යවහාර සහිත හය මාසික පාඨමාලා සහ මූලික පිරිවෙන් අධ්‍යයන පාඨමාලා ත්‍රිපිටක ධර්ම ඩිප්ලෝමා පාඨමාලාව සඳහා භික්ෂුණියක හෝ දසසිල් මාතාවක ලෙස ලියාපදිංචි වී සිටීම, අධ්‍යයන සා පෙළ හෝ උසස් පෙළ, උපාධි හෝ වෙනත් සුදුසුකම් (ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම) ධර්මාචාර්ය හා පිරිවෙන් අවසාන සහතික පත්‍රය ලබාතිබීම, දහම් පාසල් අවසාන හෝ වෙනත් විශේෂ සුදුසුකම් ඊට අදාළ සුදුසුකම් වේ.

එහි විෂයය මාලාව වනුයේ ත්‍රිපිටක ධර්මය, පාලි, සංස්කෘත, සිංහල, ඉංගී‍්‍රසි, දෙමළ, මනෝවිද්‍යාව හා උපදේශනයේ බෞද්ධ පදනම හා කේවල ව්‍යාපෘති වේ.

මූලික පිරිවෙන් අධ්‍යයන පාඨමාලාව සඳහා පිරිවෙන් අධ්‍යයනය සඳහා සුදුසුකම්ලත් ඒ සඳහා අපේක්ෂාවෙන් සිටින බුද්ධ ශ්‍රාවිකාවන් වෙත 1 - 5 දක්වා පන්ති පැවැත්වේ.

එහි විෂය මාලාව ත්‍රිපිටකය, පාලි, සංස්කෘත, සිංහල, ඉංගී‍්‍රසි, ගණිතය (ප්‍රධාන විෂයයන් 6 කි) ඉතිහාසය, සෞඛ්‍යය, දෙමළ, භූගෝලය, සමාජ විද්‍යාව, චීන භාෂාව, පරිගණක (මින් වෛකල්පිත විෂයයන් දෙකකි.)

භාවනා හා අභිධර්ම පාඨමාලාව අදාළ විෂයයන් හා ප්‍රායෝගික ව්‍යවහාර වේ. බාහිර ව්‍යාපෘති, ළමා නිවාස, වැඩිහිටි නිවාස, රෝහල් හා ප්‍රජා ගම්මාන ඇසුරෙන් සංවිධානය කෙරේ.

නේවාසිකාගාර පරිපාලක සහ සම්බන්ධීකාරක වැලිමඩ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ය.

ගෞරව උපාධි, පශ්චාත් උපාධි හා අධ්‍යයන ක්ෂේත්‍රයේ ප්‍රවීණ ගුරු අධ්‍යාපනඥයින් හා විශ්‍රාමික ආචාර්ය මණ්ඩලවලින් ඇදුරු මඬුල්ල සමන්විත ය. පාඨමාලාව සාර්ථක ව සම්පූර්ණ කරන්නන්හට වැඩිදුර අධ්‍යාපනය සඳහා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ සහ චීනය, තායිවානය, ජපානය ආදී බෞද්ධ රටවල අවස්ථා හිමිවේ.

අධ්‍යාපනය ලැබීමට කැමැති සියලු මෙහෙණින් වහන්සේලාට සියලු පහසුකම් නොමිලයේ සපයනු ලබන බව බෝදාගම චන්දිම නා හිමියෝ පවසති.

චීන, ජපන්, ඉංගී‍්‍රසි, පාලි සහ සංස්කෘත භාෂා අධ්‍යයනය ද ලබා, අනතුරුව විදේශයන්හි ද ධර්ම ප්‍රචාරය සඳහා වැඩම කිරීමට කැමැති මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් වෙනම පාඨමාලා පවත්වා ශිෂ්‍යත්ව ලබා දීමට පියවර ගන්නා බව ද උන්වහන්සේ පැවසූහ.

අධ්‍යාපනය ලැබීමට සහ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා කැමැති මෙහෙණින් වහන්සේලා බුද්ධ ශ්‍රාවිකා අධ්‍යාපන ආයතනයට සම්බන්ධවන ලෙස ද බෝදාගම චන්දිම නාහිමියෝ ආරාධනාවක් සිදු කළහ.

නවම් අව අටවක පෝය 

නවම් අව අටවක පෝය පෙබරවාරි 15 වන දා සෙනසුරාදා අපරභාග 04.29 ට ලබයි. 16 වන දා ඉරිදා අපරභාග 03.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 23 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]