[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තුන් සරණේ සරණින් රෝග බියට පිළිසරණක්

තුන් සරණේ සරණින් රෝග බියට පිළිසරණක්

වසංගත රෝග තත්ත්වයකින් ආරක්ෂා වන පිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත්වීමට වඩාත් සුදුසු කාලයක් මේ.

මොකද මේ වෙද්දී අප දන්නවා ලෝකයේ වැඩිම ජනගහනයක් වාසය කරන මහා රාජ්‍යයක් කොරෝනා නම් වූ භයානක වෛරස් රෝග තත්ත්වක් නිසා බිඳ වැටීමට ලක්වෙලා. කෝටි සංඛ්‍යාත ජනතාවක් මරණ බියෙන් ඉන්නවා. ඒ වගේ ම මෙම වසංගත රෝගය නිසා බොහෝ දෙනෙකුගේ ජීවිත අහිමිවෙලා තිබෙනවා.

මෙබඳු භයානක රෝග තත්ත්වයක් පැතිරයාමේ අවදානමක් යම් රටකට ඇති වුණාම ඒ රටේ තිබෙන සාමාන්‍ය ජන ජීවිතය අඩාල වෙනවා. ගොවිතැන්බත් ආදිය ඇන හිටිනවා. එවිට හට ගන්නේ දුර්භික්ෂ භය, මෙන් ම ආහාරපාන හිඟවීමේ භය. රෝග නිසාත්, දුර්භික්ෂය නිසාත් දුර්වලවෙන මිනිසුන්ට අනිවාර්යෙන් ම මුහුණ දෙන්නට සිදුවෙනවා අමනුෂ්‍ය බියට.

මෙබඳු වංසගත රෝග ස්වභාවයන් ගැන අපේ බණ පොත්වලත් ඉගෙන ගන්න ලැබෙනවා. අතීතයේ දඹදිව අභිවාතක නමින් නාග විෂක් මුල් කරගෙන රෝගයක් පැතිර ගොස් තිබෙනවා. ඒ වගේ ම අපේ මේ ලංකාභූමියේ සිරිසඟබෝ රජ දවස රක්තාක්ෂි නම් රෝගයක් හටගෙන තිබූ බව මහාවංශයේ සඳහන් වෙනවා. ඒ රෝගය ඇසින් ඇස දැකීමෙන් තමයි පැතිරී ගොස් තිබෙන්නේ. අවසානයේ ධාර්මික රජෙක් වූ සිරිසඟබෝ රජු රුවන්වැලි මහා සෑය අබියස සත්‍යක්‍රියා කරලයි ඒ රෝග තත්ත්වය සංසිඳුවාගෙන තිබෙන්නේ.

ඒ වගේම මේ වර්තමානයේ තිබෙන ස්වභාවයට බොහෝ සේ සමාන සිදුවීමක් අතීතයේ ඇතිවුණා විශාලා මහනුවර. විශාලාව කියන්නේ ඒ වනවිට බොහෝම සමෘද්ධිමත් රාජ්‍යයක්. නමුත් හදිසියේ ම භයානක වසංගත රෝගයක් ඇති වුණා. බොහෝ මිනිසුන් මියයන්නට පටන් ගත්තා. මේ හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතය මුළුමනින් ම අඩාල වුණා. ඒනිසා හටගත්තා දුර්භික්ෂ බිය. බියෙන් පීඩිත වූ මිනිසුන් අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයට පහසුවෙන් ම ලක්වුණා. ඒ නිසා හටගත්තා අමනුෂ්‍ය බිය. විශාලාවේ එදා හටගත් තුන් බිය දුරලීම පිණිසයි බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රය දේශනා කොට වදාළේ.

එදා විශාලාවේ ජනයාට සෙත ශාන්තිය සැලසුණේ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි අපට රැකවරණයක් තිබෙනවා කියන විශ්වාසය තිබෙන අයට මෙබඳු වසංගත රෝග තත්ත්වයක දී ඒ ආනුභාව සම්පන්න වූ ධර්මයේ පිහිට ඒකාන්තයෙන් සලසා ගන්න පුළුවන්.

එනිසා තමන්ගේ නිවෙස්වල තෙරුවන් වන්දනාව සිදුකර දිනපතා ම රතන සූත්‍රය, ඛන්ධ පිරිත, මෝර පිරිත සහ අංගුලිමාල පිරිත යන පිරිත් ධර්මයන් පවුලේ සියලු දෙනාම එකතු ව සජ්ඣායනා කරන්න. රතන සූත්‍රයේ තිබෙන්නේ තෙරුවනේ ගුණ සිහිකොට සත්‍ය ක්‍රියා කිරීමක්. ඒ සත්‍යානුභාවයෙන් ඒකාන්තයෙන් ම තෙරුවන් සරණේ පිහිටි කෙනාට සෙත සැලසෙනවා.

ඊළඟට ඛන්ධ පිරිත කියන්නේ විශේෂයෙන් සර්පයන්, ගෝනුස්සන් ආදී විෂ සහිත සත්ත්වයන්ගෙන් වන පීඩා දුරු කර ගැනීමට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ආරක්ෂක පිරිතක්. මේ වසංගතය පිළිබඳවත් මතයක් තිබෙනවානේ සර්ප විෂකින් හටගත් රෝගයක් කියලා. එනිසා ඛන්ධ පිරිත සජ්ඣායනා කිරීම විශාල ආරක්ෂාවක්.

මෝර පිරිත කියන්නේ අපගේ මහ බෝසතාණන් වහන්සේ බෝසත් අවදියේ ම ආරක්ෂක පිරිතක් ලෙස භාවිතා කළ උතුම් ධර්මයක්. එයත් ආරක්ෂක පිරිතක් ලෙස ජීවිතයට විශාල රැකවරණයක් සලසනවා.

අංගුලිමාල පිරිත කියන්නේ මහා ආනුභාවසම්පන්න පිරිතක්. වර්තමානය වනවිට ගර්භණී අවස්ථාවන්වල සෙත් පැතීමට පමණක් මේ පිරිත භාවිත කළත්, අතීතයේ මෙය හඳුන්වා තිබෙන්නේ මහ පිරිත කියල යි. බොහෝ දුකට පත්ව සිටි මාතාවක් මේ පිරිත ඇසූ සැණින් සුවපත් වුණා නම්, ඒ පිරිත දිනපතා සජ්ඣායනා කිරීමෙන් අපේ ජීවිතයට කෙ තරම් ආරක්ෂාවක් ලැබෙනවා ද?

පිරිත් සජ්ඣායනාවන් සිදු කර සත්‍යක්‍රියා කරන්න. “අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රය ආදී මේ ධර්මයන් දේශනා කොට වදාළේ මේ සත්ත්වයන්ට රෝග බිය, දුර්භික්ෂ බිය, අමනුෂ්‍ය බිය ආදී භයවලින් රැකවරණය සලසා ගැනීම පිණිස යි. එය ඒකාන්තයෙන් සත්‍යයක්. ඒ සත්‍යානුභාවයෙන් රෝගාදී බිය දුරුවී සැනසිල්ලේ දිවි ගෙවන්නට ලැබේවා”! කියලා.

මීට ටික කලකට පෙර චීනයේ තිබූ තත්ත්වය නොවේ අද තිබෙන්නේ. හැම කෙනෙක් ම අසරණ වෙලා. ලෝකය දියුණුයි කියලා අපි කියනවා.. එසේ දියුණු ලෝකයටයි මෙසේ වෙලා තිබෙන්නේ. නුවණ තිබෙන කෙනෙකුට මේ තුළින් අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. මෙබඳු වසංගත රෝග වැළඳිලා මිනිස්සු මිය යනවා. අප දන්නේ නැහැ ඒ අය මරණින් මත්තේ කො තැනක ද ඉපදෙන්නේ කියලා. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් අපට ගැලවෙන්න අවස්ථාව තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මරණ ගති සූත්‍රයේ දී මේ ආකාරයට වදාළා.

”මම දැන් මේ ආකාරයට නිරෝගී ව සිටියාට ඕනෑම මොහොතක මේ ශරීරයට රෝග පීඩා වැළදෙන්න පුළුවන්. එහෙම වුණොත් මට රෝගය නිසාම ජීවිතේ අහිමි වෙන්නත් පුළුවන්. එබඳු ස්වභාවයක් උරුම කරගත්ත මම ප්‍රමාද ව වාසය කරන්න හොඳ නැහැ. දරුණු රෝගයකින් මේ ජීවිතය වනසන්නට පෙර මම ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න ඕන” කියා නිරන්තරයෙන් කල්පනා කරන්න.

මරණය ගැන පණිවිඩය ඇසෙන, බිහිසුණු වසංගතයක් පැතිරයන මේ අවස්ථාවේ බුද්ධ, ධම්ම, සංඝ යන උතුම් තිසරණයේ ආශිර්වාදයත්, රුවන්වැලි මහා සෑ රජුන්ගේ ත්, ජයශ්‍රී මහා බෝ රජුන්ගේත්, උතුම් දළදා වහන්සේගේ ත් පිහිට සියලු ලෝ සතුන්ට ලැබේවා!

නවම් අව අටවක පෝය 

නවම් අව අටවක පෝය පෙබරවාරි 15 වන දා සෙනසුරාදා අපරභාග 04.29 ට ලබයි. 16 වන දා ඉරිදා අපරභාග 03.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 23 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]