[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මේ වස්සාන කාලයයි - 10: අධ්‍යාත්මික දියුණූුවට

මේ වස්සාන කාලයයි - 10:

අධ්‍යාත්මික දියුණූුවට

" වස්සාන කාලය තුළ පාලිත ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා වස් තුන් මාසයක කාලය නිවන අරමුණු කොට ගත කරමින්, භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් වස් විසීම නියම ආකාරයෙන් සඵල කරගත් ආකාරයයි."

අප මුලින් ලිපි පෙළෙහි සඳහන් කළා සේ වස්සාන කාලය පින්කම් කාලයක් හැටියට අපේ මතකයේ පැවතුණත්, මේ පින්කම් කාලය ආධ්‍යාත්මික දියුණුව වඩන කාලයක් හැටියට පවත්වා ගත යුතු බව ඉතාම පැහැදිලියි.

වස්කාලය ආරම්භවන විට වැසි සළුවක් පිළිගැන්වීමෙන් කරන ලද ආරාධනාව අධිගමයක් හෙවත් මාර්ගඵලාවබෝධයත් මුල්කොටගෙන සිත් හා සිහිය පිහිටුවාගෙන මෙහි වාසය කරන්න කියන ආරාධනාව නොවේදැයි ඔබ ම සිතා බලන්න. ඒ වගේ ම ඒ ආරාධනාව පිළිගන්නා වූ භික්ෂූන් වහන්සේලා විසිනුත් මා මේ ඇත්තන්ගේ වස් ආරාධනා පිළිගන්නේ යම් වූ ද ආධ්‍යාත්මික දියුණුවක් ඔස්සේ නිවන අරමුණු කර ගැනීමට ම නොවේ ද? සසර දුකින් නිදහස්වීමට මේ කාලය ගත කිරීම ම නොවේ දැයි සිහිපත් කළ යුතුයි. උන්වහන්සේලා එකට වැඩම කරනු ලැබූයේ දන් වළඳන අවස්ථාවේ, ඒ වුද්ධ පචායනයට අනුව එනම්, වැඩිහිටි පිළිවෙළටයි. මෙහි වැඩිහිටි පිළිවෙල නම් උපසම්පදාවෙන් වැඩිහිටි පිළිවෙළටයි. අනිකුත් හැම අවස්ථාවක ම උන්වහන්සේලා තනි තනිව පිරිසගෙන් වෙන් ව කාය විවේක, චිත්ත විවේකය, උපදි හෙවත් කෙලෙස් විවේකයන්, කෙලෙස්වලින් බැහැරව ලබන විවේකයෙන් යුක්තව ම උන්වහන්සේලා කමටහන් පිළිබඳව ම සිහිය යොමු කොටගෙන කාලය ගත කළ බව පැහැදිලියි.

ප්‍රායෝගික ව සිහිපත් කරන්නේ නම්, වර්තමානයෙහි ග්‍රාමීය භික්ෂූන් වහන්සේලාට දායක ඇත්තන්ගේ එදිනෙදා දානමාන, පාංශුකූල, පිරිත් වැනි කටයුතුවලට ද සහභාගිවීම නොවැළැක්විය හැකියි. එනමුත් එවැනි කටයුතු පවා තමන් වහන්සේගේ ධර්ම මාර්ගයට බාධාවක් නොවන, ධර්ම මාර්ගයට උපකාරවන අවස්ථාවක් හැටියට සිහිපත් කරගත හැකියි. දානයකට වඩින භික්ෂූන් වහන්සේ නමකට කරුණාව උපදවාගෙන මෙත්තා සහගත සිතින්, වචනයෙන්, ක්‍රියාවෙන් වැඩම කොට නිවන අරමුණු කරන දේශනාවක් ඔස්සේ දන් පූජා කරන ඇත්තන්ටත් සෙත්පතා මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමට මඟ පෙන්විය හැකියි. එහි දී විදර්ශනා මාර්ගය ඔස්සේ සිත් තුළ ධර්ම සංවේගයට අවස්ථාවක් සලසා දිය හැකියි. ලෞකික ජීවිතයක් තුළ විවාහය වැනි අවස්ථාවක සෙත් පැතීමක දී පවා ලෞකික ජීවිතයේ ඇති දැහැමි බව බලාපොරොත්තු වන සැබෑ සතුට ධර්මයෙන් ම ලැබිය හැකි බව පැහැදිලි කොට දී තමන් වහන්සේට ද පරෝපකාරය ඔස්සේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයත් මෙනෙහි කොටගෙන තම ආධ්‍යාත්මික මාර්ගයට පුහුණුවක්, පුරුද්දක් ලෙස අවස්ථාවක් සලසා ගත හැකියි.

එසේ ම පාංශුකූලය වැනි අවස්ථාවක දී විදර්ශනා මාර්ගයට උපකාරවන ධර්ම පෙළක් ම නිතැතින් ම සිහිපත්කොට ගත හැකියි. “අවන්ථිකෝ කායෝ එවං භාවේ එවං ධම්මෝ ඒතං අනතිථෝති” මේ මළ සිරුර වගේ ම මගේ කයත් මේ ස්වභාවයට ම පත්වන්නේ ය. මෙය ධර්මතාවයයි. මේ ලෝක ස්වභාවයයි. මා විසින් ද මේ මරණ ස්වභාවය නො ඉක්මවා සිටින්නේ ය. මෙසේ මෙනෙහි කොට ජීවත්ව සිටින ඥාතීන්ගේ සිත් ශෝකයෙන් බැහැර කොට ධර්ම සංවේගය උපදවා තමන් වහන්සේගේ සිතෙහි ද විදර්ශනා අරමුණක් හැටියට ම ඒ මළ සිරුර පවත්වා ගත හැකි වන්නේ ය. මහා සතිපට්ඨාන සූත්‍රයෙහි කායානුපස්සනාවෙහි දී “නවසීවථික” කමටහන් පෙළේ දී පෙන්වා දුන් ධර්ම මාර්ගය ම සිහිපත් කරගත හැකි වන්නේ ය.

අප විසින් මේ සඳහන් කරනු ලබන්නේ වස්සාන කාලය තුළ පාලිත ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා වස් තුන් මාසයක කාලය නිවන අරමුණු කොට ගත කරමින්, භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් වස් විසීම නියම ආකාරයෙන් සඵල කරගත් ආකාරයයි. ඒ වගේ ම මාති නම් වූ උපාසිකා මාතාවන්ගේ කතාවෙන් පෙන්වා දෙනු ලැබූයේ එතුමිය වස් ආරාධනා කරමින් දානාදියෙන් භික්ෂූන් වහන්සේලාට සංග්‍රහ කිරීම පමණක් ම නොව, පින්කම් සංවිධානය කිරීම පමණක් ම නොව ඒ සියල්ල සිදු කරන ගමනේ තමා ද තමාගේ ආධ්‍යාත්මික ජීවිතයට ම මුල් තැනක් දී භික්ෂූන් වහන්සේලා වගේ ම උතුම් වූ ලෝකෝත්තර ඵල ලැබූ ආකාරයයි.

මේ සදහම් පෙළ වස්සාන කාලය තුළ කුසල් මාර්ගයට යොමුවෙන හා යොමුවෙන්නට කැමැති සියලු දෙනාට ම අර්ථාන්විත වූ වස්සාන සමයකට ඉතාම යහපත් වූ දහම් අනුශාසනාවක් බවට පත් කරගත හැකියි.

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 13 වන දා ඉරිදා පූර්ව භාග 00.36 ට ලබයි. 14 වන දා සඳුදා පූර්ව භාග 02.37 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 13 වන දා
ඉරිදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 21 වන දා සඳුදා ය

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

First Quarterපුර අටවක

නොවැම්බර් 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]