[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වස් කාලය සහ කඨින පින්කම

වස් කාලය සහ කඨින පින්කම

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

‘අනුජානාමී භික්ඛවේ වස්සං
වුත්ථානං භික්ඛුනං කඨිනං
අත්ථරිතූංඅත්ථතකඨිනානං
වෝ භික්ඛවෙ පඤ්ච
කප්පිස්සන්ති අනාමත්
තවාරෝ, අසමාද්වාරෝ.
ගණභෝජනං
යාව දත්ථවිවරං යෝචතන්ත
විවරුප්පාදෝති”

පින්වත්නි,

වස් කාලයෙහි භික්ෂූන් වහන්සේට ආරාධනා කොට වස් වසවා ගැනීමත්, සිවු පසයෙන් උපස්ථාන කිරීමත්, වස් අවසානයෙහි කඨින සිවුරු පූජා කිරීමත් බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව ප්‍රකට කෙරෙන අවස්ථාවකි. මේ බව ලංකාවේ බෞද්ධයන් වෙනත් රටවල බෞද්ධයන්ට වඩා උද්‍යෝගයෙන්, සුවිශාල පරිත්‍යාගයන් සිදු කිරීමෙන් කඨින පින්කම් පැවැත්වීමෙන් පෙනේ. අපේ සිංහල රජවරු ද එබඳු මහා පරිත්‍යාග කළ බව ඉතිහාසයේ සඳහන් වේ.

සියමය, බුරුමය යනාදී රටවල බෞද්ධයින් ද කඨින පින්කම් උත්සවාකාරයෙන් පවත්වයි.

එසේ උසස්, දුර්ලභ , ශක්තිමත් කඨින පින්කම සම්බුද්ධ ශාසනයේ බැබළීමටත්, ජනතාවගේ ගුණධර්ම දියුණුවටත් බෙහෙවින් උපකාරි වේ.

කඨින පින්කම එක් විහාරයක දී වර්ෂයකට එක් වරක් පමණක් පැවැත්විය හැකි දුර්ලභ ගණයේ මහා පින්කමකි. ඒත් පෙරවස් පවාරණය කළ භික්ෂූන් වහන්සේ වැඩ සිටී නම් පමණකි. මේ නිසා භික්ෂූන් වහන්සේ විනයානුකූලව වස් වසා, එය රැක ගැනීම අත්‍යවශ්‍ය වේ.

“කඨින” යන වචනයේ තේරුම ශක්තිමත්, ස්ථිර, ප්‍රබල යනාදී වශයෙන් දැක්වීමට පිළිවන. කඨින පින්කම හා එහි අනුසස් ද එම නිසා සෙසු පින්කම්වලට වඩා ප්‍රබල ය. සතර අපායාදී දුකින් නිදහස් වන්නට, සුගති සැප ලබන්නට උපකාර වන්නකි. බෞද්ධයාගේ පරමාර්ථය විය යුත්තේ සසර දිග්කර ගැනීම නොව සසරින් එතරව නිවනින් සැනසීමයි. ඊට මහෝපකාරි වන්නේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් දියුණු කිරීම ය. එයට වස් කාලය තුළ යෙදෙන පින්කම් ඉවහල් වේ. මේ අනුව වස් කාලය හා කඨින පින්කම අපට සුගති සැප හා නිවන් සැප ලබාදීමට ඒකාන්තයෙන් පිටුවහල් වේ.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම වස් විසීම බරණැස් නුවර ඉසිපතනාරාමයේ දී සිදුවුණේ වසරක් පාසා වස් විසුවත් භික්ෂූන් වහන්සේට වස් විසීම අනුදැන වදාළේ වසර විස්සකට පසුවයි.

“මහණෙනි වස් කාලයෙහි වස් එළඹීමට අවසර දෙමි. පෙර වස් එළඹීම යැයි, පසුවස් එළඹීමයැ යි වස් විසීම් දෙකකි. ඇසළ අව පෑළවිය දිනයෙහි පෙරවස් එළඹිය යුතු ය. නිකිණි අව පෑළවිය දිනයෙහි පසුවස් එළඹිය යුතු ය.

මේ වස් කාලය තුළ ධර්ම දේශනා දී විශේෂ කරුණක දී හැර, ආරාමයේ පිට රාත්‍රිය ගත කළ නොහැක. චාරිකාවෙන් වැළකී මහණ දම් රැකීම වස් කාලයේ සිදු වෙයි. බුදුරජාණන් වහන්සේ ද කර්මස්ථානාදිය දීමෙන් ඊට අනුග්‍රහ දැක්වූ සේක. මෙකල ගිහි පින්වතුන්ට ද, සංඝයාට උපස්ථාන කිරීමෙන් ද, විවිධ පින්කම් කිරීමෙන් ද කුසල් රැස් කිරීමට අවස්ථාව ලැබේ. මෙසේ වස් කාලය ගිහි පැවිදි දෙපසට ම වැඩදායක ය.

පාවෙය්‍යක භික්ෂූන් වහන්සේලා 30 නමක් බුදුරජාණන් වහන්සේ දැකීමට සැවැත්නුවර බලා වඩිද්දී අතරමග දී වස් කාලය පැමිණි නිසා සාකේත නුවර වස් වසන්නට සිදු විය.වස් තුන් මස අවසානයේ පවාරණය කොට සැවැත් නුවර දෙව්රම බලා ගමන් කරද්දී වැස්ස, මඩ ආදිය නිසා තෙමුණු සිවුරු ඇතිව විඩාවට පත්ව බුදුරදුන් හමුවට ආහ. මේ බව දැන වදාළ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ කඨිනය ඇතිරීම පැණවී නම් අඳනය හා තනිපට සිවුරෙන් පමණක් වැඩිය හැකියි. එවිට මෙසේ ක්ලාන්තවීමක් නොවේ යැයි සලකා මා මුලින් වාර්තා කළ ශික්ෂා පදය පනවා වදාළ සේක.

ඒ මෙසේයි.

මහණෙනි, පෙර වස් වසා පවාරණය කළ භික්ෂූන්ට කඨිනය ඇතිරීමට අවසර දෙමි. කඨිනානිසංස පහකි. ඒවා නම්, අනාමත්තචාරය, අසමාද්චාරය, ගනභෝජනය , යාවදත්ථ චීවරය, චිවරුප්පාදය යනුයි.

කඨින වස්ත්‍රයක් හෝ සිවුරක් පූජා කළ හැක්කේ වප් මස පුර පසළොස්වක පටන් ඉල් පුර පසළොස්වක දක්වා වූ චීවර මාසය තුළ දී පමණකි. එය එක් විහාරස්ථානයක දී පැවැත්විය හැක්කේ එක් වරක් පමණි. එම සිවුර කැපීම, මැසීම, පූජා කිරීම, ඇතිරීම එම දවස තුළ ම කළ යුතුව ඇත. මේ සිවුර පූජා කරන්නේ පෞද්ගලික ව නොවේ. මහා සංඝයාට ය. සංඝයාගේ අනුමතයෙන් වෙහෙර වස් විසූ භික්ෂූන් අතුරෙන් සිවුරක් කරවීමෙහි සමර්ථ සුදුසු භික්ෂූන් වහන්සේ නමකට පොහොය සීමාවක දී උදකුක්ඛේප සීමාදියක දී හෝ ඤත්ති චතුර්ථ කර්ම වාක්‍යයෙන් පවරනු ලැබේ.

එසේ පවරනු ලැබූ භික්ෂුවට ලැබෙන ආනිසංස නම් විනය ශික්ෂාප ද 5 කින් නිදහස ලැබීම ය. ඒවා නම්

අනාමත්තවාරො – භික්ෂූන් වහන්සේ තමන් වසන ආරාමයෙන් පිටතට පිණ්ඩපාතය පිණිස හෝ, ඉගෙනීම පිණිස හෝ ,ධර්ම දේශනාදිය පිණිස හෝ යන්නේ නම්, ඒ බව වෙනත් නමකට දන්වා යා යුතු ය. නැත හොත් ඇවැතක් සිදු වේ. එහෙත් කඨිනයක් ඇතිරූ භික්ෂූන් වහන්සේට එසේ නොදන්වා යාමට නිදහස ලැබේ. ඒ පළමුවන කඨිනානිසංසය යි.

අසමාදචාරෝ– භික්ෂූන් වහන්සේට අධිෂ්ඨාන කළ තුන් සිවුරෙන් වෙන් ව වාසය කළහොත්, නිසඟි පමිති ඇවැත සිදු වේ. කඨිනය ඇතිරූ භික්ෂූන්ට එම ශික්ෂාපදයෙන් නිදහස ලැබේ. මේ දෙවැනි ආනිශංසයයි.

“අපට බත් දෙව‘ යි භික්ෂූන්ගේ කීම ද, ‘අපගේ බත ගනුව යි දායකයන්ගේ කීම ද අකැප ව්‍යවහාර යයි. ගිලන් කාලය ආදී සුදුසු වේලාවක මිස අකැප ව්‍යවහාරයෙන් සතරනමකට වැඩි පිරිසකට දෙනු ලබන භෝජනය පිළිගැනීමෙන් ද ඇවැත් සිදු වේ. කඨිනය ඇතිරූ භික්ෂූන්ට මින් ලැබෙන නිදහස තුන්වන ආනිසංසය යි.

යාවදත්ථචීවරං අධිෂ්ඨාන හා විකප්පන නොකළ සිවුරු දැරිය හැක්කේ දස දවසක් හෝ, මාසයක් වැනි ටික කාලයකි. එ ය ඉක්ම වූ වොත් ඇවත් සිදු වේ. එහෙත් කඨිනය ඇතිරූ භික්ෂුවට එයින් ලැබෙන නිදහස සිවුවන ආනිසංසයයි.කඨිනය ඇතිරූ විහාරයෙහි සාංඝික වශයෙන් හෝ මතක වස්ත්‍ර වශයෙන් හෝ සිවුරු පිණිස හෝ ලැබුණු සිවුරු කඨිනය ඇතිරූ භික්ෂූන්ට හේමන්ත ඍතුවෙන් කෙළවර දක්වා අයිති වෙයි. මේ පස්වන ආනිසංසය යි.

මෙසේ භික්ෂූන්ට විනයානුකූල කඨිනානිසංස පහක් ලැබෙන අතර කඨිනදායකත්වය ද ලැබිය හැකි ය. භික්ෂු ,භික්ෂුණී ,උපාසක, උපාසිකාවන්ට කඨින චීවරයක් පිරිනැමීමට පිළිවන.

කඨින දායකයන් ලබන අනුසස් රාශියකි. කඨින යනු ස්ථිර , තද යන අරුතයි. සිවුර මහන රාමුවට ද කඨිනය යි කියනු ලැබේ. කාශ්‍යප බුදුරදුන් ද වරක් කඨින චීවරය මැසීමට සහභාගි වූ හ. එදා භික්ෂූන් වහන්සේ ද ඕනෑකමින් එක්ව කඨින සිවුර මැසුවත් අද නවීන යන්ත්‍ර නිසා ඉක්මනටත් පහසුවටත් ඒවා කළ හැකි ය.

කඨින දානයෙන් ලබන අනුසස් බොහෝ ය. කඨිනානිසංස මහ පොළව මෙන් අකම්පිතය. කුසලය අකුසලයකින් නොසෙල්විය හැකි ය. මහාමේරුව වාතයකින් සෙලවිය නොහැකි සේ,

වජ්‍රපර්වතය නොබිඳිය හැකි සේ ස්ථිර නිසා කඨිනය යයි කියනු ලැබේ. මව් මැරීම ආදි ආනන්තරිය මහා පාපකර්ම හැර සෙසු අකුසල කර්ම වලින් මෙම කඨින අනුසස් යටපත් කළ නොහැකි බව මින් අදහස් වේ.

කඨිනානිසංස විස්තර වන තවත් අවස්ථාවකි. ‘නාගිත අපදානය ‘මෙයින් කල්ප අනූ එකකට පෙර විපස්සි බුදුරජාණන් වහන්සේගේ සමයෙහි කඨින චීවරයක් දුන් උන්වහන්සේ අප බුදුරජාණන් වහන්සේගේ සමයෙහි සසුන්ගත ව රහත් ව එම අනුසස් මෙසේ පැහැදිලි කළහ.

කල්ප 30 ක් තිස්සේ අපායාදී දුගතියක නූපන්නෙමි. කල්ප 18 ක් දෙව්ලොව ම ඉපදුනිමි. 34 වාරයක් සක් දෙව් රජකම ලැබූවෙමි. එක් ඉඳිකටු ඇස්සකට 36 වාරයක් බැගින් සක්විති රජකම ලැබීමට හේතු ඇතත් සසර එතරම් දග් නොවූ නිසා 84 වාරයක් සක්විති රජවීමි. උපනූපන් සියලු තැනම සියලුම සම්පත් ලැබූවෙමි. මිනිසුන් අතර උතුම් පුරුෂයෙක් වූයෙමි. දෙවියෙකු හෝ මිනිසෙකු වශයෙන් මිස, දුගතියක උපත නොලැබුවෙමි. ක්ෂත්‍රිය , බ්‍රාහ්මණ යන උසස් කුල දෙකේ පමණක් උපත ලැබුවෙමි. හීන කුලයක නූපන්නෙමි. බුද්ධ, ධම්ම, සංඝ රත්නත්‍රයේ පූජනීයත්වය නෛර්යාණික දක්ෂිණාර්හත්වය ආදී ගුණ විශේෂත්වය පුදුම සහගත ය. කඨිනානිසංසයෙන් මම දෙවි මිනිසුන් අතර පි‍්‍රයයෙක් වූයෙමි. මෙසේ නාගිත හිමියන් දේශනා කළ පරිදි මේ මහානුභාව සම්පන්න මහ පුණ්‍යකර්මය අපේ පැරැණි රජ දරුවන් විසිනුත් උත්කර්ෂවත් ලෙස සිදු කරනු ලැබූහ.

මෙසේ මේ ආනිශංස දායක පින්කම සිදු කොට අමාමහ නිවන් සුව ලබා ගනිත්වා.

 රද්දැල්ලේ පඤ්ඤාලෝක අනු නා හිමියන් විසින් මෙම ලිපිය 1993.10.30 වනදා බුදුසරණ පුවත්පතෙහි ලියා පළවූවකි.

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 13 වන දා ඉරිදා පූර්ව භාග 00.36 ට ලබයි. 14 වන දා සඳුදා පූර්ව භාග 02.37 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 13 වන දා
ඉරිදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 21 වන දා සඳුදා ය

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

First Quarterපුර අටවක

නොවැම්බර් 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]