[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මේ වස්සාන කාලයයි - 4: මාර්ග ඵල අවබෝධය පිණිස...

මේ වස්සාන කාලයයි - 4:

මාර්ග ඵල අවබෝධය පිණිස...


උපසපන් භික්ෂූන් වහන්සේ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය ළංවන විට වස් තුන් මාසයක කාලය වැඩ සිටීමට සුදුසු ස්ථානයක් පිළිබඳව සොයා බලනවා. වර්තමානයේ බොහොමයක් භික්ෂූන් වහන්සේ සම්මුතිය අනුව, තමන්ගේ යැයි පවසන විහාරස්ථානයක වැඩ සිටීමට සිදුවන බැවින් අමුතුවෙන් ස්ථානයක් සෙවීමට වෙහෙසීමක් සිදු වන්නේ නැහැ.

එනමුත් යම් වූ ද, දායක පිරිසක් විසින් සුදුසු ආකාරයකින් පිළියෙල කරන ලද ස්ථානයක, එනම් වස් විසීමට සුදුසු ස්ථානයක ගසක්, බෙනයක්, පාවෙන පාරුවක් නොවී වහළක්, දොරක් ඇති ස්ථානයක සුදුසු ලෙස ප්‍රධාන වශයෙන් කුටියක් පිළියෙළකොට ආරාධනා කළේ නම්, සම්මුතියේ තමන්ගේ යැයි සිතමින් වැඩ සිටින විහාරයෙන් බැහැරව එවැනි ස්ථානයක හෝ වස්විසිය හැකියි. කෙසේ වෙතත් ඇසළ මාසය ළංවන විට වස්සානය සඳහා සිතින් සූදානම් වීමක් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සමයේ බොහෝ භික්ෂූන් වහන්සේ වර්තමානයේ මෙන් තමන්ගේ යැයි සම්මුතිය හෝ සිතමින් වැඩවාසය කරන විහාරස්ථානයක් හෝ විහාරස්ථාන ලෙස පවත්වා නොගත් බැවින් සංඝයා නමින් පූජා කළ ඕනෑම විහාරයක වස් සමාදන් වූවා. උන්වහන්සේලා එවැනි විහාරයක දායක ඇත්තන්ට ධර්ම මාර්ගය අනුගමනය කිරීමට සීල, සමාධි, ප්‍රඥා ගුණ වැඩීමට, ඔවුුන්ටත් පින් සිදු කර ගැනීමට, නිවන අරමුණු කර ගැනීමට හේතුවන හා උපකාරවන ලෙස කල්පනාකොට එවැනි ස්ථාන සොයාගෙන යෑම සිරිතක් ව පවතිනවා. බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ඇති වූ එවැනි සිදුවීමක් නිදසුනකින් දැක්විය හැකියි.

සැවැත්නුවර වැසි මහාපාල නම් කෙළෙඹි පුත්‍රයෙක් ගිහි ගෙය කළකිරී, සැදැහැයෙන් පැවිදි වී බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ගෙන, හැට නමක් භික්ෂූන් සමඟ යොදුන් එකසිය විස්සක් මඟ ගෙවා එක්තරා පිටිසර ගමකට වැඩම කළා. ඒ ගමේ මිනිසුන් පිළිවෙත් සරුමඟ වඩින මේ භික්ෂූන් වහන්සේ දැක සතුටුව, ආසන පනවා, දන් වළඳවා සුදුසු වේලාවෙහි මෙසේ විමසා සිටියා.

භික්ෂූන් වහන්ස, කොහි වඩිනා සේක් ද? භික්ෂූන් වහන්සේලාගේ පිළිතුර වූයේ උපාසක උපාසිකාවරුනි, අපි පහසු තැනක් සොයාගෙන වඩින්නෙමු යන්නයි. එවිට මේ සැදැහැවත් නුවණැති මිනිසුන් මේ භික්ෂූන් වහන්සේලා වස් විසීමට සෙනසුන් සොයා වැඩම කරන්නෙහිය සිතා වස් විසීමට ආරාධනා කොට රාත්‍රියේ වාසයට සුදුසු ස්ථානයක් හා දවල් කාලයේ වාසය සඳහා සුදුසු ස්ථානයක් ඇති විහාර, සෙනසුන් සකස් කොට දී උපස්ථාන කිරීම ආරම්භ කළා. පාලිත තෙරුන් වහන්සේ ද වස් වසන දවසේ ඒ සැට දෙනා වහන්සේ ට කතා කොට ආයුෂ්මතුනි, අද වස් වසන දවස නේද? අපිත් මෙතෙක් තැන් භාවනා මාර්ගයට පැමිණෙමින් සිටින්නෙමු.

බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ගෙනයි අප වැඩම කළේ. බුදුරජාණන් වහන්සේ අපිට කටමහන් ලබා දුන්නේ රහත්වීම දක්වා ම එය අනුගමනය කරන ලෙස උපදෙස් දීමෙනුයි. බුදුරජාණන් වහන්සේ අප දෙස බලාගෙන වැඩ සිටිනවා. අප සිතන කියන දෙයක් වේ නම්, මදු සහිත කොට සොරුන් අල්ලන්නා සේ උන්වහන්සේලා අපේ සිත දැක ගන්නවා. එනිසා බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් හැටියට අපි පිළිවෙත් මාර්ගයෙන් නිවන් මඟ අරමුණු කරගෙන කටයුතු කරමු. අප්‍රමාදී ව උත්සාහයෙන් කමටහන් වඩා ලෝකෝත්තර මාර්ගයට එක්වෙමු. උන්වහන්සේලා ඒ මඟට පිළිපන් ශ්‍රාවකයන් බවට පත්වුණා. දායක ඇත්තන් මේ කාලය තුළ පෙහෙවස් සමාදන් ව බොහෝ පින් දහම් කොට ස්වාමීන් වහන්සේලාටත් උපස්ථාන කරමින් උන්වහන්සේලාටත් මාර්ගඵල අවබෝධයෙන් නිවන් මඟට අවස්ථාව සලසා දෙමින් දායක ඇත්තනුත් ඒ ලෝකෝත්තර සම්පත්තිය ලබාගත්තා.

වර්තමාන කාලයත් මෙයට අවස්ථාවක් නොවේ දැයි ඔබ, අප විසින් සිහිපත් කරගත යුතුම යි. මේ දහම් ලිපිය කියවන ඔබ වස්සාන කාල කීයක් නම් ගත කොට ඇත්දැ?යි ඔබ ම සිතා බලන්න. විහාරස්ථාන කීයකට හෝ කොපමණ ආරාමවලට දායකත්වය දරා ඇත්දැයි සිහිපත් කොට බලන්න. කොපමණ කඨින චීවර පුජාවන්ට සහභාගි වී ඇත්තේ දැයි නුවණින් සිහිපත් කොට බලන්න. ඉහත සඳහන් කළ පාලිත තෙරුන්ගේ කතාව විමසන්න, එක ම වස් කාලයකින් භික්ෂූන් වහන්සේලාටත් සීල, සමාධි, ප්‍රඥා ගුණ වඩන්නට උපස්ථාන කොට උන්වහන්සේලාට මාර්ගඵල අවබෝධයට උපකාරවෙමින්, තමනුත් ලොව්තුරා සම්පත්තියෙන් සැනසුන බව, ඒ දහම් කතාව කියා දෙනවා.

වර්තමාන පරිසරය තුළ භික්ෂූන් වහන්සේලා මුළු ජීවිත කාලය පුරාම උපසම්පදා භික්ෂූන් වහන්සේලා ලෙස වස් වාසය කරනවා. වස් හාර මාසයක කාලය ගත කරනවා. ගිහි පින්වතුන් බොහෝ සිව් පසයෙන් ඇප උපස්ථාන කරමින් කටයුතු කරනවා. ඒවා පින්කම් හැටියට නම් කළ හැකියි. පින්කම් අවශ්‍යයයි. එහෙත් පින්කම් අවශ්‍ය කරන්නේ කුසල් මඟ ඔස්සේ මාර්ගඵල අවබෝධය පිණිස නොවේ දැයි නුවණින් සිහිපත් කොට බලන්න. මාර්ගඵල අවබෝධය මුළුමනින් සම්පූර්ණ කර ගැනීමට නොහැකි වුණත් ධර්ම කතාවේ පෙන්වාදෙන ‘අමතස්සදාරා’ අමාදොර ළඟට ළංවෙන ගමන් මාර්ගය ට පත්වීම අවශ්‍යය යි.

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 29 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 07.55 ට ලබයි. 30 වනදා , සිකුරාදා අපරභාග 04.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 30 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
06 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]