[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිතිවිල්ලක ප්‍රබලත්වය

සිතිවිල්ලක ප්‍රබලත්වය

" අප උත්සවයකට සහභාගිවන අවස්ථාවක් සිහියට නගා ගනිමු. එහිදී අප හඳුනන කණ්ඩායමක් එක් පැත්තකත්, ඊටත් වඩා හඳුනන කණ්ඩායමක් අනෙක් පැත්ත තුළත් සිටින විට අපේ ශරීරය වඩාත් ඇදී යනුයේ කවර පැත්තකටද? තමන් ඉතා කැමැති දෙස ට යි. එසේ සිදු වන්නේ ඇයි ?"


ඇතැම් යොවුන් දරුවන් දිනකට පැය කීයක් ජංගම දුරකතනය පරිහරණය කරනවා ද? දිනකට සාමාන්‍යයෙන් පැය දෙකක තරම් කාලයක් යැයි සිතමු. එසේනම් ප්‍රයෝජන වත් නොවන දේ සඳහා කෙතරම් කාලයක් ජීවිතය වැය කරනවා ද?

අපට මේ ශරීරය ලැබී තිබෙන්නේ කර්මානුරූපව නඩත්තු කළ යුතු ආකාරයට ය. අප අලුයම පිබිදී, මුහුණකට පිරිසුදු කරන්නේ ඇයි? මේ ශරීරය නඩත්තු කළ යුතු නිස යි. අපට ලැබී තිබෙන ශරීරය පවත්වා ගෙන යායුතු නිසා ආහාරපාන ලබා දෙනු ලැබේ. යමක් උපයා ගැනීමට රැකියාවක් කළ යුතුයි. මේ ආදී සියලු දේ සිදු කරන්නේ මේ ශරීරය නඩත්තු කිරීම හෙවත් පවත්වා ගෙන යා යුතු නිස යි. ඇඳුම්, පැළඳුම්, නිවාස ආදී සියල්ල සම්පාදනය කර ගනු ලබන්නේ ද පවත්වා ගත යුතු හෙයිනි.

මෙසේ බලන විට අප වෙත ලැබී තිබෙන ශරීරය පවත්වා ගෙන යාමට විශාල කාලයක් වැය කරනු ලැබේ. එසේ කල්පනාකර බලන විට නිශ්ඵල දේ සඳහා කාලය වැයකිරීම සුදුසු ද? තම තමන්ගේ ජීවිත දෙස නිවැරැදි බැල්මකින් හැරී බලන විට තමන් කෙතරම් කාලයක් නාස්ති කරනවා ද? යන්න වැටහෙනු ඇත.

අපට වැටහෙනුයේ සිතෙහි හට ගන්නා ප්‍රබලතම සිතිවිල්ල ක්‍රියාත්මක භාවය ට පත්වන බව යි. අප උත්සවයකට සහභාගිවන අවස්ථාවක් සිහියට නගා ගනිමු. එහිදී අප හඳුනන කණ්ඩායමක් එක් පැත්තකත්, ඊටත් වඩා හඳුනන කණ්ඩායමක් අනෙක් පැත්ත තුළත් සිටින විට අපේ ශරීරය වඩාත් ඇදී යනුයේ කවර පැත්තකටද? තමන් ඉතා කැමැති දෙස ට යි. එසේ සිදු වන්නේ ඇයි ? කැමැති සිතිවිල්ලක් ඉපදී, ඊටත් වඩා කැමති සිතිවිල්ලක් ඉපදීම හේතුව යි. සිතිවිල්ල යම් ස්ථානයක දී ප්‍රබල වුවහොත් එහි ක්‍රියාත්මක භාවයට යනු ලැබේ. අප අතින් සිදුවනුයේ ඉතා ප්‍රබල සිතිවිලි වේ. සත්ව ඝාතනය කළ යුතු යැයි සිතිවිල්ල ප්‍රබල නම්, එය එසේ සිදු වෙයි. ඒ සත්ව ඝාතනයෙන් වැළකිය යුතුයැයි සිතිවිල්ල ප්‍රබලනම් එසේ සිදු වෙයි. එසේ නම් කුසලය උප්පාදනය කර ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ කුසලය ප්‍රබල කර ගත යුතුයි. ප්‍රබල වන ආකාරයට අපේ සිත සකස් කර ගත යුතුයි.

එසේ සිත සකස් කර ගන්නේ කෙසේද? සිතිවිල්ලක් ප්‍රබලවන්නේ කෙසේදැයි තමා දෙසට හැරී බැලිය යුතුයි. සමහර වෙලාවට සුළු කරුණකට අපේ සිතට තරහ ගතියක් පැමිණුනා යැයි සිතන්න. එහිදී තමන්ගේ සිතට ඒ තරහ ගතිය ඒමට සැලැස්වූ තැනැත්තා ගැන සිත සිතා තරහ ගතියෙන් කේන්තියෙන් පසුවෙනවාද? තරහ ගතියෙන් ම, ඒ තැනැත්තා ගැන සිතිවිලි ගලා එනු ලැබේ. යම් තැනැත්තෙක් පිළිබඳ තරහ ගතියෙන් ම පසුවන හැඟීම අඩුවනවා ද? නැතහොත් වැඩිවෙනවා දැයි සිතා බලන්න. තරහ ගතිය වර්ධනය වීම නිසාම ඒ ප්‍රබලගතිය හටගනු ලැබේ.

සමහර විට යම් කෙනෙක් එබඳු තරහ ගතියෙන් පසු වන විට ඇතැම්විට ගහ බැන ගන්නා මට්ටම දක්වා පත්වනු ලැබේ. යම් කෙනෙක් ගැන ආදර හැඟීමක් පහළ වූ විට ඒ තැනැත්තා ගැන ආදර හැඟීම මෙනෙහි කරනවිට කුමක් සිදු වේද? ආදරය වඩා වර්ධනය වනු ලැබේ. එසේ නම් යම් හැඟීමක් අපගේ සන්තානයෙහි ඉපදුනහොත් ඒ හැඟීම නැවත නැවතත් මෙනෙහි කිරීමෙන් එය ප්‍රබල හැඟීමක් බවට පත්වනු ලැබේ. මවට, පියාට දරුවකු තුළ හට ගන්නා ආදරයට වඩා, වෙනත් යම් කෙනෙක් වෙත හට ගන්නා ආදරය කාලයාගේ ඇවෑමෙන් වඩාත් වර්ධනය වනු ලැබේ. මවට, පියාට කිසිදු අයුරකින් නොවෙනස්ව සිටිනවා යැයි සිතන ඇතැම් යෞවන දූ පුතුන් කාලයාගේ ඇවෑමෙන් හැඟීමෙහි ප්‍රබලත්වය වර්ධනය වීම නිසා මව, පියා පවා අතහැර දමා යනු ලැබේ. එසේ බලන විට අපේ ජීවිතය තුළ ප්‍රබල හැඟීම් ක්‍රියාත්මක වන බව වැටහෙනු ඇත.

මෙයට පෙර සඳහන් කළ ආකාරයට පැත්තෑයකු නිවසට ඇතුළු වන විට කිසිදු අයුරකින් මරණයට පත් කිරීමට හොඳනැතැයි යන අදහසක් පහළ නොවන අයෙකුට පළමුව ඒ සතාට හිංසා කිරීමෙන් ඇතිවන විපාක ගැන කියා දෙනු ලැබේ. පෙර සිතිවිලි වර්ධනය නොවුව ද, පසුව එහි විපාක කියාදීමෙන් පැත්තෑයා මරණයට පත් කිරීම අයහපතක් යැයි සිතිවිලි පහළ වනු ලැබේ. එසේ වූයේ දැන ගැනීම මගිනි.

විපාකය දැන ගත්ත ද මරණයට පත් කරනු ලැබේ. දැන් කළ යුත්තේ සත්ත්වයෙකු ඝාතනයෙන් තමන්ට හට ගන්නා විපාක පළදෙන ආකාරය සිහියට නගා ගැනීම ය. සමහර විට මෙලොව කිසිවකු නොසිත ආකාරය ට ඇතැම් අයෙකුට විවිධ ව්‍යසනවලට මුහුණ පෑමට සිදු වූ අවස්ථා දැක ඇතිවාට සැක නැත. පැත්තෑයකුට පහර දුන් විට අඬු ගසා දඟලනු ලැබේ. තැලී පැලී ඕජාව ගලනු ලැබේ. සමහර විට සෙරෙප්පුවකින් පහරදී ඇතැම් විට කොස්සකින් එළියට අතු ගා දමනු ලැබේ. පසුව කූඹි වට වී ඒ සතා කකා ඇදගෙන යනු ලැබේ. අපට එක කූඹියෙකු කෑ විට විස කෙතරම් දැනෙනවා ද? අර චූටි සතෙක් කූඹී වට වී කකා පණ පිටින් ඇද ගෙන යන විට කෙතරම් වේදනාවක් දැනෙනවා ඇත්ද? මේ ආදී වශයෙන් එවන් සිතිවිල්ලක පසුවන විට සතා නොමරමි යන සිතිවිල්ල ප්‍රබල වනු ඇත. එසේ සිතිවිලි ප්‍රබල වු විට තවත් වරෙක එය පැත්තෑයට පවා අනුකම්පාවක්, මෛත්‍රියක් හට ගනු ලැබේ.

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 29 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 07.55 ට ලබයි. 30 වනදා , සිකුරාදා අපරභාග 04.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 30 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
06 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]