[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආලෝකයෙන් ආලෝකයට යන්නා

ආලෝකයෙන් ආලෝකයට යන්නා

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

චත්තාරෝ මෙ භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා
ලෝකස්මිං කත මේ චත්තාරෝ
තමෝ තම පරායමෝ, තමෝ ජෝති පරායමෝ
ජෝති තම පරායමෝ ජෝති ජෝති පරායමෝ

“සුපින්වත්නි”,

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මානව සමාජය පිළිබඳ ව තමන් වහන්සේගේ ඤාණයෙන් ම අවබෝධ කරගෙන කෙනෙකුගේ දියුණුව හා පරිහානිය තම ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් හැටියට සිදුවන වග දේශනා කොට වදාළ සේක.

සෑම සත්වයා ම තවත් සත්වයෙකුගේ ජීවන පැවැත්මට කුමන අන්දමකින් හෝ උපකාරයක් වේ. සත්ව ලෝකයේ පමණක් නොව, භෞතික පරිසරයේ පවා අන්‍යොන්‍ය ප්‍රතිබද්ධ බවෙහි ප්‍රවණතාවය ද දක්නට පුළුවන.යම්කිසි ජීවයක් පවතින්නේ තවත් ජීවින් සිටියේ නම් පමණි.

විශේෂයෙන් මානව සමාජයේ පැවැත්ම උදෙසා මිනිසා විසින් ම නිර්මාණය කළ භෞතික හා මානසික සම්පත් අපමණ වන අතර, ලොව්තුරා බුදු කෙනෙකුන් තරම් මානව සමාජයේ දීර්ඝකාලීන පැවැත්ම උදෙසා ප්‍රතිෂ්ඨාපනය වූ කෙනෙකු තබා එයට සමීපවන කෙනෙකුවත් සොයා ගන්නට නොහැක.

බෝධි සත්වයන් වහන්සේලා කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව එක ම අධිෂ්ඨානයෙන් සත්වයන්ට සේවය කිරීම සඳහා කල්ප ගණන් මානව සමාජයේ පමණක් නොව සෙසු ජීවින් අතර ද ඉපදී අපමණ දැනුම් සම්භාරයක් ලබා ගනිති. පෞද්ගලික වශයෙන් ජීවිත පුරුදු පුහුණු කර ගනිති.

පින්වත්නි,

අපගේ ගෞතම සර්වඥයන් වහන්සේ නියත විවරණයේ පටන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට ප්‍රඥාවෙන් මනා අවබෝධයක් ලබාගෙන කරුණාවෙන්, පරාර්ථකාමී සිතින්, වීර්යයෙන්, එකම අධිෂ්ඨානයකින්, ඉවසීමෙන්, දුක් සැප විඳ දරාගෙන පොදු සමාජය ගැන ලබාගන්නට හැකි හැම දැනීමක් ම ලබාගත් සේක.

සත්වයාගේ සංසාරික දුක් දොම්නස් සදහටම සමනය කිරීම සඳහා පෘථග්ජන මිනිසාගේ දුර්වලකම් මෙන් ම, යහපත් ගතිපැවතුම් මහා කරුණාවෙන් පෙන්වාදුන් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ එමඟින් නිර්වාණගාමී ප්‍රතිපදාවට යොමු කර වූ සේක. මෙම මනුෂ්‍ය ලෝකයෙහි පුද්ගලයන් හතර දෙනෙකු පිළිබඳ ව අංගුත්තර නිකායේ ‘තමො තම පරායන’ සූත්‍රයෙන් දක්වා ඇත. එනම්

අඳුරෙන් අඳුරට යන පුද්ගලයා,

අඳුරෙන් එළියට යන්නා,

එළියෙන් අඳුරට යන්නා සහ

එළියෙන් එළියට යන පුද්ගලයා වශයෙනි.

යම් කිසි පුද්ගලයෙක් හීන දීන කුලයක ඉපිද , ධනධාන්‍යාදී සම්පතින් ඉතා ඌනව , ජීවිතය කෙසේ හෝ පවත්වාගෙන යයි. ප්‍රාණඝාතාදී අකුසල් ම කරන්නේ මරණින් මතු සතර අපායේ ඉපිද අපමණ දුක් විඳියි. මෙවන් පුද්ගලයා, තමො තම පරායන හෙවත් ‘අඳුරෙන් අඳුරටම’ යන පුද්ගලයා ය.

යමෙක් හීනදීන කුලයක ඉපිද ආහාරපාන වස්ත්‍රාභරණාදියෙන් තොරව ඉතා දුක සේ දිවිගෙවයි. නමුත් බුද්ධි ප්‍රමාණයෙන් සිතා මතා , තුන් දොරින් පංචශීලාදී සුචරිත ධර්මයන් පුරුදු පුහුණු කරයි. හේ මරණින් මතු සුගතියෙහි උපදී. ඔහු ‘තමො ජෝති පරායනො’ හෙවත් අඳුරෙන් එළියට යන පුද්ගලයා ය.

යමෙක් ක්ෂත්‍රිය, බ්‍රාහ්මණාදී උසස් යයි සමාජ සම්මත කුලයක ඉපිද ධනධාන්‍යාදී ආර්ථික සම්පතින් අනූනව ජීවත් වෙයි. ප්‍රාණඝාතා දී අකුසල් කරමින් කල් යවා මරණින් මතු සතර අපායේ ඉපිද, මහා දුක්වේදනාවට පත්වන්නේ ය. මේ තැනැත්තා ‘ජොති තම පරායන’ හෙවත් එළියෙන් අඳුරට යන්නා ය.

තවද, යමෙක් ක්ෂත්‍රිය , බ්‍රාහ්මණාදී උසස් කුලයක ඉපිද ආහාරපාන වස්ත්‍රාභරණාදියෙන් අනූනව දිවි පෙවෙත ගෙවයි. දාන ,ශීල, භාවනාදී දස පුණ්‍ය ක්‍රියාවන්හි යෙදෙයි. මරණින් මතු සුගති සංඛ්‍යාත දේව මානුෂිකාදී සැප සම්පත් ලබන්නේ, ඔහු ‘ජෝති ජෝතිපරායන’ නම් වන්නේ ය.

පුද්ගලයා, පුද්ගලාන්තර්ගතවන්නේ තමොජෝති හෝ ජෝති ජෝති හෝ වන ස්වභාවය අනුව ය. එසේ නොවේ නම් අඳුරෙන් අඳුරට යන්නා මෙන් ම, එළියෙන් අඳුරට යන්නා ද තමාට තමා ම හතුරෙකු බවට පත් වේ. සමාජයට ද මහ හතුරෙක් වන්නේ ය.

සමාජයෙන් පුද්ගලයාට ද, පුද්ගලයාගෙන් සමාජයට ද, අන්‍යොන්‍ය ඒකාබද්ධතාවයක් නොවේ නම්, මානව සමාජය ඉතා භයානක ලෙස චංචල වන්නේ ය.

පුද්ගලයාගේ ආකර්ෂණය සමාජමය කුසලතාවයක් වීමට ප්‍රධාන කරුණු පහක් අත්‍යවශ්‍ය වන්නේ ය.

උප්පත්ති වාසනාව,

නිර්මාණ කුසලතාවය,

උසස් චින්තනය,

චාම් දිවිපෙවෙත හා

විවෘත සමාජ ආශ්‍රය යනුවෙනි.

සත්වයන් අතර මිනිසා උපතින් වාසනාවන්ත වුව ද, ඇතැම් අය මව්කුසින් බිහිවන්නේ ම අවාසනාව අරගෙන ය. උපන් පරිසරය, ආරෝහ පරිණාහ සම්පත්තිය, ආහාරපාන, ඇඳුම් පැළඳුම් නිසියාකාරව, කලට වෙලාවට නැතිවන්නට හේතුව පෙර පින් නැතිකම යි. එහෙත් ප්‍රමාණවත් බුද්ධියක් ඇත්නම් ඉදිරි ජීවන මාර්ගය යහපත් වන්නේ ය. එමෙන්ම, අවංක සුදුසු මාර්ගෝපදේශකත්වයක් ඇත්නම්, එය දෙලොව දියුණුවේ අඩිතාලම වන්නට පුළුවන.

‘පුබ්බේච කතපුඤ්ඤතා’ යන බුදු වදන අනුව මෙලොව ජීවිතය යහපත් වන්නට නම්, ප්‍රධාන වශයෙන් මව්පියන්ගේ චින්තනය හා ක්‍රියාකාරිත්වය සංකල්පයට සීමා නොවී සැම අංශයකින් ම ආදර්ශය, වාසනාව මූර්තිමත්ව දූ දරුවන්ගේ ඉදිරියේ ප්‍රකාශනයට පත් කළ යුතු වන්නේ ය.

මානව සමාජය පමණක් නොව, තිරිසන් සතුන් පවා ජීවන පැවැත්ම සකසා ගන්නේ ආදර්ශය ප්‍රධාන කරගෙන ය. මිනිසාට තිබිය යුතු පරමාදර්ශය පිළිබඳ මූලික පසුබිම සකස් කරගන්නේ බුදු, පසේබුදු, රහත් යන උතුමන්ලාගේ ජීවන චරිත ආශ්‍රය නිශ්‍රය කරගෙන ය.

‘අත්තදීපාවිහරථ’ යන බුදු වදන අනුව ඉගෙනීමෙන්, ආශ්‍රයෙන්, අත්දැකීමෙන් තමාට තමා පහනක් කරගත යුතු වන්නේ ය.

මෙම ලිපිය කියවීමෙන් හා අවබෝධයක් ලබාගැනීමෙන් අඳුරෙන් එළියට යන මාර්ගයත්, එළියෙන් එළියට යන මාර්ගයත් හොදින් දැනගෙන දෙලොව යහපත උදාකරගන්න.

තෙරුවන් සරණයි

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 29 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 07.55 ට ලබයි. 30 වනදා , සිකුරාදා අපරභාග 04.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 30 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
06 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]