[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඌව නැගෙනහිර ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලබන රත්කරව්වේ අමරවංශ නා හිමි

ඌව නැගෙනහිර ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලබන

රත්කරව්වේ අමරවංශ නා හිමි


මාදෝවිට මහ සඟ පරපුරෙන් ඌවට සිදු වූ ශාසනික, ජාතික මෙහෙවර අති මහත් ය.

මාදෝවිට සඟ පරපුරේ ප්‍රථම භාගයේ වැඩසිට අපවත් වී වදාළ කන්දකුඹුරේ රේවත, පල්ලේ ඇල්ලේ ජිනරතන හා පාලාවත්තේ ජිනරතන, පාලාවත්තේ ගුණානන්ද, මාදෝවිට පණ්ඩිත ඤාණානන්ද, මාදෝවිට පේමානන්ද, මාදෝවිට ශීලානන්ද, බිබිලිගමුවේ ගුණරතන, බිබිලිගමුවේ සුමනසාර, මාදෝවිට චන්දානන්ද යන මහ යතිවරයන් වහන්සේලා වූ හ.

දෙවන භාගයේ වැඩසිටි අපවත් වී වදාළ ඌව මහ දෙදිසාවේ ද්විතීය සංඝ නායක බිබිලිගමුව ශ්‍රී සුදර්ශනාරාමාධිපති සාහිත්‍යාචාර්ය පණ්ඩිත රත්කරව්වේ මේධානන්ද, ශාස්ත්‍රාචාර්ය එරබද්දේ විජිත, විහාරද්වයාධිපතිව වැඩවිසූ අධ්‍යාපන අධ්‍යක්ෂක ජෙනරාල් (පිරිවෙන්) ශාස්ත්‍රපති මාදෝවිට පඤ්ඤාරාම, ඌව මහ දෙදිසාවේ ද්විතීය සංඝ නායක කඩදොරපිටිය මේඝානන්ද, විහාරාධිපති සාහිත්‍යාචාර්ය මාදෝවිට දේවානන්ද, කොළඹ සීනාදී සිවුකෝරළයේ ප්‍රධාන සංඝ නායක බස්නාහිර පළාත් ගුරු උපදේශක හෝමාගම පුරාණ විහාරාධිපති, ශාස්ත්‍රපති මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමි යන සම්භාවනීය යතිවරයන් වහන්සේලා වූ හ.

එම මහා සඟ පරපුරෙන් පැවත එන මාදෝවිට ශ්‍රී විජයාරාමය, බිබිලිගමුවේ ශ්‍රී සුදර්ශනාරාමය, කහවත්ත කෙටේතැන්න ශ්‍රී ජයතිලකාරාමය යන විහාරාධිපති ඌව නැගෙනහිර දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ධර්ම කීර්ති ශ්‍රී ගුණරතන රත්කරව්වේ අමරවංශාභිධාන නා හිමිපාණන් වහන්සේගේ නව පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පිදෙන උපහාරය යි.

ඌව පළාතේ බදුලු දිස්ත්‍රික්කයේ රත්කරව්ව නම් වූ සුන්දර ගම්පියසේ විසූ රත්නායක මුදියන්සේලාගේ මුදලිහාමි උපාසක මහතාට සහ විජේකෝන් මුදියන්සේලාගේ කුමාරිහාමි යන දම්පතීන්ට දාව 1951 ජනවාරි තුන්වන දින රත්නායක මුදියන්සේලාගේ අබේසිංහ නමින් එම පින්වත් කුමරුවා උපත ලැබී ය.

කුඩා කල සිට ම දැහැමි ශික්ෂාකාමී බවින් යුත් මෙම කුමරුවා මාදෝවිට ශ්‍රී විජයාරාම විහාරාධිපතිව වැඩවිසූ බිබිලිගමුවේ ගුණරතන, ඌව මහා දෙදිසාවේ ද්විතීය සංඝ නායක මාදෝවිට දේවානන්ද යන යතිවරයාණන් වහන්සේලාගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1967 ජනවාරි 28 වන දින රත්කරව්වේ අමරවංශ නමින් පැවිදි බිමට පත්විය.

උගතයුතු බණ දහම් සියල්ල සිය ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ ඇසුරින් ප්‍රගුණ කොට වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා කොළඹ විද්‍යාලංකාර පිරිවෙණට ඇතුළත් වී ප්‍රාචීන, ප්‍රාරම්භය, මධ්‍යම උසස් සාමාර්ථ ලබා උසස් පෙළ විභාගය ද උසස් ලෙස සමත් වී විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් හිමිවුව ද, එම අවස්ථාව ප්‍රතික්ෂේප කරමින් පාලි, සංස්කෘත පමණක් නොව ත්‍රිපිටකය ද වඩාත් ගැඹුරින් අධ්‍යයනය කිරීමට උන්වහන්සේ උත්සුක වූ හ.

ශික්ෂාකාමී ජීවිතයක් ගත කළ රත්කරව්වේ අමරවංශ හිමිපාණෝ 1974 ජුනි 21 වන දින මල්වතු මහා විහාර උපෝසථාගාරයේ දී උපසම්පදා ප්‍රතිලාභයට පත් වූ හ.

මාදෝවිට සඟ පරපුරෙන් පාරම්පරික ව උරුම වූ දේශීය සර්වාංග වෛද්‍ය ක්‍රම සහ අක්ෂි වෛද්‍ය ක්‍රමය බිබිලිගමුවේ ගුණරතන, මාදෝවිට ශීලානන්ද, බිබිලිගමුවේ සුමනසාර යන යතිවරයාණන් වහන්සේලාගේ ඇසුර ලබමින් කැපවීමෙන් උගත් උන්වහන්සේ 1974 වර්ෂයේ පැවැත් වූ ලිඛිත විභාගයෙන් සමත් වී දේශීය අක්ෂි වෛද්‍යවරයකු වශයෙන් සහ 1986 වර්ෂයේ සිට දේශීය සර්වාංග වෛද්‍යවරයකු වශයෙන් ලියාපදිංචි වීමෙන් අනතුරුව ‘වෙදහාමුදුරුවෝ’ යන නමින් හඳුන්වන්නට වූ හ.

කැලණිය නුංගමුගොඩ ශ්‍රී ඥානානන්දාශ්‍රමාධිපති කැලණිය ජයතිලක විදුහලේ විශ්‍රාමික විදුහල්පති ගෞරව ශාස්ත්‍රවේදී මාදෝවිට ධම්මකිත්ති, කොත්මලේ කඩදොරපිටිය ශ්‍රී මේඝානන්ද විහාරය, කුඹල්ඔලුව ශ්‍රී බෝධිරුක්ඛාරාමය, පූඩලුඔය දේවානන්ද බෞද්ධ මධ්‍යස්ථානය, යන විහාරත්‍රයාධිපති ශාස්ත්‍රවේදී මාදෝවිට ඤාණරතන, හෝමාගම පුරාණ විහාරාධිපති අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) ශාස්ත්‍රපති මාදෝවිට වජිරබුද්ධි යන හිමිවරු උන්වහන්සේගේ සමකාලීන සොයුරු හිමිවරු වෙති.

මාදෝවිට ශ්‍රී විජයාරාමයේ නව චෛත්‍ය රාජයාණන් වහන්සේ සහ දෙමහල් සංඝාවාසය ඉදිකිරීම, නව තොරණක් සහිතව බෝධි ප්‍රාකාරය ප්‍රතිසංස්කරණය කිරීම, කෘෂි ආර්ථිකයට අවශ්‍ය වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම, ජල, විදුලි සහ මාර්ග පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු යෙදීම, බිබිලිගමුව ශ්‍රී සුදර්ශනාරාමයේ නව දාන ශාලාව සහ බෝධි ප්‍රාකාරය ඉදිකිරීම, ධර්මශාලාව ප්‍රතිසංස්කරණය කිරීම, කහවත්ත කෙටේතැන්න ශ්‍රී ජයතිලකාරාමයේ දියුණුව ආරක්ෂාව සහ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය කටයුතු යෙදීම 80 දශකයේ පටන් උන්වහන්සේගේ උත්සාහයෙන් සිදු වූ සේවාවන් ය.

වැලිමඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප සභාපති ධුරය, සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමයේ බදුලු දිස්ත්‍රික්කයේ ලේකම් පදවිය, වැලිමඩ ආයුර්වේද සංගමයේ සභාපති ධූරය, සමස්ත ලංකා සාමවිනිසුරු ධූරය ද, ඌව නැගෙනහිර දෙපළාත් මහා සංඝ රත්නයට අවශ්‍ය සුබ සාධනය සලසාදීම වැනි නිලතල නිහතමානීව දරමින්, ජනතා අවශ්‍යතා ඉටු කරදුන් උන්වහන්සේ මහා සංඝරත්නයේත්, ජනතාවගේත් ගෞරවාදරය ට සහ ඉමහත් ප්‍රසාදයට පත්ව ඇත.

උන්වහන්සේ චතුර ධර්ම කථිකයන් වහන්සේ නමකි. අගෝස්තු 30 වන දා පස්වරු. 02.30 ට මල්වතු මහා විහාරයේ දී ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ වෙතින් ශ්‍රී සන්නස් පත්‍රය ලබා ගැනීම සිදුවන අතර, සැප්තැම්බර් මස පළමු ඉරුදින පස්වරු 1 ට ඌව නැගෙනහිර ප්‍රදේශවාසීන්ගේ සහ මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් මාදෝවිට ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ දී අභිනව නා හිමියන් පිළිගැනීමේ උත්සව සභාව පැවැත්වේ.

ඌව නැගෙනහිර දෙ දිසාවේ ප්‍රධාන සංඝ නායක ධර්ම කීර්ති ශ්‍රී ගුණරතන රත්කරව්වේ අමරවංශාභිධාන අභිනව නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 29 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 07.55 ට ලබයි. 30 වනදා , සිකුරාදා අපරභාග 04.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 30 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
06 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]