[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගිහි ගෙදරට දහම් වැටක්: ප්‍රාණඝාතය අල්ප ආයුෂයට හේතුවයි

ප්‍රාණඝාතය අල්ප ආයුෂයට හේතුවයි


පුද්ගලයා විසින් නොකළ යුතු කම්ම කිලේසා සතරක් පිළිබඳව සිඟාලෝවාද සූත්‍රයෙහි දක්වා තිබේ. දියුණුව සහ අභිවෘද්ධිය බලාපොරොත්තු වන පුද්ගලයකු විසින් ද, සමාජයෙහි දියුණුව හා අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන පුද්ගලයකු තුළ ද නොතිබිය යුතු පළමු කාරණය ලෙස ප්‍රාණඝාතය දක්වා ඇත.

(පාණාතිපාතො ඛො ගහපති පුත්ත කම්ම කිලෙසො)

පරපණ නැසීම යම් පුද්ගලයකුගේ චරිතයෙහි පවතී නම්, ඔහු පිරිහෙන පුද්ගලයකු බවට පත්වන අතර, සමාජය විසින් ඔහු නොසලකා හරිනු ලබයි. වීරයකු ලෙස නොසලකයි. පවුකාරයකු ලෙස සිතයි. දියුණු සෑම සමාජයකම ප්‍රාණඝාතය පවතින නිසා එය සිදුකිරීම දියුණුවෙහි ම එක් ප්‍රධාන ලක්ෂණයක් ලෙස සිතන ඇතැම් පිරිස් ද සිටිති.

සම්මාදිට්ඨි සූත්‍රයේ පාණාතිපාතය අකුසලයක් ලෙස දක්වයි. එය දියුණුව බලාපොරොත්තු වන පුද්ගලයකු විසින් නොකළ යුත්තකි. මෙම අකුසලය විවිධ ය. සියතින්ම කළ හැකි ය. (සාහත්ථිකො) අණ දීමකින් වෙනත් අයකු ලවා කරවිය හැකි ය. (ආණත්තිකො) නිසර්ගික ප්‍රයෝගයෙන් කළ හැකි ය. (නිස්සග්ගියො) ස්ථාවර ප්‍රයෝගයකින් කළ හැකි ය. (ථාවරො) විද්‍යාමය ප්‍රයෝගයකින් කළ හැකි ය. (විජ්ජාමයො) සෘද්ධි ප්‍රාතිහාර්යමය ප්‍රයෝගයකින් කළ හැකි ය. (ඉද්ධිමයො) මේ ආකාරයෙන් විවිධ පුද්ගලයන් විසින් විවිධ ක්‍රම අනුගමනය කරමින් ප්‍රාණඝාතයෙහි නියැළෙයි.

ප්‍රාණඝාතය නිතර කර සසරේ හුරුපුරුදුකම් සහිත අය කෙටි ආයුෂයෙන් මියයන බව චුල්ල කම්ම විභංග සූත්‍රයෙහි ද සඳහන් ය. යම් පුද්ගලයකු අල්ප වූ ආයුෂ වළඳන්නේ නම්, එයට හේතුව ඔහු සසරේ ප්‍රාණඝාත අකුසල සිදුකිරීම නිසා ය.

භික්ෂු විනයෙහි ද, ප්‍රාණඝාතය සිදුකිරීම උපසපන් භික්ෂුවකට පාරාජිකා ඇවතක් ලෙස පාරාජිකා පාලියෙහි දක්වා තිබේ. එය භික්ෂුවක් ලෙස සසුනේ රැඳීමට නොහැකි තරම් වූ විනය කඩ කිරීමකි. එබඳු භික්ෂුව වහා ම සසුනෙන් ඉවත් විය යුතු ය.

ප්‍රාණඝාතය ඊළඟ භවයේ විපාක දෙන පාප කර්මයක් ද වන අවස්ථා තිබේ. එසේ වුවද තමා නොදැනීම තමා අතින් යමෙක් සත්ත්වයකු මරණයට පත්වුවහොත් එයට අකුසලය සිදු නොවෙයි. තමා විද්ද හීතල හතරෙන් තුනක් ආපසු දැක අනික සොයාගත නොහැකි වූ නිසා තමා අතින් ප්‍රාණඝාතයක් සිදු වී දැයි යන සැකයෙන් සිටි රජෙකු පිළිබඳ ජාතක පොතෙහි සඳහන් වෙයි.

ප්‍රාණඝාතය අකුසලය මරණයට පත්වන සත්ත්වයා අනුව ද, ඒ සඳහා යොදන උපක්‍රමය අනුව ද, මරණ චේතනාවෙන් මරන්නාගේ සිතෙහි ඇතිවන කෙලෙස් ප්‍රමාණය අනුව ද ආදී වශයෙන් අඩුවැඩි වෙයි. එය සිදුවන්නේ අකුසලය මහා සාවද්‍ය, අල්ප සාවද්‍ය වශයෙන් බෙදීම නිසා ය. එතුළින් අකුසලය අඩුවන බවක් ප්‍රකාශ වන්නේ නැත. සමාජයේ වඩාත් සීල සම්පන්න, ගුණ සම්පන්න පුද්ගලයකුගේ ජීවිතයට හානි කිරීම හා සාවද්‍ය වරදකි. ප්‍රමාණයෙන් විශාල සත්ත්වයකුගේ ජීවිතය විනාශ කිරීම මහා සාවද්‍ය වරදකි. සිතෙහි වෛරය දෙගුණ තෙගුණ වශයෙන් ඇති කරගෙන විවිධ උත්සාහයන් ගෙන මරණයට පත් කිරීම මහා සාවද්‍ය වරදකි.

එතුළින් පැහැදිලි වන්නේ ප්‍රාණඝාත අකුසලයෙහි පවතින භයානක ස්වභාවයයි. එම අකුසලය කෙතරම් කාලයක් සසරේ විපාක ලබාදෙන්නේ ද යන වග විවිධ සූත්‍ර ධර්මවල සඳහන් වේ.

පෙර අඟනක් එක් එළු දෙනක හිස සිඳා
සියොළඟ වැලඳී ගිනිදැල් නිරය දුක් විඳා
ඇය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලදා
මෙම රඟවේය කාටත් අකුසලේ ලෙදා

මේ ආකාරයට ලෝවැඩ සඟරාවෙහි එළු දෙනකගේ හිස සිඳ දමා මරණයට පත්කිරීම පිළිබඳව අල්ප සාවද්‍ය අකුසලයට අදාළ වන කාරණයක් සඳහන්ව ඇත.

එම අකුසලයෙහි විපාක වශයෙන් නිරයේ දුක් විඳීමට සිදුවෙයි. අනතුරුව ද සසරේ උපත ලැබූ පසු එළු දෙනගේ ශරීරයෙහි ලෝම ගණනට හිස කැපුමට ලක්වෙමින් මරණයට පත්විය. ප්‍රාණඝාත අකුසලයෙහි බරපතළ ස්වභාවය එබඳු ආකාරයෙන් බුදු සමයෙහි දක්වා ඇත.

වර්තමාන සමාජය තුළ ද වඩාත් සියුම් ලෙසින්, උපක්‍රමශීලීව ලිපි ලේඛන සකස් කොට, නීතියට හසුකර චරිත ඝාතනය කොට එම අකුසලය සිදුකරයි. ඔහුගේම වරද නිසා ම එම ස්වභාවයට පත් වූ බවට සමාජයට හෙළිවන ආකාරයෙන් එය සිදුකළ ද, අදාළ පුද්ගලයාට ම අකුසලයේ විපාක ලැබෙයි. නීතියෙන් දඬුවම් දෙනු ලබන්නේ කළ වරද සාක්ෂි සහිතව ඔප්පු වුවහොත් පමණ ය. නමුත් ධර්මයට අනුව එය එසේ සිදුනොවේ. අසු වුව ද, නොවුව ද අකුසලයේ විපාක නිසි තැන නිසි වෙලාවට ම ලැබේ. එය ස්වභාව ධර්ම නීතියයි. මෙහ ිදී නීතිය හා ධර්මය අතර යම් වෙනසක් පවතින බව පැහැදිලිවම පෙනෙයි.

සිඟාලෝවාද සූත්‍රයේ ප්‍රාණඝාතය බරපතල පාප කර්මයක් ලෙස දක්වා ඇත. පුද්ගලයාටත් එබඳු අය වෙසෙන සමාජයටත් එය කරන්නාගේ මෙලොව හා පරලොව අයහපත පිණිස පවතින බවයි. එම අකුසලය තමා සිදුකර ඇත් ද එය කොපමණ වාර සංඛ්‍යාවක් ද යනුවෙන් තමා පිළිබඳව සිතා විමසා බැලිය යුත්තේ තමා විසින් නොවේද?

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 29 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 07.55 ට ලබයි. 30 වනදා , සිකුරාදා අපරභාග 04.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 30 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
06 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]