UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නිවන ඇත්තේ අප තුළම ය

‘නිවන’ යනු කුමක්ද? එය රැඳී පවත්නේ කොතැනද? යන පැනයනට දිය හැකි පිළිතුර වනුයේ ‘නිවන්’ඇත්තේ තමා තුළම බව ය. නිවන යනු නිවීමයි. අනන්ත අපරිමිත කාලයක් තිස්සේ භවයෙන් භවයට යමින් දුක්, දොම්නස්, කම්කටොලු බරපොදියක් කරතබාගෙන මේ එන යන ගමන දී ඒ බර පොදිය බිම තබා සැහැල්ලු වී නතර කිරීම යි. නැවත කොතැනක හෝ කිසිදාක උපත නොලැබීමයි, නිවන,

නිවන සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ක්‍රියා පිළිවෙත ඇරැඹෙනුයේ හෘදසාක්‍ෂිය හා ලැජ්ජාව මුල්කරගෙන ය. ඔබේ හෘද සාක්‍ෂියට එකඟ වී ඔබේ මඟ පෙන්වන්නා වීමට එයට ඉඩදීම ඉතා වැදගත් ය.

එසේම සතිමත්, බව, සිහියෙන් යුක්තව කටයුතු කිරීම ඉතාම වැදගත් ය. එක සිල් පදයක් හෝ කැඩීම නුසුදුසු වැරැදි ක්‍රියාවකි. නිරයට යන මඟකි. නිරයට නොගොස් සිටීමට නම් කායික, මානසික, හා වාචික චර්යා පවිත්‍රව, තබා යුතු ය. සෑම පුද්ගලයෙකු විසින්ම සිත රැකගත යුතු ය.

මේ කරුණු නිසි පරිදි පවත්වා ගන්නා විට රැක ගන්නා විට, තමන් පිළිබඳ යථාර්ථය තමන්ටම වැටහෙනවා පමණක් නොව සියලු දෙනා සමග සුහදත්වයෙන් කටයුතු කරගෙන යෑමට ද හැකි වනු ඇත.

තවද දිවිමගේ පවිත්‍රතාව රැකෙනුයේ තමන් කරන යහපත් රැකියාව අනුවයි. ජීවත් වීම සඳහා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මිල මුදල් අවශ්‍යයි. එහෙත් මිල මුදල් සපයා ගැනීම නුසුදුසු මඟකින් නොකළ යුතුයි. බුදු දහමට අනුව සාධාරණ අවිහිංසාවාදී පිළිවෙතක්ම අනුගමනය කළ යුතු යි.

නිවැරැදි අවිහිංසක රැකියාව පවිත්‍ර ය. සංවරය, අවංකය, දාන, ශීල, සමාධි යන කුසලයට එය මුල් වෙයි.

නිවන කරා මඟ පෙන්වන ඊළඟ පියවර වනුයේ ඉන්ද්‍රිය සංවර කර ගැනීමයි. ඉන්ද්‍රිය සංවර කර ගැනීමට නම් සිතට කැමැති කැමැති සේ අයාලේ යෑමට ඉඩ නොදී යහපත් පිවිතුරු, කුසල කර්මයනට පමණක් සිත යොමුකරමින්, අප්‍රසන්න සිතිවලි වලින් එය ආරක්‍ෂා කර ගත යුතු යි.

ඉන්ද්‍රිය සංවර කර ගැනීම ද ඉතාම වැදගත් ය. ඉන්ද්‍රිය සංවර කරගැනීම යනුවෙන් අදහස් කරනුයේ මනසට එන නොයෙකුත් අදහස් සිතිවිලි පාලනය කර යහපත් සංවර අදහස් පමණක් ක්‍රියාවට නැංවීමයි. එසේම සෑම අවස්ථාවකදීම සවිමත් බවෙන් යුක්තව සිටීමයි. සවිමත් බව අසංවරත්වය පාලනය කිරීමේ මාර්ගයයි. අයාලේ යන ඉන්ද්‍රියයනට මුරකාවල් දැමීමයි. භාවනාව ගැන ද කතා කළ විට සමහරු කියනුයේ අපි වැරැදි නො කරන නිසා පන්සල් යෑම, භාවනා කිරීම ආදී කටයුතු අවශ්‍ය නැති බවයි. එහෙත් එය පිළිගත නොහැකි ය. තමන් පිළිබඳ දැනුම හේතු කොටගෙන තමන්ට තමන්ගේ අභ්‍යන්තරය දැක ගත හැකි වීමෙන් පංච නීවරණ හා අකුසල ක්‍රියාවලින් ඈත්වීමට හැකි වේ. නිවන් මග සලසන භාවනාව වැඩීමට ද පහසු වේ.

පංච නීවරණ යනු ඉඳුරන් පිනවීමේ ආශාව හෙවත් කාම්ච්ඡන්දය (කාමාශාව) ව්‍යාපාදය (ද්වේෂය, තරහව) ථීන මිද්ධය (අලස බව, නිදිමත ගතිය) උද්දච්ඡ කුක්කුච්ඡය (නොසන්සුන් බව) විචිකිච්ඡාව (සැකය)යන පහයි. නිවන ආවරණය කරන මේ පස හඳුනාගෙන ඉන් මිදීම යෝගාවචරයා විසින් කළ යුතුම ය. මින් ඈත්වීමට ඇති පිළියම නම් යහපත් මිතුරන් ඇසුරු කිරීම හා යහපත් අවවාද පිළිපැදීමයි. එසේ තම තමන්ගේ දුබලකම් හා වැරැදි දුරුකර ගනිමින් සත්‍ය කුමක්ද යන්න අවබෝධ කර ගත හැකි ය. මෙම කරුණු නිසි පරිදි වටහා ගැනීමෙන් සිත සවිමත්ව තබාගෙන භාවනාව සුදුසු පරිදි කරගෙන යෑමට හැකි වෙයි. එසේ තම එදිනෙදා ජීවිත කටයුතු ද සාර්ථකව කරගෙන යා හැකි ය.

තවද මම ය මාගේ යැයි ගන්නා මෙන් සක්කාය දෘෂ්ටිය දුරුවීමෙන් බුදුරජුන් වදාළ පරිදි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් කායානු පස්සනා වේදනානු පස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන සතර සති පට්ඨානය වඩා සතර මඟ සතර ඵලයනට පත්ව, අනාදිමත් කාලයක සිට තමන් පොදි බැඳගෙන කර තබා ගෙන ආ ජාති, ජරා, දුක්ඛ, දෝමනස්සා දී බර පොදිය බිම තබා සදාකාලික සැප ඇති නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකිවනු ඇත.

සියලු සත්වයෝ නිදුක් වෙත්වා!

නිවන් දකිත්වා!

ඉල් අව අටවක පෝය


ඉල් අව අටවක පෝය නොවැම්බර් 19 වන දා බදාදා අපරභාග 3.32 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 2.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 19 වන දා බදාදා ය.
 

මී ළඟ පෝය නොවැම්බර් 27 වනදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]