UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර ‘අට මුනි’ සෑය

අනුරාධපුරය බෞද්ධ ජනතාවගේ පරම පූජනීය පුණ්‍යභූමියයි. මේ කල්පයේ බුදු වී වදාළ සතර බුදුවරු ඒ ඒ අවධීන්හි මෙහි වැඩම කොට බුදු පා පහසින් පවිත්‍රත්වයට පත් කළහ. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 ක් ගත වූ අවස්ථාවේ මහා මහින්ද මහ රහතන් වහන්සේ ඇතුළු ධර්ම දූතයන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළේ ද අනුරාධපුර ආසන්න මිහින්තලා ප්‍රදේශයට ය. සිංහලයේ පළමු රාජධානිය වූයේ ද අනුරාධපුරයයි. ඓතිහාසික හා ආගමික වටිනාකම් අතින් අනුරාධපුරයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.

අනුරාධපුර ශුද්ධ නගරයේ පිහිටි ශ්‍රී සාරානන්ද මහ පිරිවෙන දිවයිනේ කීර්තිමත් ආගමික මධ්‍යස්ථානයක් මෙන්ම විද්‍යස්ථානයකි. දිනපතා පැමිණෙන සිය ගණන් බොදු බැතිමතුන්ගෙන්ද නේවාසිකව වැඩ වසමින් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණයෙහි නියුතු සියයකට අධික දේශීය විදේශීය ස්වාමීන් වහන්සේගෙන් ද එම ස්ථානය ආලෝකවත් වී තිබේ.

1970 දශකයේ මුල් භාගයේ දිනක සියඹලන්ගමුවේ ශ්‍රී ගුණරතන නාහිමියෝ පේරාදෙණිය ශ්‍රී සාරානන්ද මහ පිරිවෙනේ සිට ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ සමඟ වාර්ෂික අධ්‍යාපන චාරිකාව සඳහා අනුරාධපුරයට වැඩම කළහ. වන්දනාමාන කටයුතු වලින්, නාහිමි ඇතුළු පිරිස රාත්‍රී නවාතැන් ගැනීම පිණිස රත්නමාලි සෑ මලුවට වැඩම කළහ. එදින අනුරාධපුර පැවැති සියලු විවේක ස්ථාන මහ ජනතාවගෙන් පිරී පැවැතීම නිසා පිරිස රුවන්මැලි සෑ මලුවේ රාත්‍රී ගත කිරීමට තීරණය කළහ. රාත්‍රී මධ්‍යම යාමයේ හිටි හැටියේ මහා ධාරානිපාත වර්ෂාවක් කඩා හැලෙන්නට විය. සෑ මලුවේ සිටි නාහිමියන් ඇතුළු පිරිස වැස්සේ තෙමි තෙමී අසළ නවතා තිබූ බස් රථයට ගොඩ වී රැය පහන් කළහ. පසුදා උදෑසන රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ සමීපයට වැඩි නාහිමියෝ මෙබඳු අධිෂ්ඨානයක් කළහ. අනුරාධපුර ශුද්ධ භූමියේ ටියේ බෞද්ධ මධ්‍යස්ථානයක් අරම්භ කොට මිසක නැවත අනුරාධපුර වන්දනාවේ පැමිණෙන්නේ නැත. මේ අධිෂ්ඨානයෙන් වැඩි නාහිමියෝ සුදුසු ඉඩම් කැබැල්ලක් සොයමින් සිටින අවස්ථාවක එවක ද්‍රවිඩ මහත්මයෙකුට අයත් ව තිබූ දැනට අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිිරිවෙන පිහිටි භූමිය 1973 නාහිමියන්ට හිතවත් දායක පින්වතුන්ගේ ධන පරිත්‍යාගයෙන් මිලට ගත්හ. පසුව ශ්‍රී සාරානන්ද බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කළහ.

1977 ජූනි 18 වැනි දින මුල් ගල් තබා ශ්‍රී ගුණරතන විශ්‍රාම ශාලාව ආරම්භ කෙරිණි. එය කාමර 105 කින් යුත් අංග සම්පූර්ණ දෙමහල් විශ්‍රාම ශාලාවකි. බැතිමතුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙය ඉදිකරනු ලැබී ය. අනුරාධපුර වන්දනා කටයුතු සඳහා පැමිණෙන ස්වාමීන් වහන්සේ ගේ ප්‍රයෝජනය සඳහා ආගන්තුක විශ්‍රාම ශාලාවක් ද ප්‍රත්‍ය පහසුකම් ද ලබා දෙන ලෙස නියම කෙරිණි. එය අද දක්වාමද ක්‍රියාත්මකව පවතී.

ප්‍රාචීන අධ්‍යාපනය නැවත නඟා සිටුවීම පිළිබඳව සිහින දකිමින් සිටි නාහිමියෝ ඒ සඳහා පිරිවෙනක් 1979 ජනවාරි 04 දින ආරම්භ කෙරණි. මේ වන විට මෙම ස්ථානයෙන් ප්‍රාචීන අධ්‍යාපනය ලබා රාජකීය පණ්ඩිත උපාධිය හිමිකරගත් ස්වාමීන් වහන්සේ 100 කට වැඩි ය. විවිධ ප්‍රදේශවල පිරිවෙන් පාසල් ආරම්භ කොට ශ්‍රී සාරානන්ද නමින් ඒවා පවත්වාගෙන යති.

අසූ අට රියන් බුද්ධ ප්‍රතිමාවක්

සියඹලන්ගමුවේ ශ්‍රී ගුණරතන නාහිමියෝ අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් භූමියේ අසූ අට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සහිත ලෙන් විහාරයක් නිර්මාණය කිරීමට කල්පනා කළහ. විවිධ පින්වතුන්ගේ ආධාර උපකාර මත අසූ අට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත ලෙන් විහාරයේ කටයුතු නිමවා 2001 අගෝස්තු මස 26 වැනි දින මහජනතාවගේ වන්දනාමාන කටයුතු සඳහා නිරාවරණය කරන ලදී.

බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වැඩ අවසන් වීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක සියඹලන්ගමුවේ ශ්‍රී ගුණරතන නාහිමියෝ අපවත් වී වදාළහ. නාහිමියන් ආරම්භ කොට පවත්වාගෙන ආ සියලු කටයුතු වත්මන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ශ්‍රී සාරානන්ද වංශාලංකාර ශ්‍රී ගුණරතන ගිරාඹේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ වෙත පැවරිණි. නාහිමියන් ආරම්භ කළ සියලු කටයුතු වගකීමෙන් කැපවීමෙන් අප්‍රතිහත ධෛර්යයෙන් පවත්වාගෙන යාමට ගිරාඹේ ආනන්ද නාහිමියෝ සමත් වූහ. අසූ අට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේට මල් වියනක් සාදවා කොළඹ කිරුළපන පදිංචි සේනාරත්න මහතා පූජා කරන ලදී. එම මල්වියන 2004 මැයි 20 දින එවකට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යව සිටි වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සහ විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් විවෘත කරන ලදී. ඝණ්ඨාර 07 කින් යුත් විදුලි බලයෙන් ක්‍රියාත්මක තෙමහල් ඝණ්ඨාර කුළුණ සුවිශේෂී නිර්මාණයකි. අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහා පිරිවෙන් විහාරස්ථානයේ අභිනව ඉදිවුණු නිර්මාණය අටමුණි චෛත්‍ය රාජයාණන් වහන්සේලායි.

බෞද්ධ ස්ථූපයේ ආරම්භය පිළිබඳව සලකා බැලීමේ දී එය ‘මහාපුරුෂ’ ඇදහීම හා සම්බන්ධ වූවක් බව පැහැදිලි වේ. දීඝ නිකායගත මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන්වන ආකාරයට ‘ථූපාරහ’ පුද්ගලයන් සිව් දෙනෙක් පිළිබඳව බුදුරදුන් දේශනා කලහ. ථූපාරහ පුද්ගලයන් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, අරහත්ත ශ්‍රාවක හා චක්කවත්තිරාජ යන සිව් දෙනා ය.

මේ සිව් දෙනාම මහා පුරුෂයෝ ය. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් හා ආධ්‍යාත්මික වශයෙන් විමුක්තිය ක්‍ෂාත් ක්‍ෂාත් කරගත් බැවින් ද සම්මා සම්බුද්ධ පච්චේක බුද්ධ අරහත්ත ශ්‍රාවක යන තිදෙනාත් මහාපුරුෂ ලක්‍ෂණ වලින් හෙබි චක්කවත්ති රජුන් ස්තූප කරවා පිදීමට යෝග්‍ය බව බුදුරදුන් දේශනා කළහ.

බෞද්ධ ස්තූප ගොඩනැගීමට බුදුරදුන් ධරමාන කාලයේදීම සිදු වූ බවට සලකුණු දක්නට ලැබේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේදීම පිරිනිවන් පෑ සාරිපුත්ත මොග්ගල්ලාන දෙනමගේ ධාතූන් වහන්සේ තැන්පත් කොට ස්තූප තනවන ලදී. මහාවග්ග පාලියේ සඳහන් වන ආකාරයට බුදුරදුන් පිරිනිවන් පෑ පසු උන්වහන්සේගේ ශරීරය ආදාහනය කොට සිව් මංසන්ධියක ස්තූපයක් තනා ප්‍රදක්‍ෂිණා කොට එයට පූජෝපහාර දැක්වීමෙන් ගරු කළ යුතු බව බුදුරජාණන් වහන්සේ විසින් ආනන්ද හිමියන් අසන ලද පැනයකට පිළිතුරු වශයෙන් දේශනා කර තිබේ. මෙය බෞද්ධ ස්තූප වන්දනාවේ ආරම්භය ලෙසද සැළකිය හැකි ය.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු පළමු ආහාරය වූ විළඳ හා මී පිඩු පිළිගැන්වූ තපස්සු භල්ලුක සහෝදරයන් දෙදෙනා උන්වහන්සේගෙන් ලබාගත් කේශධාතු ශ්‍රී ලංකාවේ තිරියාය නම් වූ ස්ථානයේ චෛත්‍ය කරවා තැන්පත් කළ බව සඳහන් වේ. ගිරිහඬු සෑය නමින් එය ප්‍රසිද්ධව ඇත.

බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනය සිදු වූ පළමු අවස්ථාවේදීම සමන්තකූට පර්වතයේ දී සුමන සමන් දිව්‍ය රාජයා ලබාගත් කේශධාතු නිධන් කරවා මහියංගන ස්ථූපය කළ බව සඳහන් වේ. මේ අනුව බෞද්ධ ස්ථූපය බුදුරජාණන් වහන්සේගේ ධර්මකාය ජීවමානව වැඩ සිටින්නා වූද බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂත්වය සංකේතවත් කරන්නා වූද ගොඩනැගිලි විශේෂයක් බව පැහැදිලි වේ.

චෛත්‍ය වර්ග

අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහ පිරිවෙන් විහාරස්ථාන භූමියේ අභිනවයෙන් ඉදි වූ චෛත්‍ය වර්ග අට මෙසේ ය.

1. ධාන්‍යාකාර

2. බුබ්බුලාකාර

3. ඝණ්ඨාකාර

4. ඝඨාකාර

5. ආමලකාකාර

6. පද්මාකාර

7. අෂ්ටාකාර

8. චතුරශ්‍රාකාර

පොත පතින් කියවා විවිධ තැන්වලදී නැරඹීමට දැන් මෙම චෛත්‍ය වර්ග එකම ස්ථානයක නිර්මාණය කිරීම අධ්‍යාපනික වශයෙන් මෙන්ම නව නිර්මාණයක් වශයෙන් ද වැදගත් වේ යැයි උපකල්පනය කොට ගිරාඹේ ආනන්ද නාහිමියෝ මෙම අට වැදෑරුම් චෛත්‍ය මෙම ස්ථානයෙහි නිර්මාණය කිරීමට තීරණය කළහ.

අටමුණි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඩ හිඳිනා සුවිශාල ප්‍රාකාරය යට කරවන ලද මෛත්‍රී බෝසතාණන් වහන්සේ දිව්‍ය ලෝකයෙන් වැඩ හිඳින ස්වරූපය විදහා දැක්වෙන දිව්‍ය ලෝකය තවත් අපූරු නිර්මාණ කාර්යයකි. වටමාලේ මෛත්‍රී බුද්ධ චරිතත් සුවිශේෂී අවස්ථා සිතුවමට නඟා තිබේ. මේ සියලු නිර්මාණයන් හරහා ජාතියට දායාද කිරීමට බලාපොරොත්තු වන මූලික අරමුණ නම් අතීත සිංහලයන් අපට දායාද කළ කලා නිර්මාණයන් දැක ආඩම්බර වන අප අනාගත පරපුර සඳහා ද යමක් එකතු කළ යුතු යන පණිවුඩයයි.

(අනුරාධපුර ශ්‍රී සාරානන්ද පරිවේනාධිපති උඩබ්බල ඤාණාලෝක හිමියන් සමග කළ සාකච්ඡාවක් ඇසුරිනි.)

ඉල් අව අටවක පෝය


ඉල් අව අටවක පෝය නොවැම්බර් 19 වන දා බදාදා අපරභාග 3.32 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 2.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 19 වන දා බදාදා ය.
 

මී ළඟ පෝය නොවැම්බර් 27 වනදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]