UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සුමග නැඹුරුව කඩිනම් කළ වැසි සමය

හේමන්ත, ගිම්හාන හා වස්සාන යනුවෙන් සෘතු තුනකි. මින් නොවැම්බර් මස මුල පටන් පෙබරවාරි මස අග දක්වා ඇති සාර මාසය හේමන්ත සෘතුව හැටියටත් මාර්තු මස මුල පටන් ජුනි මස අග දක්වා ඇති සාර මාසය ගිම්හාන සෘතුව හැටියටත් පිළිගැනෙන අතර ජුලි මස මුල පටන් ඔක්තෝම්බර් මස අග දක්වා ඇති සාර මාසය වස්සාන සෘතුව වශයෙනුත් සැලකේ.

වස්සාන සෘතුව පුරා එක දිගට වැසි හට ගනියි. එය එක් අතකින් සත්ත්ව ප්‍රජාවට යහපත් කාල පරිච්ඡේදයක් වනවාක් මෙන් ම අනෙක් අතින් කරදරකාරී වකවානුවක් ද වේ. විවිධ පක්ෂීහු මෙන් ම සිවුපාවෝද මේ කාලය තුළ තම ලැගුම් හල් තුළට වී කල් යවති. මිනිස්සු තම ගමන් බිමන් පවා අඩු කරති. නමුත් භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පරිදි ධාරානිපාත වැසි නොතකා දහම් චාරිකාවෙහි හැසිරෙති.

ගෙපිළිවෙලින් පිඬුසිඟා වඩිති. මේ හේතුවෙන් වැස්සට මැනවින් වැඩෙන නිල් තණ භික්ෂූන්ට පෑහීම සිදු වෙයි. කෘමි සතුන් පෑගීම සිදුවෙයි. ඇඟ මඩ තවරා ගනිති. සිවුරු රෙදි මඩ තවරා ගනිති. මේ සිද්ධි දකින්න ලැබෙන බොහෝ මිනිස්සු භික්ෂූන්ට චෝදනා කරන්නට වූහ. මහා වැසි නොතකා මඩ තවරා ගත් පේ‍්‍රත පිරිසකැයි කීහ. තවත් සමහරු මේ භික්ෂූන් සතුන් මරන පව්කාරයෝ ය යි කීහ.

මෙම මහජන උද්ඝෝෂණ පිළිබඳ බුදුරජාණන් වහන්සේට ද අසන්නට ලැබිණි. උන්වහන්සේ බොහෝ විට ලෝකාපවාදය දුරුකිරීම පිණිස ශික්ෂා පද පැනවූහ. ඒ අනුව භික්ෂූන් රැස් කරවා කරුණු අවබෝධ කොට දී ලෝකාපවාදය දුරලනු සඳහාත් භික්ෂූන් වහන්සේගේ් පහසු විහරණය පිණිසත් වස් විසීමට අනුදැන් වදාළහ. එසේ වස් විසු විට ශ්‍රද්ධාවන්ත දායක දායිකාවන්ට පින් සිද්ධ කර ගැනීමට හැකිවන බවත් දෙසූහ.

‘අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං’ මහණෙනි, වස්සානයෙහි වස් එළඹීමට අනු දනිමි. යන ශික්ෂා පදය පැනවූහ. වස් එළඹීම් දෙකකි. ඒ පෙර වස් විසීම හා පසු වස් විසීම යනුවෙනි. පෙර වස් එළඹීම කළයුත්තේ ඇසළ මස පුර පසළොස්වක් පොහෝ දින ට පසු දිනයි. එනම් අව පෑලවිය දිනයි.

යම්කිසි කදරයක් හේතුවෙන් පෙර වස් එළඹීමට නොහැකි වූ භික්ෂූ නමක් පසු වස් සමාදන්විය යුතුය. එය කළ යුත්තේ නිකිණි මස පුර පසළොස්වක් පොහෝ දිනට පසු දිනයි. එනම් අව පෑලවිය දිනයි.

යම් උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් නියමිත දින වස් නොඑළඹියහොත් දුක්කටාපත්ති ඇවත් සිදුවේ. එහෙයින් උපසම්පදා භික්ෂූන්ට වස් විසීමට ආරාධනා කළත්, නොකළත්, අනිවාර්යයෙන් ම වස් එළඹීම සිදුකළ යුතු වේ.

වස් සමය ගිහි පැවිදි සබඳතා තර කෙරෙන කාල වකවානුවක් වශයෙන් හැඳින්විය හැකිය.

විහාරස්ථාන සතර පේරුවේ දායක කාරකාදීහු පොහොය දින විහාරස්ථානයට රැස් වී දැහැත් වට්ටියක් සාදා මේ තුන් මාසය වස් වාසය කරන ලෙස ආරාධනා කරති. එම ආරාධනාව පිළිගන්නා උපසපන් භික්ෂූන් වහන්සේ නියමිත දිනය සංඝ විනය කර්ම කොට වස් එළඹෙති. අනතුරුව ස්වකීය විහාරස්ථානයේ වැඩ වෙසෙමින් බණ භාවනාදිය කෙරෙහි වැඩි අවධානය යොමු කරති. ඒ තුන් මාසයත්, චීවර මාසයත් යන සාර මාසය තුළ දායක දායිකාවන්ට නිතර නිතර ධර්ම දේශනා කරති. දායක දායිකාවෝ ද අනෙක් කටයුතුවලට වඩා උනන්දුවකින් හා කැපවීමකින් භික්ෂූන් වහන්සේට සලකති. සුවදුක් සොයා බලති. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය යන සිව්පසයෙන් උපස්ථාන කරති.

එහෙයින් මේ වස් සමය ගිහි පැවිදි දෙපාර්ශ්වයම පින් දහමිහි නියැළෙන පින්බර කාල පරිච්ඡේදයක් හැටියට සැලකිය හැකිය. බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයෙහි භික්ෂූන්ට වස් එළඹීමට නියමිත තැනක් නොවීය.

ඒ හේතුවෙන් භික්ෂූන් වහන්සේ විශාල ගස් බෙනවල, ගස් දෙබල්වල, විශාල ගස් පත්‍ර යට, වස් සමාදන් වූහ. එබඳු ස්ථාන වස් විසීමට සුදුසු නොවන හෙයින් මහජනයා භික්ෂූන් වහන්සේට දෝෂාරෝපණය කළහ.

ඒ ඇසූ බුදුරජාණන් වහන්සේ එබඳු ස්ථානවල වස් විසීම තහනම් කොට වදාළහ. වීහාරාරාම, ගුහා, කුටි යනාදී යෝග්‍ය ස්ථාන වස් එළඹීම සඳහා තෝරා ගන්නා ලෙස අනුදැන වදාළහ. එකී ස්ථානවල වස් එළඹුණ නමුත් සිව්පා සතුන්ගෙන්, සර්පයන්ගෙන්, සොරුන්ගෙන්, ගින්නෙන්, හා ජලයෙන් යම් හානියක් සිදුවන්නේ නම් එකී ස්ථාන අතහැර යාමට අවසර තිබේ. එමගින් වස් බිඳීමක් හෝ කඩ වීමක් සිදු නොවේ.

සත්තාහ කරණයෙන් යෑම ද වස් විසූ භික්ෂූන් වහන්සේට අවසර තිබේ. එමගින් ඇවතක් සිදු නොවේ. සත්තාහකරණය යනු වස් එළඹී භික්ෂූ නමක් හදිසි අවස්ථාවකදී හෝ අත්‍යවශ්‍ය කටයුත්තක දී හෝ හත්වෙනි රාත්‍රිය ඉක්මීමට පෙර එන්නෙමියි පිටත්ව යෑමයි. ඒ අනුව හත්වෙනි රාත්‍රියට පෙර නැවත ආරාමයට පැමිණීම කළ යුතුය. එහෙයින් වස් නොබිදේ. සත්තාහරණයෙන් යා හැකි අවස්ථා රාශියක් ම මහා වග්ග පාලියේ ‘වස්සුපනායික්ඛන්ධකයේ’ දැක්වේ. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිය දී එහි පැමිණි භික්ෂූන් වහන්සේ නමක් සංකේත නුවර වස් විසීමට අවසර ගෙන එහි වැඩමවා වස් අවසානයේ යළි පැමිණෙමින් සිටිය දී ධාරානිපාත වර්ෂාවකට හසු වූහ. සිවුරු තෙමී ඇඟ මඩ ගෑවී සීතලෙන් වැඩුණ ද ගමන නොනවත්වා ජේතවනාරාමයට පැමිණි උන්වහන්සේ තමන් සතුව අතිරේක සිවුරක් නොතිබූ බැවින් මෙම මහත් වූ විපතට පත්වූ බැව් බුදුරජාණන් වහන්සේ හමුවේ පවසා සිටියහ. ඒ අනුව ‘අනුජානාමි භික්ඛවේ වස්සං උත්ථනං භික්ඛුනං කඨිනං අත්ථරිතුං’ මහණෙන් වස් වැස නිම කළ භික්ෂුන්ගේ පහසුව සඳහා කඨිනයක් අනුදනිමියි කඨින චිවර පූජාව අනුදැන වදාළහ.

කඨින යනු ස්ථිර යන්නයි. අකම්ප්‍ය යන්නටයි. මහ පොළොව මෙන් මහාමේරූ පර්වතය මෙන් එක ඝන වජ්‍ර පර්වතයක් මෙන් කඨිනය ස්ථිරසාර වේ. සමහරක් බලවත් අකුසල කර්ම හේතුවෙන් කුසල කර්ම විනාශ වන අවස්ථා තිබේ.

නමුත් කඨින පූජාවෙන් ලැබෙන ආනිශංස වෙන කිසි අකුසල කර්මයකින් වළක්වන්නට නොහැකි වේ. කඨිනය යන්න භාවිතා කෙරෙන්නේ මේ අරුත අනුවය.

ලොව ඇති ඉතා උසස් කුසල කර්ම අටක් පිළිබඳව බුදුදහමේ ඉගැන්වේ. කඨින පූජාව, අටපිරිකර පූජාව , ආවාස පූජාව, බුදු පාමොක් සංඝගත දක්ෂිණ පූජාව, බණ පොත් ලියවා හෝ මිලට ගෙන පූජා කිරීම, කෙත්වතු පූජාව, බුද්ධ ප්‍රතිමා කරවීම හා වැසිකිළි කැසිකිළි කරවීම යනුවෙන් වන මෙම අටමහා කුසල් සිදුකිරීමෙන් විශේෂ ආනිසංස ලැබෙන බැව කියවේ. ඒ අතරින් කඨින පූජාවට හිමිවන්නේ ශ්‍රේෂ්ඨ ස්ථානයකි.

ඕනෑම පින්කමක් තමන්ට කැමැති වේලාවක සිදුකළ හැකි නමුත් කඨින පූජා පින්කම් කළ හැකි වන්නේ වසරකට එක් ස්ථානයක එක් වරක පමණි. සෑම ස්ථානයක ම කඨින පින්කම් කළ නොහැකි ය.

පෙර වස් විසූ වස් ආරක්ෂා කරගෙන අනතුරුව මහ පවාරණයෙන් වස් පවාරණය කළ භික්ෂූන් වැඩ වෙසෙන ස්ථානයක පමණි මෙම පින්කම සිදුකළ හැකි වන්නේ. ඒ සඳහා ද පස් නමකට නොඅඩු භික්ෂූන් වහන්සේ සිටිය යුතුය.

විහාරස්ථානයක නම් සතර පේරුවේ දායක දායිකාවෝ එකතු වී කඨින චීවරය සඳහා සුදුසු වස්ත්‍රයක් සකස් කර ගනිති.

එය චීවර මාසය තුළ එක් දිනයක දී අලුයම මහත් වූ පූජා සත්කාර ගරු සම්මාන පෙරහරකින් වැඩමා ගෙනැවිත් ‘ඉමං කඨින දුස්සං සංඝස්ස දේම’ යන වාක්‍යයෙන් තෙවරක් කියා මහා සංඝරත්නයට පූජා කරති.

කඨින වස්ත්‍රය නොඉරුණු නොකිළිටි, තුන් සිවුරෙන් එක් සිවුරකට ප්‍රමාණ වන පරිදි තිබිය යුතුය.

එහි කඨින වස්ත්‍රය භාර ගන්නා සංඝරත්නය එදින ම සේදීම, කඩ බෙදීම, කඩ කැපීම, එක්කොට මැසීම, පඩු පෙවීම හා කප් බින්දු තැබීම යනාදී කරුණු සතක් ම එකම දවසේ සිදු කැරේ.

එකී පූජා වස්ත්‍රය සිවුරක් කරති. එම චීවරය එම ස්ථානයේ වස් විසූ භික්ෂූන් අතුරෙන් සුදුසුකම් ලත් භික්ෂූන් වහන්සේ නමකට සංඝ සීමාවක් තුළ දී සම්මතයෙන් කර්ම වාක්‍යයක් කියා පවරති.

කඨින චීවර පූජාව සිදු කරන පාර්ශ්වයට පමණක් නොව එය ලබන භික්ෂූන් වහන්සේටත් විශේෂ ආනිසංස ලැබේ. මෙම චීවරය නිසා භික්ෂූන් වහන්සේට සිදුවන වරද පහක් දුරුවන අතර අසමාදානචාරය, ගණ භෝජනය, යාවත්ත චීවරය හා තත්ථචීවරුප්පාදාය ආදී ආනිසංස පහක් ලැබෙන බව මහා වග්ග පාලියෙහි කඨිනක්ඛන්ධකය පැහැදිලි කරයි.

ඊට අමතරව අපදාන පාලියේ නාගිතාපදානයේ දැක්වෙන අන්දමට කුසල් සිත් පෙරටුව කඨින චීවරය මැසීමෙන් ඒ මැසූ ඉඳිකටු පාරක් පාරක් පාසා උදාරතර චක්‍රවර්ති රාජ්‍ය ලැබුණු අතර ආත්මයක් ආත්මයක් පාසා ප්‍රාදේශීය රාජ්‍ය පදවිවල හිමිකම් කීමේ හැකියාව ලැබී තිබේ.

ලක්දිව රජ පැමිණි රාජ රාජමහාමාත්‍යාදි පිරිස ඉතා උත්කර්ෂවත් අයුරින් කඨින පූජා පින්කම් සංවිධානය කළ බව ඉතිහාස ගත කරුණුවලින් අනාවරණය වේ.

ලජ්ජිතිස්ස, අග්‍රබෝධි, සේන, පණ්ඩිත පරාක්‍රමබාහු ආදී නරපතින් ඒ අතුරින් මුල් පෙළෙහි සැලකිය හැකිය.

සමාජ බලවේග හමුවේ වර්තමානයේ දුරස් වී ඇති ගමේත්, පන්සලේත් සම්බන්ධතාව යළි ගොඩනැංවීම සඳහා කඨින පින්කම තුළින් කළ හැකි මෙහෙවර අති විශාල ය. ඒ සඳහා උත්සුකවීමට මේ එළඹෙන වස් සමය තරම් වටිනා උදාරතර කාල පරිච්ඡේදයක් තිබිය නොහැකි ය.

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 25 වන දා සිකුරාදා අපර භාග 1.05ට ලබයි.
26 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.11 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජූලි 25 වන දා සිකුරාදා ය.
 

මීළඟ පෝය ජූලි 31 වන දා බ්‍රහස්පතින්දා ය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]