UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දිවෙලේගොඩ පුරාණ විහාරයේ තෙරස සම්බුදු මැඳුර

බෞද්ධ සංස්කෘතියට අනුව බුද්ධ ප්‍රතිමාවට හා චෛත්‍යයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. බුද්ධ කාලයේ පටන් බොදු ජනාතාවගේ මහත් ගෞරවනීයත්වයට පත් එම අගනා වස්තූන් පසුකාලීනව බුදු දහම ව්‍යාප්ත කිරීම උදෙසා සිදු කළ සේවාව ඉතා විශාල ය. ත්‍රිවිධ චෛත්‍යයෙහි ශාරීරික හා උද්දේසික ගණයට අයත් බුද්ධ ප්‍රතිමාව හා චෛත්‍ය ඉතා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන බව මේ අනුව මනාව තහවුරු වේ. එවැනි ඉතිහාසයක් ඇති ප්‍රධාන බුද්ධ ප්‍රතිමා හා චෛත්‍ය මුද්‍රා මෙන්ම බුද්ධගයා අනුරුව පිළිබඳ ලියැවෙන මෙම සටහනින් පෙන්වා දෙන්නේ එවැනි අලංකාර නිර්මාණ ඉමදූව දිවෙල්ලේගොඩ පුරාණ මහා විහාරයේ දී මෙම මස 20 වැනි දින අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නා හිමියන් ඇතුළු ගිහි පැවිදි උතුමන් අතින් විවෘත වූ බවයි.


අභය මුද්‍රාව


ධ්‍යාන මුද්‍රාව


ධර්ම චක්‍ර මුද්‍රාව


වරද මුද්‍රාව


ශුචි හස්ත මුද්‍රාව


අභය මුද්‍රාව (දඹදිව)


භූමි ස්පර්ශ මුද්‍රාව

විතර්ක මුද්‍රාව


කටක මුද්‍රාව

කර්තරී මුද්‍රාව

පටිග්ගහණ මුද්‍රාව


භූත දමන මුද්‍රාව

වීමංසා මුද්‍රාව

ඉමදූව දිවෙලේගොඩ පුරාණ මහා විහාරය දකුණු සිරිලක ඇති ඉතා මනහර පුණ්‍ය භූමියකි. බොදු හදවත් වලට බුද්ධාලම්භන පී‍්‍රතිය ගෙන දෙන රමණීය විහාරස්ථානයක් ලෙස සියලු දෙනාගේම ජනාදරයට පත් ව ඇති දිවෙලේගොඩ පන්සල වර්තමානයෙහි සුවිශේෂී ස්ථානයක් ගන්නා අගනා ඓතිහාසික පින් බිමකි. සොබා දහමෙහි සුන්දරත්වය උරුමකොට ගෙන බිහිවී එම පින් බිම පිළිබඳ කියැවෙන අතීත තොරතුරු ද බොදු හදවත් තුළට නව ජීවයක් ලබා දෙයි. මීට ශත වර්ෂයකට පමණ පෙර කෝදාගොඩ සිද්ධාර්ථ හෙවත් මීගහවත්තේ නාහිමියන් දවස වන සතුන්ගේ රජ දහනක්ව පැවැති දිවෙලේගොඩ කඳු මස්තකයෙහි මහානුභාව සම්පන්න බෝධීන් වහන්සේ නමක් අසළ පොල් අතු මඩුවකින් අරඹන ලද එම ඓතිහාසික පින් බිම මගින් සියලු ගම්වාසීන්ට සිදු වූ සේවාව අතිවිශාලය. මීගහවත්ත නාහිමියන්ගෙන් පසු හබරාදූව ශ්‍රී සරණපාල, කෝදාගොඩ පඤ්ඤානන්ද, කෝදාගොඩ ශ්‍රී සංඝානන්ද යන ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේ වැඩ වසමින් විහාරස්ථානයෙහි දියුණුව හා බෞද්ධ ප්‍රබෝධය උදෙසා ඉටු කරන ලද සේවාව අති විශාල ය.එමෙන්ම එවකට කණුකැටිය වතුයාය අධිපති ඩී.ඩී. වික්‍රමසූරිය මහතා විසින් විහාරස්ථානයෙහි දියුණුව උදෙසා ඉටු කරන ලද මෙහෙය අගය කළ යුතු ය.

තල්පේපත්තුවේ ප්‍රධාන සංඝනායක කෝදාගොඩ ශ්‍රී සංඝා නන්ද නාහිමියන් අපවත් වීමෙන් පසු උන්වහන්සේගේ ශිෂ්‍ය වරකාපිටියේ සද්ධානන්ද මාහිමියන් දිවෙලේගොඩ පුරාණ විහාරස්ථානයෙහි අධිපති ධූරයට පත් වීමෙන් පසු ඉතා කෙටි කලක් තුළ සීඝ්‍ර දියුණුවක් කරා පියනගමින් සියලු කුදු මහත් ආගමික හා ජාතික කටයුතු සඳහා එම පින්බිමෙන් ඉටු කැරෙන සේවාව සුවිශාල ය. වෙනත් ස්ථානයක දැකිය නොහැකි අන්දමින් නිර්මාණය කරන ලද අඩි 08 ක් උස අඩි 48 ක් වට කැටයම් සහිත කොස් දැවයෙන් නිර්මාණය කරන ලද පිරිත් මණ්ඩපය ආරක්‍ෂා වන පරිදි අලංකාර ධර්ම මන්දරයක්, තෙමහල් දාන ශාලාව සහිත සංඝාවාසයක් හා පහසුවෙන් දක්නට නොලැබෙන අන්දමේ අටවිසි බෝධීන් වහන්සේ ආදී බොහෝ විහාරාංග මෙන්ම අභිනවයෙන් ඉදි කරන ලද බුදු පිළිම හා චෛත්‍ය මුද්‍රා මෙන්ම සම්බුදු පදවිය සිහිගන්වමින් නිර්මාණය කරන ලද බුද්ධගයා අනුරුව ද අපූර්ව නිර්මාණ ලෙස දැක්විය හැකි ය.

ආගමික මෙන්ම අධ්‍යාපනික වශයෙන් ද අතිශයින් වැදගත් නිර්මාණයන් වන මෙහි ප්‍රධාන බුද්ධ ප්‍රතිමා මුද්‍රා දහතුනක් එනම්,

1. අභය මුද්‍රාව, 2. ධ්‍යාන මුද්‍රාව, 3. වරද මුද්‍රාව, 4. ධර්ම චක්‍ර මුද්‍රාව, 5. ශුචි හස්ත මුද්‍රාව, 6. අභය මුද්‍රාව (දඹදිව) 7.භූමි ස්පර්ශ මුද්‍රාව, 8. විතර්ක මුද්‍රාව, 9. කටක මුද්‍රාව, 10. කර්තරී මුද්‍රාව, 11. පටිග්ගහණ මුද්‍රාව, 12. භූත දමන මුද්‍රාව, 13. වීමංසා මුද්‍රාව

ප්‍රධාන චෛත්‍ය මුද්‍රා සයකි.

1. ධාන්‍යාකාර, 2. අම්ලාකාර, 3. ඝණ්ඨාකාර, 4. පද්මාකාර, 5. ඝඨාකාර, 6. බුබ්බුලාකාර යනුයි.

මෙවැනි අයුරින් ආගමික ප්‍රබෝධය වෙනුවෙන් උත්සාහයෙන් හා අධිෂ්ඨානයෙන් ක්‍රියා කරන විහාරාධිපති හිමියන් බොහෝ අසරණ ජනතාවගේ යහපත උදෙසා ඉටු කරන සේවාවද ඉතා අගය කළ යුතු ය. එපමණක් ද නොව ප්‍රදේශයේ සියලු ආගමික හා ජාතික මෙහෙයක් සිදු කිරීමට හැකිවන පරිදි භික්‍ෂූන් වහන්සේ 25 නමක් පමණවැඩ වසන මෙම ඓතිහාසික පින් බිම මුළු මහත් ප්‍රදේශයටම ශාන්තියක් බව අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය නැත.

වත්මන් විහාරාධිපති වරකාපිටියේ සද්ධානන්ද මාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ භික්‍ෂූන් වහන්සේලාගේ හා දායක පිරිසගේ සංවිධානයෙන් මෙම ජූලි මස 20 වැනි දින සිට 27 දින දක්වා ශ්‍රී සංඝානන්ද නාහිමි ගුණ සමරුව සහිත පින්කම් මාලාවක් සංවිධානය කොට ඇත. ඒ අනුව 20 වැනි දින අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක භාෂාන්තර විශාරද රාජකීය පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහ නාහිමි ගාල්ල මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාමාධිපති දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත පල්ලත්තර සුමනජෝති නාහිමි කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වැලමිටියාවේ කුසල ධම්ම නාහිමි යන නාහිමිවරු ඇතුළු මහා සංඝරත්නයේ හා සංස්කෘතික, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා ජනමාධ්‍ය අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩබ්ලිව්. ප්‍රතාපසිංහ මහතා සහ ගිහි පින්වතුන්ගේ සහභාගීත්වයෙන් ;මම උතුම් පින්කම පැවැත්වේ.

දිනපතා රාත්‍රී සුප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනා හා අටවිසි බුද්ධ පූජා පින්කම් මාලාවක් ද පැවැත්වේ. මෙම 25 වන දා දහම් දෙසුම අතුරලියේ රතන හිමියන් විසින් පවත්වනු ලැබේ.

26 වන දින රාත්‍රී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් 27 වන දා දරුවකු සසුන් ගත කිරීම හා දවල් ශතාධික මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක්ද පවත්වා රණවිරුවන් ප්‍රධාන සියලු රට වැසියන්ට ආශීර්වාද කිරීමට නියමිතව ඇත.

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 25 වන දා සිකුරාදා අපර භාග 1.05ට ලබයි.
26 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.11 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජූලි 25 වන දා සිකුරාදා ය.
 

මීළඟ පෝය ජූලි 31 වන දා බ්‍රහස්පතින්දා ය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]