UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ලක්දිව මහා විහාරය

මල්වතු මහා විහාර වංශය

මිහිඳු මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් දේවානම්පියතිස්ස මහ රජු දවස (ක්‍රි.පූ. 247 – 207 )මහා විහාරය ආරම්භ විය. ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයේ ප්‍රථම ථෙරවාදී ස්ථවිර පරපුර වූ ශ්‍යාමොපාලි වංශික මහානිකාය ක්‍රි.පූ. 89 – 77 යුගයේ රජකළ වට්ටගාමිණී රජුගේ කාලයේ මහා විහාරය, අභයගිරි (අස්ගිරි) ජේතවන නිකායත්‍රයට බෙදිණි. ධර්ම විනය කරුණු මත බෙදී ගිය මෙම නිකායනය පස්වන සියවසේ සෑම විහාරස්ථානයක්ම මෙම නිකායෙන් එකකට අයත් විය.

මහා විහාරය භික්‍ෂූන් වහන්සේලාට විරුද්ධව වෛතුල්‍යවාදී මහායානික අදහසක් හා ප්‍රතිපත්ති දැරූ අභයගිරි ජේතවන භික්‍ෂුහු ක්‍රමයෙන් මහා විහාරයට විරුද්ධ ක්‍රියා කළේ ය. මේ අතර නිකායත්‍රයටම අයත් නොවී සමහර භික්‍ෂූන් වහන්සේ පාංශුකූලික චීවර දරමින් ආරණ්‍යවාසී ජීවිත ගත කළේ ය.

ලක්දිව දොළොස්වැනි සියවස දක්වා ප්‍රබලව මුළු රට පුරාම මහා විහාරය පැතිර තිබුණත් මහා විහාරයන්හි පහසු ජීවිත ගත කළ භික්‍ෂූන්ගේ ජීවන ක්‍රමය ගැන නොපැහැදුණු දායකයින්ගේ සංතුෂ්ඨිය පිණිසත්, අවට ලෝකය සමඟ නොඇලී, නොගැටී විසීමේ අරමුණින් දිඹුලාගල මහා කාශ්‍යප මාහිමිපාණන් වහන්සේ ප්‍රධානත්වය ගෙන ආරණ්‍යවාසී භික්‍ෂු පරපුර ආරම්භ කළේ ය.

දඹදෙණි කතිකාවතට අනුව එම යුගය වන විට මහානායක අනුනායක මහ පිරිවෙන්පති ධූර සඳහා රජයේ අනුමැතිය පරිදි සුදුස්සෙකු තෝරා ගැනිණ. ශ්‍යමපාලි වංශික මහානිකායේ තනතුරු පදවි හා පැවිදි උපසන් කිරීමේ දී කුලවත්, උසස් අය පමණක් ඒ සඳහා පත්කළ යුතු බවත් ඒ නිසා සඟ සසුනේ ගරුත්වය හා ගාම්භීරත්වය ආරක්‍ෂා කිරීමට කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් මල්වතු අස්ගිරි උභය විහාරයට පනවා ඇති රාජාඥාව මන්දාරම් පුවතෙහි මෙසේ දැක්වේ.

නොයෙක් ගොන් ඇතිය න

විදිය පවතින කෙලෙසි න

සිටි නම් පැවදි ගෙ න

උපසපන් උන් නොකළ හළ මැ න

මෙම උභයම මෙහෙ රා

ඇති තෙක් සසුන ඉඳු රා

මෙ විදි අති නොහැ රා

වඩිනු යෙහෙමුණි සසුන් පව රා

වර්ෂ 1357 දී ගම්පොල රජ පැමිණි තුන්වන වික්‍රමබාහු සෙංකඩගල චේතිහාසික පුරවරය ගොඩනඟා පසුව වෙහෙර විහාර ආරම්භ කළ බවත් ඒ අතර මහ වාසලට නුදුරුව සර්වඥධාතු චෛත්‍යයක් හා දෙමහල් උපෝසථාගාරයක් ද ඉදිකළ බව පූජාවලිය සඳහන් කරයි. පසුකාලීන එම උපෝසථයේ රක්චංග දේශාගත භික්‍ෂූන් උපසපන් කළ බව චූල වංශය ද සඳහන් කරයි.

පළමුවන විමලධර්ම රජතුමා සෙංකඩගල රජ ප්‍රාප්තියත් සමඟ වර්ෂ 1545 වසරේ ගැටඹේ උදකුක්ඛේප සීමා මාලකයේ දී ගඩොලාදෙණිය රජමහා විහාරාධිපති ධර්ම කීර්ති මාහිමියන්ගේ මූලිකත්වයෙන් උපසම්පදා කර්මයක් පැවැත්වුණි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ක්‍රි.ව. 1781 වසරේ වැලිවිට ශ්‍රී සරණංකර මාහිමියන් උදෙසා ආවාසයක් හා සියම් දේශාගත පුවර උපාලි මාහිමි ප්‍රධාන භික්‍ෂු සංඝයාට උපසම්පදා කර්මය සඳහා ස්ථාන තැනුනෙත් මල්වත්ත නමින් ව්‍යවහාර වර්තමාන මල්වතු මහා විහාර භූමියේ බව මල්වතු මහා විහාර වංශය ග්‍රන්ථයෙහි මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන් පෙන්වා දෙයි.

කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ චිත්ත පී‍්‍රතියට හේතු වූ මේ කරුණු නිසා වැලිවිට මාහිමියනට සංඝරාජ ධූරයකින් සම්මානනීත කරවූහ. සම්බුද්ධ ශාසන මිණි පහන පිරිහී පැවති යුගයක ශාසනයත් බෞද්ධ අධ්‍යාපනයට කර සේවාව නිසාම උන්වහන්සේ මල්වතු අස්ගිරි දෙපාර්ශවයේම නායක වූහ. අනතුරුව මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ප්‍රථම මහානායක ලෙස තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්ඛිත මාහිමියන් ද, අනුනායක ලෙස රඹුක්වැල්ලේ ධර්මරතන හිමියන් ද පත් කළ බව ලේඛනගතව පවතී.

මහා විහාර පරපුරේ ඓතිහාසික හෙළ පෞඩත්වය උදෙසා ලාංකීය ගිහි පැවිදි උභය ලෝකාර්ථය පිණිසත් අපමණ සේවාවන් සිදුකළ මහා නාහිමිවරු අතර තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධ රක්ඛිත මහ නාහිමි, මැදවල ශ්‍රී ආනන්ද මහ නාහිමි, දරමිටිපොළ ධම්මරක්‍ඛිත මහ නාහිමි, මොරතොට ධම්මක්ඛන්ධ මහ නාහිමි, කොබ්බෑකඩුවේ ශ්‍රී නිවාස මහ නාහිමි, වැලිවිට ශ්‍රී සරණංකර මහ නාහිමි, ගම්මුල්ලේ ශ්‍රී සුමන මහ නාහිමි, කොටිකාහෙල ශ්‍රී සෝභිත මහ නාහිමි කන්දෙගෙදර ශ්‍රී රේවත මහ නාහිමි, ගල්ගිරියාවේ ශ්‍රී ධම්මරක්ඛිත මහ නාහිමි, පරකුඹුරේ ශ්‍රී විපස්ස මැදගම ශ්‍රී දේවමිත්ත මහ නාහිමි, හිප්පොල ශ්‍රී සෝභිත මහ නාහිමි, තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමි, ගල්ගිරියාවේ බුද්ධරක්‍ඛිත මහ නාහිමි, අමුණුගම පියදස්සී මහ නාහිමි, අඹන්වැල්ලේ ශ්‍රී සුමංගල මහ නාහිමි පහමුණේ ශ්‍රී සුමංගල මහ නාහිමි, රඹුක්වැල්ලේ සෝභිත මහ නාහිමි, වැලිවිට ශ්‍රී සරණංකර මහ නාහිමි, පුරිජ්ජල, ශ්‍රී සරණංකර මහ නාහිමි, අමුණුගම ශ්‍රී විපස්සි මහ නාහිමි, මඩුගල්ලේ ශ්‍රී ධම්මසිද්ධි මහ නාහිමි, සිරිමල්වත්තේ ශ්‍රී ආනන්ද මහ නාහිමි, රඹුක්වැල්ලේ විපස්සි මහ නාහිමි යන මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මල්වතු පාර්ශ්වාගත මහානාහිමිවරු ලෙස සුවිශේෂී සේවාවක් සිදුකර ඇත.

2004 වසරේ අභිනව මහනායක ධූරයට රිදී මහා විහාරාධිපති තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ පත් වූහ.

අනුනායක රාජකීය පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදී අඹන්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ පඤ්ඤාසේකර, ගෞරව ශාස්ත්‍රවේදී නියංගොඩ විජිතසිරි යන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා කටයුතු කරති.

ප්‍රධාන ලේඛකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී වල්ගොව්වාගොඩ ශ්‍රී මේධංකර විමලබුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ, නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති දිවුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලබුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ කටයුතු කරති.

ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ පාර්ශ්වාගත කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව, ඌව ශ්‍යාමපාලිවංශික නිකාය කාල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාව, රංගිරි දඹුලු පාර්ශ්වය, ශ්‍රී රෝහණ පාර්ශ්වය, වනවාස පාර්ශ්වය කටයුතු කරමින් උභය ලෝකාර්ථය, සම්බුද්ධ ශාසන චිර පැවැත්ම උදෙසා අපමණ සේවාවක් සිදු කරමින් ලෝකවාසීන්ගේ ගෞරව බහුමානයට පාත්‍රව ඇත.

 

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 25 වන දා සිකුරාදා අපර භාග 1.05ට ලබයි.
26 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.11 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජූලි 25 වන දා සිකුරාදා ය.
 

මීළඟ පෝය ජූලි 31 වන දා බ්‍රහස්පතින්දා ය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]