[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ වප් පුර පෝ දා විශේෂ පින්කම් මාලාවක්

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ වප් පුර පෝ දා විශේෂ පින්කම් මාලාවක්

කොළඹ ආනන්ද විද්‍යාලයේ 2008 වර්ෂයේ හොඳම ශිෂ්‍ය නායක පදවියෙන් පිදුම් ලද, කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ 2 වැනි වසර ඉගෙනුම ලබමින් සිටියදී හදිසි අනතුරකින් අභාවයට පත් වූ නවීන් රන්දුල වනිගසිංහ පුතණුවන්ගේ 15 වැනි වර්ෂ පූර්ණ පින්කම වෙනුවෙනි

ශ්‍රී සම්බුද්ධ ශාසනයටත්, සමස්ත ශ්‍රී ලංකාවටත් අත්‍යුදාර සේවාවක් ඉටු කිරීමට සැදී පැහැදී සිටි විශිෂ්ට යෞවනයකුගේ වියෝව නිමිත්තෙන් පසළොස්වන වරටත් අප බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී මෙම ඔක්තෝබර් මස 06 වැනි වප් පෝ දිනයේ දී ගුණ සමරා දාන, ශීල, භාවනාදී හා ලේ දන්දීම් පින්කම් රැසක් පවත්වනු ලැබේ.

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයට ආසන්න අත්තිඩිය ප්‍රදේශයේ නිවැසි, අප බෙල්ලන්විල විහාරස්ථ දායක සභාවේ ලේකම් ලෙසත්, මාධ්‍ය ඒකකයේ ලේකම් ලෙසත් විශිෂ්ට සේවාවක් ඉටුකරන ලයනල් ශාන්ත වනිගසිංහ හා ගංගා කුමුදුනී ගුණවර්ධන දම්පතීන්ගේ එකම පුත් නවීන් රන්දුල වනිගසිංහ පුතණුවෝ මීට වසර පහළොවකට පෙරාතුව හදිසි අනතුරකින් මිය පරලොව යාම වෙනුවෙන් මෙම පින්කම පවත්වනු ඇත.


ආනන්දය ආනන්දවත් කළ ශිෂ්‍ය විධායකවරයා

නවීන් රන්දුල කුඩා අවදියේ සිට ම බොදු දහමට අවනත ව දන්, සිල්, භාවනා ආදිය ප්‍රගුණ කරමින් තම දිවි ගමන් මඟ සුසිල්වත් ව හා ක්‍රමවත් ව සකස් කරගත් පුණ්‍යවන්ත පුත්‍රයෙකි. එයට හොඳම නිදසුනක් ලෙස වර්තමාන පරපුරේ තරුණයින් තම උපන් දිනය සාද පවත්වමින් විනෝද වන අවස්ථාවක නවීන් රන්දුල සෑම වර්ෂයක ම තම උපන් දිනය යෙදෙන දින මධ්‍යම ලේ බැංකුව වෙත ගොස් ලේ පරිත්‍යාග කර, විහාරස්ථානයකට ගොස් පිරිත් නූලක් ගැට ගසා ගැනීමට කටයුතු කිරීම පෙන්වා දිය හැක.

එපරිද්දෙන් ම කොළඹ ආනන්ද විදුහලට ඇතුළත් වී නවීන් රන්දුල මනාව අධ්‍යාපනය හදාරමින් දිනෙන් දින ආනන්ද විදුහල් මාතාවගේ දිදුලන මිණි කැටයක් මෙන් ඔපවත් වන්නට විය.

ඔහු කෙතරම් දක්ෂයකු වී ද යන්න පාසලේ ක්‍රීඩා, කථික, විවාද, චිත්‍ර ආදී විවිධාකාර අංශවලින් ප්‍රමුඛස්ථාන දිනමින් සිය විදුහල් මාතාව රනින් හා කීර්තියෙන් සැරසීය. ඔහුගේ අපරිමිත දක්ෂතා හා නිවැරැදි ගමන් මාර්ගය දුටු ආනන්ද මාතාව නවීන් රන්දුල පුතණුවන් නායකත්වයෙන් පුදමින් පාසල් පන්ති හා ශිෂ්‍ය නායක පදවි ප්‍රදානය කළා ය. සැබෑ දක්ෂයකු වූ නවීන් විදුහල්පති හා ගුරු කාර්ය මණ්ඩලයේ ද, දහස් ගණනක් වූ සිසු කැළගේ ද ඉමහත් ප්‍රසාදය දිනා ගනිමින් ආනන්ද විදුහල් මාතාවගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක පදවියට පත් වූයේ සැබෑ බොදු පුතකුගේ ගමන් මඟ අපූරුවට සනිටුහන් කරමිනි.

සිය අධ්‍යාපන කටයුතු ද සාර්ථක ව හා ඉහළින් ම ඉටුකරගත් නවීන් විශිෂ්ට සාමාර්ථ දහයක් සහිත ව අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් ව අ.පො.ස. උසස් පෙළ විශිෂ්ට අන්දමින් සමත් වී කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ උසස් අධ්‍යාපනයෙන් රටට වැඩදායී සේවාවක් සලසනු අටියෙන් ම ය. එසේ තිබිය දී අනපේක්ෂිත ලෙස හදිසි අනතුරකින් නවීන් රන්දුල ශිෂ්‍යයා සදහට ම වියෝ වූයේ අප සැමගේ ද, ඔහුගේ සේවාව අපේක්ෂා කළ ශ්‍රී ලංකාද්වීපයේ ද සියලු බලාපොරොත්තු සුන් කරලමිනි.

ඔහුගේ වියෝවින් සොවට පත් පියා, මව හා නැඟණිය සෑම වසරක ම නවීන්ට පින් පමුණුවමින් සසර ගමන් මඟට සෙත් පතමින් දන්, සිල්, භාවනා පින්කම්, ලේ දන්දීම්, ධර්ම දේශනා, අධ්‍යාපනය ලබන දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙමින් අති උතුම් පින්කම් රැසක් පවත්වති. මෙවර බෙල්ලන්විල රාජමහා විහාරභූමි පරිශ්‍රය ආශි‍්‍රත ව පැවැත්වෙනුයේ මෙම පහළොස්වන ගුණ සමරු පින්කම් මාලාවයි. නවීන් රන්දුල වෙනුවෙන් එම පදනම වාර්ෂික ව සිදු කරන මෙම පින්කම් කැලණිය රාජමහා විහාරය, පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් විහාරය හා හුණුපිටිය ගංගාරාමය වැනි විහාරස්ථානවල ද සිදුකර ඇති අතර, එම වැඩසටහන්වලට දිවයිනේ ප්‍රධාන පෙළේ ධර්මධර, විනයධර, භික්ෂූන් වහන්සේ හා ප්‍රසිද්ධ ගිහි දේශක මහතුන් සම්බන්ධ කර ගැනීමට කටයුතු කර තිබීම අගය කළ යුතු දෙයකි.

මෙවර පින්කම් දින ධර්ම දේශනා, විශේෂ දේශනා, ධර්ම සාකච්ඡා, ගැබිනි මව්වරුන්ට පෝෂණ මලු බෙදා දීම පමණක් නොව කුරිරු යුද්ධයේ දී ආබාධිත තත්ත්වයට පත් අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ නේවාසික ව සිටින වීරෝධාර රණවිරුවන් කැඳවා ඔවුනට උපහාර දැක්වීමක් ද සිදු කෙරේ.

අප බොදු සසුනට, ශ්‍රී ලංකාද්වීපයට, ප්‍රභාස්වරයක් වන්නට සිටි නවීන් රන්දුල ශිෂ්‍යයාගේ වියෝව අපට යළි යළිත් බුදුන් වහන්සේ දේශනා කළ අනිත්‍යය - සත්‍යය මනාව පසක් කරලයි. මේ සියලු පින්කම්වල බෙලෙන් නවීන් රන්දුල වනිගසිංහට අමා මහ නිවන් දොරටු විවර වේවා.


මීට වසර 15කට පෙර හදිසි අනතුරකට ලක්ව අකාලයේ වියෝ වූ නවීන් රන්දුල වනිගසිංහ පුතණුවන් මෙසේ හැඳින්විය හැකි ය.

විද්‍යාලයීය සහකාර විදුහල්පතිවරයකු ලෙසත්, ශිෂ්‍ය විධායක මණ්ඩලය භාර ආචාර්යවරයාණන් වහන්සේ මතු නොව විනය කටයුතු භාර ආචාර්යවරයාණන් වහන්සේ ලෙසත්, කොළඹ ආනන්ද විද්‍යාලයෙහි මා සේවය කරන අවධියෙහි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය විධායකවරයකු ලෙස නවීන් රන්දුල වනිගසිංහ අපගේ මතකයෙහි සවිමත් ව සනිටුහන් ව ඇති ශිෂ්‍යයෙකි.

ආනන්දීයයකු තුළ විද්‍යමාන විය යුතු බොහෝ ගති ලක්ෂණ ඔහු වෙතින් අප දක්නා ලද්දේ ආනන්දයෙහි ප්‍රාථමික අංශයෙහි ඉගෙනීමෙහි නිරත ව සිටි අවදියේ සිටම ය. කුඩා නවීන් රන්දුල නායකත්ව ලක්ෂණ පෙන්නුම් කිරීම එදා සිදු කෙරිණි.

එමෙන්ම විෂයය දැනුමින් සුපෝෂිත වීම සඳහාත්, බාහිර ක්‍රියාකාරකම් වර්ධනය කර ගැනීම සඳහාත් මහත් කුසලතාවයක් දක්වන ලද නවීන් රන්දුල පෞරුෂයීය ලක්ෂණ වඩා වර්ධනය කර ගැනීම ද අදියරෙන් අදියර දියුණු කරගත් අයුරු අපි ඉතා සතුටින් බලා සිටියෙමු.

විද්‍යාලයීය ධර්මාචාර්ය හිමිවරුන් හා විදුහල්පතිතුමන් මෙන් ම ගුරු මව්වරුන් පියවරුන්ගේ නිබඳ අවධානයට හා පිළිගැනීමට ලක්ව සිටි නවීන් රන්දුල වනිගසිංහ විෂයය දැනීම තුළින් ද තම හැකියාවන් පෙන්වාලූයේ වාර පරීක්ෂණ ආදියෙන් ද මහත් දක්ෂතා දක්වමිනි. කොළඹ ආනන්ද විද්‍යාලයේ 7000 කට ආසන්න ශිෂ්‍ය ප්‍රජාව අතර ශිෂ්‍ය විධායකවරයකු වීම පමණක් නොව ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය විධායකවරයකු වීම සාමාන්‍ය සිදුවීමක් නොවේ.

ඒ අනුව ආනන්ද විද්‍යාලයීය ශිෂ්‍ය විධායක මණ්ඩලයෙහි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය විධායකවරයකු වීම දක්වා තම හැකියාවන් ඔප නංවාගත් අයුරු ප්‍රසංසනීය වේ. බොහෝ විට ශිෂ්‍ය විධායකවරයකුට පැවරෙන විවිධ වගකීම් හා කැපවීම් මත පාසලෙහි මූලික අපේක්ෂාව වූ සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම බොහෝ දෙනාගෙන් මඟ හැරී යන අවස්ථා ද ඇත්තේ ය. එහෙත් නවීන් රන්දුල එම සියලු වගකීම් දරමින් ශිෂ්‍ය විධායක මණ්ඩලයෙහි සිසුන් අතර හොඳම ප්‍රතිඵලලාභියා වීමේ ගෞරවය ද ලබා ගැනීම ඉතා දුලභ සිදුවීමකි.

දීප්තිමත් ආනන්දීය ශිෂ්‍යයකු වශයෙන් ආනන්ද මාතාව අමන්දානන්දයට පත්කළ ආනන්දීයයකු ලෙස පාසල වෙනුවෙන් සිදුකළ යුතු උපරිම මෙහෙය සිදුකළ ශිෂ්‍යයකු ලෙස අගය කළ යුතු ව ඇත.

මෙම සියලු දක්ෂතා සඳහා ඔහුගේ දෙගුරුන් වෙතින් ලැබුණු සහාය ද සාමාන්‍ය වූවක් නොවේ. ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රචාරක කළමනාකරුවකු ලෙස සේවය කළ එල්.එස්. වනිගසිංහ මහතා දයාබර පියාණන් ලෙසත්, හැව්ලොක් ටවුන් ලුම්බිණි විද්‍යාලයේ ආචාර්යවරියක් ලෙස සේවය කළ ගංගා ගුණවර්ධන මහත්මිය දයාබර මෑණියන් ලෙසත්, නවීන් රන්දුල වනිගසිංහ ශිෂ්‍යයාගේ සියලු හැකියාවන් දියුණු කර ගැනීම සඳහා පසුපස සිටිමින් සිදුකරන ලද කාර්ය භාරය ද ඉමහත් ය.

“පුත්තාවත්ථු මනුස්සානං” යනුවෙන් ධර්මයෙහි දැක්වෙන පරිදි තමන්ගේ එකම වස්තුව දරුවන් බව මෙනෙහි කරමින් මහත් අපේක්ෂා සහගත ව සිටි එකම පුතු මියයාම දරාගත නොහැකි වේදනාවක් බව කිව යුතු නොවේ. එසේ වූ බලාපොරොත්තුන්හි දෑස් දල්වාගෙන තම පුතුගේ අනාගතය මනසින් දකිමින් සිටි අවස්ථාවක සියලු බලාපොරොත්තු බිඳ වැටී අපේක්ෂා භංගත්වයට පත් වූ මව්පියන්ට පිහිට වූයේ ධර්මය පමණක් බව කිව යුතු ව ඇත.

එසේ සිත් සනසා ගනු වස් වසර 15 ක් පුරා තම නිවසේ පමණක් නොව ලංකාවේ ප්‍රමුඛතම පූජනීය ස්ථානයන්හි විවිධ පුණ්‍ය කටයුතු සංවිධානය කරමින් තම පුතණුවන්ට පින් පමුණුවමින් එබඳු අකල් මරණයකට පත් නොවී ලබන උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කොට ඇත.

පසළොස් වසරකට පෙර අත්විඳින ලද මෙම දුක්ඛදායක අත්දැකීමෙන් ලබන ලද දැඩි “පිය විප්පයෝග දුක්ඛය” සංසිඳුවා ගැනීම සඳහා සිදුකරන පුණ්‍ය ධර්මයන් හැර අන් කිසිදු පිහිටක් නැත. පසළොස් වසරක් පිරෙන අද දිනයේ සිදුකරනු ලබන විවිධ පින්කම්වල බලයෙන් හදිසියේ වියෝ වූ නවීන් රන්දුල වනිගසිංහ පුතණුවන්ට උතුම් වූ නිවන් සුව පතමු.

වප් පුර පසළොස්වක

ඔක්තෝබර් 06 සඳුදා අ.භා 12.22 පුර පසළොස්වක ලබා 07 අඟහරුවාදා පූ.භා. 09.17න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 13  

Full Moonඅමාවක

ඔක්තෝබර් 20 

First Quarterපුර අටවක

ඔක්තෝබර් 29   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]