[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 දමනය කළ සිත සුව ගෙන දෙයි

 දමනය කළ සිත සුව ගෙන දෙයි

“චිත්තං දන්තං සුබාවහං”. මහණෙනි, ප්‍රකෘති සිත ප්‍රභාස්වරයි. පවිත්‍රයි. එය ආගන්තුක කෙලෙස්වලින් කිලිටි වේ. එය පවිත්‍ර වන්නේ ආගන්තුක කෙලෙස්වලින් මිදුණු විටය.” යනුවෙන් අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සිතේ සාමාන්‍ය ස්වභාවය පැහැදිලි කළ සේක.

තවදුරටත් කරුණු දක්වමින් “සිත තරම් (වහා පෙරළෙන සුලු) වෙනත් දෙයක් නොපෙනෙන බවත්” දුර ගමන් කරන, තනි ව හැසිරෙන, ශරීරයක් නැති ගුහාවක සයනය කරන මේ සිත යමෙක් සංවර කර ගන්නේ නම්, ඔහු මාර බන්ධනයෙන් මිදෙන බවත්” වදාළහ. එසේම “හීලෑ කිරීමට ඉතා දුෂ්කර වූ, කැමැති කැමැති තැන වැටෙන, දකින්ට අමාරු ඉතා සියුම් වූ මේ සිත හික්මවා ගැනීමත්, රැක ගැනීමත්, දමනය කර ගැනීමත් සුවය හා සැනසිල්ල ගෙන දීමට හේතු භූත වන බව“ ද වදාළ සේක. තවද “ලෝකයා ගෙන යනු ලබන්නේත්, ඇදගෙන යනු ලබන්නේත් චිත්තය විසින් ම බවත්” සියල්ල ම චිත්තයාගේ වසඟයට යන බවත්” වදාළ බුදුරජාණන් වහන්සේ “ශාන්තිය ලැබීමට නම් ආධ්‍යාත්මය ම හෙවත් චිත්ත සන්තානය ම සන්සිඳුවිය යුතු බවත්” වදාළහ. මේ සිතේ ස්වභාවය පැහැදිලි කළ බුද්ධ වචන කිහිපයකි.

චිත්තය ම ආත්මය ලෙසින් ගත් අබෞද්ධ දාර්ශනිකයන් “එය අංශුවකටත් වඩා ඉතා කුඩා බවත්, මහත් දෙයකටත් වඩා ඉතා මහත් බවත් ජනයාගේ හෘදය නමැති ගුහාවෙහි තැන්පත්ව ඇති බවත්” ප්‍රකාශිතය.

සිත රැක ගැනීමට නම් සිත හඳුනාගත යුතු ය. බුදු දහමහි ‘සිත්’ යන අරුත්හි ‘චිත්ත විඤ්ඤාණ, මන චේත” ආදී වචන කිහිපයක් ම ව්‍යවහාර වේ. පරමාර්ථ ධර්ම වශයෙන් අභිධර්මයෙහි දක්වන ලද කරුණු සතර අතර, චිත්ත හා චෛතසික යන දෙක ධර්මයට අනුකූල ව ශාස්ත්‍රීය ලෙසින් විස්තර කර ඇත. සිත හා සිතිවිලි දෙකක් වුවත්, ඒවා කෂායෙහි පවතින ජලයත්, ඖෂධීය රස ගුණත් මෙන්ම එකට ම පවතින්නේ ය. සිත හෙවත් මනස පූර්වංගමව, චෛතසිකව ඇතිවන බවත්, ගොනුගේ පය අනුව රිය සක මෙන් ද, තමා නො හැර යන ඡායාව මෙන් ද මේ දෙක සම්බන්ධ ය. චිත්ත සන්තතිය ජල ප්‍රවාහයක් මෙන් ද, පහන් දැල්ලක් මෙන් ද, නිරන්තර අවිච්චින්නව පවතින්නේ ය. මෙවන් ස්වභාවයක් ඇති චිත්තය හඳුනාගන්නේ කෙසේද? එය ඉතා දුෂ්කර කාර්යයකි. එහෙත් සියලු සත්ත්වයන් ම සිතන බවත්, නිරතුරු සිතමින් සිටින බවත්” පැහැදිලි ය. අපහසු වන්නේ මුල සොයා ගැනීම ය.

උත්පාද, ස්ථිති, භංග යන අවස්ථා තුනෙන් යුතුව ගලා යන චිත්ත සන්තතිය කෙනකුන්ට අවශ්‍ය වූ විට ප්‍රත්‍යවේක්ෂා කර බැලිය හැකි ය. එනම් ආපසු සලකා බැලිය හැකි ය. එසේ බැලීමේ දී ශීඝ්‍රයෙන් භ්‍රමණය වන ගිනි අඟුරක වළල්ලක් මෙන්” පෙනේ. එම ඝන සංඥාව නිසා යථාර්ථය වැරැදි ලෙස පෙනීම නිසා මුල සොයා ගන්ට අපහසු වනු ඇත. චක්‍රයක මුලක් ඇත්තේ ම නැත. එහෙත් එය අල්ලන තැන නැතහොත් පටන්ගන්නා තැන මුල වශයෙන් ගත යුතු වේ. එනම් දහමට අනුව එවැනි තැන් සිතට ඇත්තේ සයකි. එනම්, ලෝභ, දෝස, මෝහ යන අකුසල මුල් තුන සහ අලෝභ, අදෝස, අමෝහ යන කුසල මුල් තුන ද යන මේවා යි. පව් පින් සිදු වන්නේ මේවා මුල් කොට ය.

“සිතෙනවා” සිතනවා” යන දෙක ම එක සමාන නොවේ. “සිතෙනවා” යන්නට කර්ම පදයක් නො ලැබේ. එනම් අකර්මකයි. “සිතනවා” යන්නට කර්ම පදයක් ලැබේ එය සකර්මකයි. අකර්මක ක්‍රියාවලට විපාක නොලැබේ. ධර්මය ව්‍යාකරණානුකූලයි. ව්‍යාකරණය ධර්මානුකූලයි. චේතයිත්වා කම්මං කරොති” යි වදාළේ එහෙයිනි.වරදවා තැබූ සිත කෙනකු පාපියකු කරන බවත්, මනාකොට තැබූ සිත ශ්‍රේෂ්ඨයකු කරන බවත් වදාරා ඇත. “ම්ච්ඡා පණීහිතං චිත්තං පාපියෝ නං තතෝ කරේ” “සම්මා පණීහිතං චිත්තං සෙය්‍යසෝ නං තතෝ කරේ” යනු බුද්ධ වචනයයි. “අත්ත සම්මා පණීධීච” යන්නෙත් සිත මනාකොට පිහිටුවා ගැනීම මංගල කාරණයක් දියුණුවට හේතු වන කාරණයක් බව දේශිත ය. මිනිස් ලොව ශ්‍රේෂ්ඨත්වයට පත්වීමට දෙව්ලොව ඉපදීමට හා බඹලොව ඉපදීමට පමණක් නොව බුදු බව ලැබීමට ද සිත මනා කොට පිහිටුවා ගැනීම ම හේතු වේ. මනෝ ප්‍රණීධානයෙන් පටන්ගෙන දස පෙරුම් පිරීමෙන් බුදු බව ලබන බව බෞද්ධයන් අසා ඇත.

බුදුරජාණන් වහන්සේ දමනය කළ යුතු පුරුෂයන් දමනය කිරීමෙහි ලා සාර්ථකයකු වන්නේ එහෙයිනි. “පුරිස ධම්ම සාරතී” නම් ගුණයෙන් යුක්තයි.

අංගුලිමාල, ආලවක, සච්චක ආදී මනුෂ්‍යයන් පමණක් නොව ධනපාල හස්ති ආදී තිරිසන් සතුන් ද උන්වහන්සේ විසින් දමනය කළ බව ප්‍රසිද්ධය. වල්ඇතුන්, ගවයන්, සුනඛයන් ආදීන් මිනිසුන් විසින් හික්මවනු ලබන්නේ බොහෝ පුරාණ කාලයේ සිට ය. අන්‍යයන්ගේ චණ්ඩ සිත හික්ම විය හැක්කේ තමන්ගේ චණ්ඩ සිත හික්මවා ගත් අයට පමණකි. අන්‍යයන්ගේ සිත හික්මවීමට වඩා තමන්ගේ සිත හික්මවා ගැනීම දමනය කර ගැනීම දුෂ්කර ය. උත්තම ය.

සිතෙහි දමනය කරන්නේ මොනවා ද? එය හික්ම වන්නේ කෙසේද? විශේෂයෙන් කාමය හා ක්‍රෝධය සිත තුළ බලපවත්වයි. එනම් ලෝභ, දෝෂ, චෛතසික දෙකයි. මේවා බල පැවැත්වීම ම මෝහය යි. එනම් මුළාව යි. ඒවායින් යථාර්ථය පෙනීම වැසී යයි. තමන් විසින් තමන් හික්ම වන විට ඇතිවන්නේ මේවා සමඟ සටනකි. මේවායින් සිත රැක ගැනීම චිත්ත දමනයයි. එයින් සංවරය ඇති වේ. ඒ සඳහා සංයමය අවශ්‍යයි.

“භාවනාවෙන් එය ඇති වේ. එවිට ඔහු “භාවිත චිත්ත” “භාවිතත්ත” නම් වන්නේ ය. උදාහරණයක් වශයෙන් පැහැදිලි කරනවා නම්, මෙසේ සඳහන් කළ හැකි ය.

දිනක් වංගීස තෙරුන් අනඳ තෙරුන් සමඟ පිඬු සිඟා වඩිද්දී රූමත් කාන්තාවක් දැක “තමා කාම රාගයෙන් දැවෙන බවත්” තම සිත හාත්පසින්ම දැවෙන බවත් එහෙයින් එය නිවනු මැනැවැ”යි අවංකව ම අනඳ තෙරුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

“කාමරාගෙන ඩයිහාමී චිත්තං මේ පරිඩයිහති සාධු නිබ්බාපණං බ්‍රෑහි අනුකම්පාය ගොතම” කියායි. එවිට අනඳ තෙරණුවෝ එය සංඥාවේ හෙවත් හැඟීමේ විපර්යාසයක් හෙවත් පෙරළියක් බවත් එයින් ඔබගේ සිත දැවෙන බවත් දේශනා කළහ. ශුභ වශයෙන්, ලස්සන වශයෙන් ගත්, රාගය උපදවන නිමිත්ත හෙවත් ලකුණ දුරුකරන්න ආදී වශයෙන් අවවාද කළහ.

“සඤ්ඤාය විපරියෙසා, චිත්තං තෙ පරිඩයිහති නිමිත්තං පරිච්ඡ්ජෙහි සුභං රාගුපසංහිතං”

තවදුරටත් ඔවා දෙන අනඳ හිමියෝ සංස්කාරයන් අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් බලන්න. මහා රාගය නිවාගන්න. නැවත නැවත නොදැවෙන්න, අසුබ, භාවනා සඳහා සිත යොමු කරන්න. සිත එකඟ කරගෙන සතිපට්ඨානයෙන් යුතු ව, සසර දුකෙහි කලකිරීම ඇතිව මානය දුරුකොට උපශාන්තව හැසිරෙන්න යනුවෙන් අවවාද කළහ. වංගීස තෙරණුවෝ සන්සිඳීමට පත් වූහ.

චිත්ත සන්තානයෙහි නිදි ගත්තාක් මෙන් පවතින “අනුසය” නමින් යුත් කෙලෙස් කොටසක් ඇත. “ඇඳ යට බැඳි නිදන කොටියකු” මෙන් අවස්ථාවක් යෙදුණු කල ඒවා නැඟී සිට ක්‍රියාත්මක වෙති. කාම රාගය, පටිඝ හෙවත් ක්‍රෝධය, මානය ආදී වශයෙන් ඒවා 7 කි.

වා, පිත්, සෙම් කිපීමෙන් රෝග පීඩා ඇති වන්නාක් මෙන් මේවා උත්සන්න වීමෙන් සිත කෙලෙසනවා පමණක් නොව බොහෝ කරදරවලට ද මුහුණ පාන්නට සිදු වන්නේ ය.

සත්ත්වයන් චණ්ඩ වන්නේ මේවා උත්සන්න වීමෙනි. වා, පිත්, සෙම් නැසීමට, සමනය කිරීමට වෛද්‍ය ශාස්ත්‍රය උපදෙස් දෙන්නාක් මෙන් මේවායින් සිත් සන්සිඳුවා ගැනීමට බුදුරජාණන් වහන්සේ විසින් ධර්මය නමැති ඖෂධ වදාරා ඇත. ඖෂධ පාවිච්චි කිරීමෙන් රෝග සුව වන්නාක් මෙන් ධර්මයෙහි හැසිරීමෙන්ම දහමට අනුව කටයුතු කිරීමෙන් ම චිත්ත දමනය ඇති වන්නේ ය.

මේවා ක්ලේශ මාර වශයෙන් ද වදාරා ඇත. කෙලෙස් මැඬීම පිණිස කරන හටන මාර යුද්ධයකි. කාම රාගය දිනීමට කායගතාසතිය හෙවත් පිළිකුල් භාවනාවත්, ක්‍රෝධය දිනීමට මෛත්‍රී භාවනාවත්, ඊර්ෂ්‍යාව දිනීමට මුදිතා භාවනාවත් ආයුධ වශයෙන් සැලකිය හැකි ය. සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සලකා බැලීමෙන් කරන භාවනාව විදර්ශනා භාවනාවයි. එයින් ආත්ම දෘෂ්ටිය ගිලිහී ගොස් අනාත්ම දර්ශනය පහළ වන්නේ ය. සෝවාන් ඵලයට පත්වීමේ මුල් පියවර මෙයයි. චිත්ත දමනයේ විශේෂ ලක්ෂණය ඉවසීම ය. අනාත්ම දර්ශනයෙන් ඉවසීම ඇති වන්නේ ය. සුණාපරන්තයේ පුණ්ණ තෙරණුවෝ ඊට වැදගත් නිදසුනකි.

දිනක් පුණ්ණ තෙරුන් ගමට යනු කැමැත්තෙන් බුදුරජාණන් වහන්සේ වෙත ගොස් භාවනා කිරීමට කමටහන් ඉල්ලා සිටි විට පුණ්ණ, සුණාපරන්ත වාසීහු ඉතා නපුුරුය. චණ්ඩය. එහිදී ඔවුහු ඔබට බණිත් නම්, තර්ජනය කරත් නම්, කෙසේ සිතන්නෙහිදැ'යි බුදුරජාණන් වහන්සේ ඇසූහ. එවිට පුණ්ණ තෙරණුවෝ ස්වාමිනී, මට ඔවුන් බැන්නත්, තර්ජනය කළත් අතින් පයින් නොගසනු ඇත. එහෙයින් ඔවුන් හොඳ මිනිසුනැ’යි මම සිතමි යි පැවසූහ. “ඔවුන් අතින් පයින් ගැසුවොත්” කෙසේ සිතනවාදැ යි ඇසූ විට “අතින් පයින් ගැසුවත් ගල්මුල්වලින් නොගසනු ඇත. එහෙයින් ඔවුන් හොඳ මිනිසුනැයි සිතමියි කීහ. ‘ගල්මුල්වලින් ගැසුවොත් කෙසේ දැයි ඇසූ විට එසේ වුවත් ඔවුන් මට පොලුවලින් නොගසනු ඇත. එහෙයින් ඔවුන් හොඳ මිනිසුනැයි සිතමි’යි කීහ.පොලුවලින් ගැසුවොත් කෙසේ දැයි ඇසූ විට ආයුධවලින් පහර නොදෙනු ඇතැයි ද, එසේ වුවත් නොමරනු ඇතැයි ද එහෙයින් ඔවුන් හොඳ මිනිසුනැයි සිතන බවත් කීහ. මැරුවොත් මරන විට කෙසේ සිතනවාදැයි බුදුරජාණන් වහන්සේ ඇසූ විට පුණ්ණ තෙරුන් පිළිතුරු දෙමින් භාග්‍යවතුන් වහන්ස, බුද්ධ ශාසනයෙහි ශරීරය හා ජීවිතය ගැන කලකිරි දිවි නසා ගැනීමට ආයුධ සොයන පැවිද්දෝ ද ඇත. මට එය නොසොයාම ලැබුණේ යයි සිතමි යි කීහ.

එවිට බුදුරජාණන් වහන්සේ සාධුකාර දී මෙතරම් ඉවසීමක් ඇති ඔබට සුණාපරන්තයෙහි විසීම හැකිවන්නේ ය යි වදාරා සමුදුන්හ. පුණ්ණ තෙරණුවෝ තම ගම වූ සුනාපරන්තයට ගොස් වස් වසා උවැසු උවැසියන් දහසක් පමණ ඇති කොට භාවනාකොට රහත් වූ සේක.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

බිනර අමාවක

සැප්තැම්බර් 21 ඉරිදා පූ.භා. 00.21 අමාවක ලබා 22 සඳුදා
පූ.භා. 01.27න් ගෙවේ.
21 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 

First Quarterපුර අටවක

සැප්තැම්බර් 29   

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 13  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]