බිනර අමාවක පෝ දා
2025-09-21
පසුපස එන කළ කම්
ඉධ සොචති පෙච්ච සොචති
පාපකාරි උභයත්ථ සොචති
සො සොචති සො විභඤ්ඤති
දිස්වා කම්ම කිලිට්ඨ මත්තනො
පව් කරන පුද්ගලයා මෙලොව දී ශෝක වන්නේ ය. කරන ලද පාප කර්මයන් හි විපාක විඳින්නට වන
කල්හි පරලොව දී ද ශෝක වන්නේ ය. මෙසේ මෙලොව ද, පරලොව ද දෙතැන දී ම ශෝක කරන්නේ ය. ඒ
නිසා ම වැනසෙන්නේ ය. ඒ තමන් කළ අපිරිසුදු කර්ම හේතුවෙනි.
පාපය ඒ සා දුක් සහිත ය. පවෙහි ම එල්බ ගත් පුද්ගලයාගේ ස්වභාවය විස්තර කරමින් ධම්ම
පදයේ දී දෙන මේ ඔවදන ජීවිතය යහපත් ව පවත්වා ගෙන යන්නට, පාප කර්මයන්ගෙන් වැළකී
සිටින්නට මා හැඟි මඟ පෙන්වීමක් සිදු කරයි.
දීර්ඝ සසර පුරා කෙනෙක් පාපයට ම නැඹුරු වූයේ නම් මෙලොව දී ද පවින් දුරු වීම අසීරු ය.
පවට ම නම්‍ය වන්නේ ය. පිනක්, කුසලයක් කිරීම අපහසුවක් සේ දැනේ. එහෙත් දුකට අකැමැති
නම්, පාපයේ භයානක විපාක විඳින්නට අකැමැති නම් අපහසුවෙන් වුව ද පිනට කුසලයට නැඹුරු
විය යුතු ය.
චුන්දසූකර නම් ඌරු වැද්දා බුදුරජාණන් වහන්සේ වැඩවෙසෙන සමයෙහි ඌරු කොටුවක් පවත්වාගෙන
ගිය පුද්ගලයෙකි. ඌරන් මරණයට පත් කරමින්, මාංශ විකුණමින්, තමන් ද ඒ මාංශ අනුභව
කරමින් ජීවත් වූ මේ පුද්ගලයා ඒ අහිංසක සතුන්ට දුන් වධහිංසා අපමණ ය. ඒ පාපයේ විපාකය
ඔහුට මෙලොව දී ම විඳින්නට සිදුවිය. හිංසාකාරී ජීවිතයක් ගෙවූ ඔහු කල්යත් ම දැඩි ව
ගිලන් වුණි. සිරුරට දැනෙන වේදනාව ඉවසිය නොහැකි විය. ගිනි ජාලාවකින් වෙළී දැවෙන්නා
සේ දැඩි වේදනාවක් දැනුණි. ඒ වේදනාවෙන් දිවා රෑ නැඟූ මර හඬ මින් පෙර ඔහු විසින්
ඌරන්ට මුගුරුවලින් තළන ලද කල්හි උන් නැඟූ වේදනාකාරී හඬ හා සමාන විය. අවසානයේ නෑ
මිතුරන් පවා ඔහු හැර යන්නේ ය. කිසිවකුගේ හව්හරණක් නොමැති වූ චුන්දසූකර අවසානයේ මිය
ගොස් අවීචිමහා නරකයේ පහළ වන්නේ ය. ඔහුට මෙලොවත් එලොවත් අපමණ දුක්ඛයන්ට මුහුණ දෙන්නට
සිදු වූයේ පව් කරනා කළ එය මිහිරි ලෙස දකිමින් පවෙහි බිය නොවූ නිසා ය. ලජ්ජා නොවූ
නිසා ය.
මෙවැනි චුන්දසූකර ලා එදවස සේ ම මෙදවස ද වෙති. ඔවුන් කරන පාපයේ ස්වභාවය පමණක් වෙනස්
වන්නට පුළුවන. තමන් කරන කියන දෙය හොඳින් විමසා බලන්නේ නම් තමන්ගේ පැවැත්ම පාපකාරී
ද, නොවන්නේ ද යන්න තමන්ට ම අවබෝධ කර ගත හැකි ය. එදා චුන්ද සූකර බුදුරජාණන් වහන්සේ
වැඩ සිටින වේළුවනාරාමය සමීපයේ ජීවත් වුව ද එක බණ පදයක්වත් අසන්නට වෙහෙරට නොගියේ ය.
සම්බුද්ධ දේශිතය ජීවමාන මෙකල බොහෝ අය ධර්මය ශ්‍රවණය කරති. දහම් දැනුමෙන් පෝෂණය
වෙති. එහෙත් දහම දැනුමට සීමා කරනු විනා ජීවිතයට සමීප කර ගන්නා පිරිස ඉතා සීමිත ය.
බොහෝ අය සිතින්, කයින්, වචනයෙන් වැරැදි කරන්නේ එහි බරපතළ විපාක ගැන සිතා බලන්නට හෝ
ඉවසීමක් නොවන නිසා ය. තමන් විසින් ම දුකෙහි නොවැටී යහපත් ජීවිතයකට පිවිසිය හැකි
වන්නේ ද තමන්ට ම ය. එය අනුන්ට කළ නොහැකි කාර්යයකි. තමන්ගේ යහපත තමන් ම සලසා ගන්නට
උත්සාහවත් වෙමු. |