[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් සෑ රදුන් වහන්සේ

කඳු මැද වැජඹෙන මනරම් පුදබිම රජගල

අපේ මහ පොළව යට සැඟව, ඉතිහාසය විසින් ම වසාගත් පුදබිම් ගණන මෙතෙකැයි කිව නොහැකි ය. අද අප කතාබහ කරන මෙම භූමිය ද ඉතිහාසය විසින් වසාගත් එහෙත් කාලයාගේ ඇවෑමෙන් නැවත කැණීම් කොට එළි කළ පෙදෙසකි.  මෙම බිමෙහි තවමත් සංරක්ෂණය කර ඇත්තේ ද ඉතා සුළු කොටසකි. මෙම පුදබිම පිහිටුවා ඇත්තේ මනරම් කඳු මුදුනක ය. එහෙයින් අත්‍යාලංකාර සංචාරක ස්ථානයක් ලෙසට ද නම් කළ හැකි ය. මේ සුන්දර බොදු පුදබිම අපට මුණගැසෙන්නේ අම්පාරේ දී ය. අම්පාරට නුදුරු උහන ප්‍රදේශයේ රජගලතැන්න ගම්මානයෙන් ඇරඹෙන හරිත වියනින් වට වූ ගල් පඩි මාවත ඔස්සේ මේ ගමන ඇරඹිය යුතු ය. එය ඉතාමත් සුන්දර ගමනකි. එහෙත් පහසුවෙන් මෙම පුදබිමට ප්‍රවේශවීමට නම් පුළුකුණාව මාවත භාවිත කළ හැකි ය. මෙම අසිරිමත් පුදබිම පැරණිම ශිලා ලේඛනයන්හි “ධන තිස පවන” නමින් හඳුන්වා තිබේ. පසුකාලීන සෙල් ලිපියක “අරිය අරක ගරිකිබලව් තිස පවත මහ වහර” ලෙස මෙහි නාමය සඳහන් බව සොයාගෙන ඇත. තවත් සෙල් ලිපියකට අනුව “අරිත්තරා වෙහෙර”යන නමින් ද මෙම ස්ථානය හැඳීන්වේ. මුහුදු මට්ටමේ සිට අඩි 1038 ක උස කඳු ගැටයක් මත අක්කර 1025 ක් පුරා අභිමානය පතුරන මෙම පුරාවිද්‍යා භූමිය ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කරන්නකුට මෙන් ම අපගේ සාඩම්බර ඉතිහාසය සියැසින් දැක බලා ගන්නකුට කදිම සංචාරක නවාතැන්පළකි. අනුරාධපුර සහ පොලොන්නරුව හැරුණු විට විශාලතම පෞරාණික ස්මාරක ප්‍රමාණයක් හමුවන රජගල ලජ්ජිතිස්ස රජතුමාගේ කාලයේ ඉදිකරන ලද සංඝාවාසයක් බවට ඉතිහාසය කරුණු ගෙනහැර දක්වයි. ස්මාරක 700 ක් සහ සියයකට අධික ශිලා ලිපි ප්‍රමාණයක් හඳුනාගෙන ඇති මෙම බිම අපේ රටෙහි ශෛලමය නිර්මාණයන්හි පරිණාමය කදිමට දැකබලා ගත හැකි පුරාවිද්‍යා බිමකි. එමෙන්ම බෞද්ධ සිද්ධස්ථානයන් අතර ද රජගල ප්‍රධාන ස්ථානයක් වීමට හේතු කාරණා කිහිපයකි. ඉන් සුවිශේෂී ම වන්නේ මිහිඳු මහා සෑය යි. මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කොට මිහිඳු මහ සෑය නිර්මාණය කළ බව මෙහි ඇති ශිලා ලිපියක සඳහන් ය.

බිනර අමාවක

සැප්තැම්බර් 21 ඉරිදා පූ.භා. 00.21 අමාවක ලබා 22 සඳුදා
පූ.භා. 01.27න් ගෙවේ.
21 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 

First Quarterපුර අටවක

සැප්තැම්බර් 29   

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 13  


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]