[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සුවපත් මනසක් සුවබර දිවියක් - 30 කොටස: මානසික බාධක මුලින් උපුටා දමන්න

සුවපත් මනසක් සුවබර දිවියක් - 30 කොටස:

මානසික බාධක මුලින් උපුටා දමන්න

ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමියන් විසින් රචිත Mindfulness in plain English  (සතිමත් බව වැඩීම) කෘතියෙනි.

සිහිය පිහිටුවා ගැනීමට යොදා ගන්නා අරමුණු කුමක්ද යන්න එතරම් වැදගත් නොවේ. හුස්ම කෙරෙහි හෝ බාධාවන් කෙරෙහි හෝ සිහියෙන් සිටීම ඔබට කළ හැකියි. ඔබගේ මනස නිසල බව හා එය සමාධිගත ව ඇති බව හෝ වැනෙන සිත හා සී සී කඩ විසිරී ඇති බව ගැන ඔබට සිහියෙන් සිටීමට පුළුවන. ඒ සියල්ල එළැඹි සිහියෙන් සිටීමයි. හුදෙක්ම එවන් දැනීම පවත්වා ගත්විට සිත ඒකාග්‍ර වීම ද නිතැතින් ම සිදුවෙයි.

බාධාවකින් තොරව සදහට ම හුස්ම වෙත සිත තබා ගැනීම භාවනාවේ අරමුණ නොවේ. එය පමණක් නිශ්ඵල අරමුණකි. භාවනාවේ අභිප්‍රාය පූර්ණ වශයෙන් නිශ්ඵල වූ හා ශාන්ත වූ සිතක් ඇති කර ගැනීම නොවේ. ඉතා සුන්දර මානසික ස්වභාවයක් වුව ද එය පමණක් ම විමුක්තියට මඟ හෙළි නොකරයි. අඛණ්ඩ ව සිහිය පවත්වා ගැනීම භාවානාවේ අරමුණ ය. සත්‍යාවබෝධය පහළ වන්නේ එළැඹි සිහිය තුළින් ම පමණ ය.

සෑම ප්‍රමාණයකින්, හැඩයකින් හා රසයකින් යුත් බාධාවන් මතුවෙයි. බෞද්ධ ධර්මයට අනුව ඒවා කාණ්ඩවලට ගොනු කර ඇත. එක් කාණ්ඩයක් බාධාවන් (නීවරණ) යනුවෙන් හැඳීන්වේ. භාවනාවෙහි අංගයන් වන සිහියට හා චිත්ත සමාධියට අකුල් හෙළන බැවින් එලෙස හැඳීන්වේ. එම වචනය ගැන අනතුරු ඇඟවීමක් කළ යුතු ය. එය ඍණාත්මක අර්ථයක් ගෙන දෙයි. බාධක යනු මුලින් උපුටා දැමිය යුතු මානසික තත්ත්වයන් ය. ඒවා හෙළා දැකීම හෝ යටපත් කිරීම හෝ මඟ හැරීම කළ යුතු යැයි අපි මින් අදහස් නොකරමු.

උදාහරණයක් ලෙස තණ්හාව ගනිමු. අඛණ්ඩව සිතේ පවතින කුමන ආකාරයේ හෝ තණ්හාවක් දීර්ඝ කාලයක් සිතේ රැඳීමෙන් වැළකීම අපගේ ආරක්ෂාව වෙයි. ඒවා බැඳීම් හා දුකට හේතු වන බැවිනි. සිතෙහි හටගන්නා විට ම එම සිතිවිලි විසිකර දැමීම අප මින් අදහස් නොකරමු. එය රඳවා ගැනීමට ද අපට උවමනාවක් නැත. අපි එයට පැමිණීමට ඉඩ දී පිටව යෑමට ද ඉඩප්‍රස්ථාව සලසා දෙමු. සිතෙහි ඇති තණ්හාව පූර්ණ අවධානයෙන් නිරීක්ෂණය කරන විට එය ගැන විනිශ්චයක් කරන්නේ නැත. පසෙකට වී එය මතුවන ආකාරය දෙස බලා සිටිමු. පටන් ගැනීමේ සිට අවසානය දක්වා දිවෙන මුළු ක්‍රියාවලිය ම මෙලෙස නිරීක්ෂණය කරමු. කිසිම අයුරකින් උදව්වක්, අකුල් හෙළිමක් හෝ මැදිහත් වීමක් නොකරමු. එයට අවැසි කාලයක් රැඳී සිටිනු ඇත. ඒ අතර අපට හැකි පමණ එය පිළිබඳ ව ඉගෙන ගනිමු. තණ්හාව සිදුකරන දෙය අපි විමර්ශනය කරමු. එය අපට කරදර කරන ආකාරය හා අන් අයට බර පටවන ආකාරය අපි දකිමු. සදහට ම නොනිවුණු ආශාවකින් හා නිරන්තර අසංතෘප්තියකින් අපව තබා ගන්නා අයුරු අපි දැක ගනිමු. මෙම අත්දැකීම තුළින් තණ්හාව, ජීවත්වීමේ අදක්ෂ ක්‍රමයක් බව අපි වටහා ගනිමු. මෙම වටහා ගැනීම න්‍යායාත්මක දෙයක් නොවේ.

සෑම අකුල් හෙළීමක් සමඟ ම මෙලෙස ගනුදෙනු කළ හැකි වන අතර ඒවා එකින් එක විමසා බලමු.

ආශාව : කාමච්ඡන්ද

භාවනා පුහුණුවේ දී ලබන සුන්දර අත්දැකීමක් හේතුවෙන් ඔබගේ අවධානය ඉවත ගියා යැයි සිතමු. එය සාඩම්බර සිතිවිල්ලක් හෝ රසවත් මනඞකල්පිතයක් හෝ විය හැකි ය. එය මාන්නක්කාර (අතිමානීය) සිතිවිල්ලක් වීමට ද පුළුවන. ආදර හැඟීමක් හෝ භාවනා අත්දැකීමෙන් ඇතිවන කායික ආනන්දජනක දැනීමක් හෝ වීමට ද ඉඩ ඇත. එය කුමක් වුව ද, එයින් ජනිතවන්නේ ආශාව පිළිබඳ හැඟීමකි. ඔබ සිතූ දෙය ලබා ගැනීමට තිබෙන ආශාව හෝ එම අත්දැකීම දිගු කාලයක් විඳීමේ ආශාවයි. ස්වභාවය කුමක් වුව ද, ආශාවක් සමඟ ගනුදෙනු කළයුතු ආකාරය පහත දැක්වේ. නැඟෙන විටම එම දැනීම සනිටුහන් කර ගන්න. ඒ සමඟ ම නැඟ එන ආශාව යන මානසික ස්වභාවය වෙන ම දෙයක් බව සනිටුහන් කර ගන්න. එම ආශාවේ නියම ස්වරූපය හෝ මට්ටම දැක ගන්න. එය කොපමණ කාලයක් පවතියි ද හා අවසානයේ දී එය ඉවත් වී යෑම සනිටුහන් කර ගන්න. ඉන්පසුව නැවත අවධානය හුස්ම වෙත යොමු කරන්න.

ද්වේශය : ව්‍යාපාද

ඍණාත්මක අත්දැකීමක් ඔබගේ සමාධියට බාධා කළා යැයි සිතමු. එය ඔබට වධ දෙන සිත් කරදරයක් හෝ බියක් හෝ විය හැකි ය. එය වේදනාවකි. වරදකාරී හැඟීමක් හෝ මානසික පීඩනයක් හෝ වීමට ද ඉඩ ඇත. නියම හරය කුමක් වුව ද එය මඟ හැරීම, විරෝධය දැක්වීම මඟින් ඔබ එය ප්‍රතික්ෂේප කිරීමට හෝ යටපත් කිරීමට වෙර දරන බව ඔබ දැක ගනියි. මෙහිදී ද කලින් ආකාරයට ම එය සමඟ ගනුදෙනු කළ යුතුයි. සංවේදනය හෝ සිතිවිල්ල හට ගන්නවා දකින්න. එය සමඟ පහළ වන ප්‍රතික්ෂේප කිරීම දකින්න. සංවේදනයේ තරාතිරම දැක ගන්න. එය කොපමණ වේලාවක් රැඳී තිබේ ද හා එය පහව යන අන්දම දෙස බලන්න. පසුව, ඔබගේ හුස්ම වෙත හැරී එන්න.

අලස බව : ථිනමිද්ධ

නිදිකිරා වැටීමේ සිට සම්පූර්ණ අලස බව දක්වා දිවෙන විවිධ වර්ගයේ හා මට්ටමේ අලස බව ඇතිවිය හැකියි. අප මෙහි දී කථා කරන්නේ මානසික ස්වභාවයන් ගැන මිස ශාරීරික ස්වභාවයක් පිළිබඳ ව නොවේ. නිදිමත හෝ ශාරීරික වෙහෙස හෝ මීට ඉඳුරා ම වෙනස් වන අතර, බෞද්ධ දර්ශනයට අනුව එය ශාරීරික ස්වභාවයක් ලෙස වර්ගීකරණය කරයි. අමිහිරි කරුණු මඟහැරීම සඳහා සිත භාවිත කරන ඥානවන්ත ක්‍රමයක් වන මානසික අලස බව, ද්වේශය සමඟ සමීප ව බැඳී ඇත. අලස බව, සංවේදීතාව හා දැනීමේ සියුම් බව මොට කිරීමකි. මානසික යාන්ත්‍රණය වසා දැමීමකි. නිදා සිටිනවා මෙන් හඟවන මෙය, ආරූඪ කර ගත් මෝඩ බවකි. මෙය පැවතීම සිහිය පිහිටුවා ගැනීමට ඍජුව ම විරුද්ධ බැවින් මෙය හසුරුවා ගැනීම දුෂ්කර කටයුත්තකි. අලස බව ඍජුව ම සිහියෙන් සිටීමේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය යි. කෙසේ වෙතත් මෙම බාධාව සඳහා පිළියම ද, එළැඹි සිහිය ඇති කර ගැනීමයි. ගනුදෙනු කිරීම ද එසේම යි.

මීළඟ කොටස වප් පුර අටවක (29) පෝදා අන්තර්ජාල කලාපයේ

බිනර අමාවක

සැප්තැම්බර් 21 ඉරිදා පූ.භා. 00.21 අමාවක ලබා 22 සඳුදා
පූ.භා. 01.27න් ගෙවේ.
21 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 

First Quarterපුර අටවක

සැප්තැම්බර් 29   

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 13  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]