ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය
ශාස්ත්‍රපති
බලංගොඩ රාධ හිමි
තුන් ලොවක් දිනූ අසහාය ධර්ම රාජයාණන් වහන්සේ, අපගේ තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා
කොට වදාරනවා,
“ඒක පුග්ගලො භික්ඛවේ ලෝකේ
උප්පජ්ජ
මානො උප්පජ්ජති අච්චරිය
මනුස්සෝ....”
මහණෙනි, මේ ලෝකයට කලාතුරකින් පහළ වන උතුමන් වහන්සේ නමක් ඉන්නවා. ඒ උතුමන් වහන්සේ
ආශ්චර්ය මනුස්ස රත්නයක්. ඒ ආශ්චර්ය මනුෂ්‍ය රත්නය දුර්ලභවයි පහළවෙන්නේ. කප් සුවහස්
ගණනක් ඇවෑමෙන්. කවුද ඒ ආශ්චර්යවත් උතුමන් වහන්සේ, තථාගත වූ, දසබලධාරි වූ, අරහං
ගුණයෙන් යුතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ.
පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ගැන කියා දෙන්න. බුදුරජාණන් වහන්සේ කෙනකු ම හැර මේ
ලෝකේ සුදුසු කෙනෙක් නෑ. බුදුරජාණන් වහන්සේ වදාරනවා ‘තථාගතයන් වහන්සේ අසිරිමත්
මනුෂ්‍ය රත්නයක්. කලාතුරකින් මිනිස් ලොව පහළවන”
ඇයි ඒ අසිරිමත් මනුෂ්‍ය රත්නය කලාතුරකින් පහළ වන්නේ. ඇයි අසිරිමත් වන්නේ.
බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යවත් චරිතාපදානය දන්නෝ ඒ ප්‍රශ්නයට පිළිතුර මනාව දන්නවා.
සිතනවා නම් සිත නිවෙන එකම දේ බුදුගුණය පමණයි. ඇසුවොත් හදවත නිවෙන එකම දේ බුදුගුණය
පමණයි. මෙනෙහි කරන්න, මෙනෙහි කරන්න සිත පහන්වන අමාව බුදුගුණය පමණයි. බුදුරජාණන්
වහන්සේ ඒ සා අනන්ත ගුණ මිහිරකින් යුක්තවයි ලොව සුවපත් කරන්නට ඉතිහාසයේ දවසක ලෝකයට
පහළ වුණේ.
පින්වතුනි, අපිත් මනුස්ස ලෝකයේ ඉපදුණා. ඒ භාග්‍යවතුන් වහන්සේත් මනුස්ස ලෝකයේ
ඉපදුණා. ඒත් ඔබ, මා සාමාන්‍ය මනුෂ්‍යයෝ. ඔබගෙයි, මගෙයි ජීවිතයට ආශ්චර්ය ජීවිතයක්
කියන්නේ නෑ. ඒ තථාගතයන් වහන්සේගේ ජීවිතය ආශ්චර්යවත් ජීවිතයක්. ආශ්චර්යවත් සම්බුදු
සිරිත ම ආශ්චර්යවත්. සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයක් මතු නොවෙයි. විසි අසංඛ්‍යය කල්ප
ලක්ෂයකට ඈත සසරෙහි එන ගමනේ නෞකාව මහ මුහුදේ දී සුනුවිසුණු වී ගිය වෙලාවේ තම
මවුතුමියට ජීවිතය පූජා කරලා, තෙරක් ඉමක් නොපෙනෙන අපාර මහා සාගරයේ මවුතුමිය කරපිට
තබාගෙන, යන දිශානතියක් නොදැන, එහෙත් වීරිය බලයෙන් සත් දවසක් නිරාහාර ව, පැන් පොදක්
නොලබා මහ සයුර තරණය කරන්නට කාටද පුළුවන්. ඒ දේ කරන්න පුළුවන් වුණේ අප සරණ ගිය
බුදුරජාණන් වහන්සේට. ඒ නිසා ම අච්චරිය මනුස්සෝ කියනවා.
උන්වහන්සේ එදා ඒ සාගර වෙරළේ දී මා වන් වීර කුමරුවකු තනිව ම මේ දුක් සයුරෙන් එතෙර
නොවිය යුතුයි. ජල සාගරය තරණය කොට මගේ මවුතුමියට දිවි දුන් පින් බලයත්, වීරිය බලයත්
හේතු කරගෙන මම මතු යම් දිනෙක ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පත් වෙනවා කියලා අධිෂ්ඨාන
පිහිටෙව්වා. සැබැවින් ම ආශ්චර්යවත් මනුෂ්‍යයෙක්. උතුමන් වහන්සේ නමක්. එදා උන්වහන්සේ
හිතනවා මම කෙසේ හෝ මේ දුකෙන් එතෙර වෙනවා ම යි. මම දුකින් එතෙර වෙලා ලෝ සතුන් දුකින්
අත්මුදවනවා. මොකක්ද ඒ දුක. නැවත නැවත ඉපදීම. නැවත නැවත ජරාවට පත්වීම. නැවත නැවත මිය
යෑම. සතර අපායේ වැටෙන්නට සිදුවීම. දුගතියේ අනේක වාරයක් ඉපදීමට සිදුවීම. බෙලිකැපුම්
කන වාරවලට මුහුණ දීමට සිදුවීම. රුහිරු ධාරා ගලා හැලෙමින් අනේක දුක් විඳින සසර ගමනකට
වැටී තිබීම මැයි මේ දුක. මේ අනන්ත දුකේ ඉමක්, කොනක් නෑ. ඒ අනන්ත දුකෙන් පළමු කොට මා
අත්මිදී ලොවක් සුවපත් කරනවා කියන පින්බර සිතිවිල්ලෙන් යුතු ඒ මහ බෝසත් කුමරුගේ
අධිෂ්ඨාන ශක්තිය මල්පල ගැන්වුණා. අපට අද කතා කරන්නට ගෞතම නම් ලොව්තුරා බුදුරජාණන්
වහන්සේ වැඩ ඉන්නවා.
පින්වත් හැම දෙනාම ලෝකයේ කුමන දිශාවක සිටියත් ඒ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත්
චරිතාපදානයෙහි සිත නතර කර ගන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන මෙනෙහි කරන කොට
ඔබට වැටහෙයි. සැබැවින් ම ආශ්චර්යවත් උතුමන් වහන්සේ නමක් අප සරණ ගිහින් තියෙන්නේ
කියලා.
සාරා සංඛ්‍යයකල්ප ලක්ෂයක් පාරමි, උපපාරමි, පරමත්ථ පාරමී පුරමින් අභීත ගමනක් වැඩම කළ
හැටි සිහිපත් කරන්න. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ශ්‍රී ලබා ගෙන
මතු යම් දිනෙක මමත් ලොවක් සනසා නිවි සැනසෙනවා කියන පිවිතුරු පැතුමෙන් එක බණ පදයක්
අහලා සසර දුකින් අත් මිදෙන්නට, මහ රහත්භාවයට පත් වෙන්නට තරම් පින තිබිය දී නැවත
වතාවක් බිහිසුණු දුකින් ගැවසී ගත් මේ සසරට පැමිණි හැටි සිහිපත් කරන්න. එහෙම සිහිපත්
කරන කොට ඒ බුදුරජාණන් වහන්සේ ගැන ඔබේ හදවතේ පුදුමාකාර ආදරයක්, සෙනෙහසක්, ගෞරවයක්,
භක්තියක්, ශ්‍රද්ධාවක් ඇතිවෙනවා.
‘යේ කේචි බුද්ධං සරණං ගතාසේ’ එබඳු මෛත්‍රියකින් බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක්
මරණින් මතු දුගතියේ වැටෙන්නේ නෑ. මෙලොව දී හෝ පරලොව දී හෝ ඉක්මනින් ම සසර ගමන නිමා
කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා.
පින්වතුනි, සිහි කරන්න. එදා දීපංකර පාද මූලයේ පටන් තුසිත දිව්‍යලෝකයට වැඩිය ජීවිතය
දක්වා ම ඉමක් නැතිව, කොනක් නැතිව අනන්ත දුක් වින්දා. ඒවා සාමාන්‍ය කෙනකුට කරන්නට
නොහැකියි.
සාගරයේ ජලය පරදා ලේ දන් දුන්නා. එය ඔබට බැරි වුණා. මට බැරි වුණා. අච්චරිය මනුස්ස වූ
බුදුරජාණන් වහන්සේ පමණයි මහ සයුර පරදා ලේ දන් දුන්නේ. මහ පොළොවේ පස් පරයා ශරීර මාංශ
දන් දුන්නේ. හිස් අහසේ තරු කැට පරයා දිදුලන නෙතු සඟල දන් දුන්නේ. ඔටුනු පලන්
රාජ්‍යය දන් දුන් වාර අනන්තයි. වෙසතුරු ආත්ම භවයේ පමණක් නොවෙයි, ජාලිය ක්‍රිෂ්ණජිනා
දන් දුන්නේ. මද්‍රිදේවිය දන් දුන්නේ. සප්ත සතික මහා දන් පැවැත්වුණු ඉමක් නැති,
කොනක් නැති සසර ගමනේ අනන්ත ජාතිවල, අනන්ත කැප කිරීම් කළේ මහ බෝසතාණන් වහන්සේ ඔබ මා
වෙනුවෙන් ම යි. එනිසා ම යි අච්චරිය මනුස්සෝ කියන්නේ. |