සිත බලවත් නම් පිනත් බලවත්
මේ දීර්ඝ සසර ගමනේ යන අපට බුදු සසුනක් මුණ ගැසෙන්නේ ඉතාමත් කලාතුරකින්, ඉතාමත්
දුර්ලභව යි. බුදු සසුනක් මුණ ගැසුණත් එයින් ප්‍රයෝජන ගන්නේ ඉතාම සුළු පිරිසක්.
මෙවන් දුක්ඛිත සසරක ගමන් කරන අපට බණ පදයක් අසන්නට ලැබිලා, ඒ අනුව ජීවිතය සුවපත් කර
ගන්නට ලැබුණොත් එය කෙ තරම් අසිරියක් ද?
නගරයේ ජීවත් වුවත්, ගමක ජීවත් වුවත්, සෑම දිනක ම ධර්මය ඇසුවත්, ධර්මය ඇසුවේ නැතත්,
දුප්පත් වුවත්, පොහොසත් වුවත්, අප හැමෝට ම තිබෙන ප්‍රශ්න එකයි. ගම, නගරය, ස්ත්‍රී
පුරුෂ, ළඟ, දුර මේ සියලු ම දෙනාට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය දුක කියන දේ යි. සියලු ම
දෙනාට තිබෙන දුක දුක ම යි. එනිසා අකාලික වූ දහමක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට
වදාළා. ඒ දහමින් පිහිට පිළිසරණ හදා ගන්නට තම තමන් වෙන් වෙන් ව කටයුතු කළ යුතු
වෙනවා.
අප මේ මනුස්ස ලෝකයේ ජීවත් වෙද්දී අපට විවිධ දුක් කරදර පීඩාවලට මුහුණ දෙන්න වෙනවා.
පෙර ජීවිතවල දී අපි සිතෙන්, කයින් සහ වචනයෙන් කල අයහපත් දේ නිසා සකස් වූ කර්මය අනුව
ප්‍රශ්නය එකිනෙකාට වෙනස් ආකාරයට බලපානවා. මේ ලෝක සත්වයා මේ සංසාරයේ ගමන් කරන්නේ
කර්මයෙන් බැටකමින්. ගේ දොර ප්‍රශ්න, රැකියා ස්ථානයේ ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න මේ
ආදී අනේකවිධ ආකාරයේ ප්‍රශ්න අපට විවිධ ස්වරූපයෙන් මුණගැසෙනවා.
ඇතැම් විට අප සසරේ නොයෙක් ආකාරයෙන් පින්කම් ද කරනවා. ඒවාත් නො නැවති අප පසුපස එනවා.
එදිනෙදා ජීවිතයේ දී අප විසින් කරගත් කුඩා පිනක් වුවත් කවදාවත් ම ඒ ගැන අවමානයෙන්
සිතන්න එපා. මේක පොඩි පිනක් නේ කියා අවතක්සේරු කර ගන්නත් එපා. වතුර බිංදුව බිංදුව
එක් වෙලා කළයක් පිරෙනවා.
ඒ වගේම නුවණැත්තා සිතේ වටිනාකම දැනගෙන ජීවිතය ද පිනෙන් පුරවා ගන්නවා ම යි. කල්‍යාණ
මිත්‍ර ඇසුරක් ලැබුණු මොහොතේ දී හදවතක රැව් දිය යුතු වටිනා ම දේ තමා පින් කර ගැනීම.
මේ ගෙවී යන්නේ මට පින් කර ගැනීමට තිබෙන කාලය යි. අද මේ මොහොතේ යම් කාලයක් අහිමි
වුණි ද එසේ අහිමි වූයේ ද මට යම් පිනක් කුසලයක් කර ගන්නට තිබූ කාලය යි. මගේ ජීවිතයේ
දැන් මේ වන විට මෙ තරම් කාලයක් ගත වෙලා ගිහිල්ලා. ඒ කාලයට ගැළපෙන සේ පිනක් ජීවිතයට
එකතු කරගෙන තිබෙනවා ද කියා ඔබ ම සිතන්න.
තමන්ගේ සිත බලවත් නම් පින ගොඩාක් බලවත්. සිත දුර්වල නම් පිනත් දුර්වල යි. සිත
ගොඩාක් ලස්සන නම්, කරන පිනත් ලස්සන යි. පින සුන්දර වෙන්නේ බාහිර සැරසිලිවලින්
නොවෙයි. පින සුන්දර වෙන්නේ ඒ පින කිරීමට ඒකරාශී වූ පිරිසේ ප්‍රමාණය අනුවත් නොවේ.
පිනක් සුන්දර වන්නේ පින්කමට වියදම් වූ මුදලේ ප්‍රමාණය අනුවත් නොවේ. පිනක් බලවත්
වීමට ප්‍රධාන හේතුව වන්නේ පින් සිත බලවත් විමයි.
බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, මේ ලෝකයේ යම්තාක් කුසල් තිබෙනවා ද ඒ සියලු කුසල්
මුලින්ම හට ගන්නේ සිතෙහි යි. ඉන්පසුව තමයි එය කයින්, වචනයෙන්, ක්‍රියාත්මක වන්නේ.
අපි වචන කතා නොකරපු ඕන තරම් අවස්ථා ඇති. ලෙඩක් වූ විට, උගුරේ අමාරුව, දතේ අමාරුව
හැදුන විට, දුක හිතුනා ම, තරහ ආ විට අපි කතා කරන එක අතහරිනවා. ඒ වගේම කයින් ක්‍රියා
නො කරපු අවස්ථා කොතෙක් ද? එහෙත් සිත එක තැනක නතර කරගෙන සිතිවිලි නො සිතා සිටි
අවස්ථා ලෙහෙසියෙන් සොයා ගන්නට බැහැ. අපි කයින් ක්‍රියා නො කළත්, වචනයෙන් කතා
නොකළත්, මේ සිත සිතිවිලි සමුදායක පැටලී තිබෙන්නේ. සිතිවිලි ගොන්නක පැටලී යන ජීවිතයේ
නතරවීමක් ද අපේක්ෂා කළ නොහැකියි.
එනිසා තවම අප මනුෂ්‍ය ලෝකයේ ආයුෂ විඳිනවා. මේ කාලයේ බලවත් සිතකින් බලවත් පින් කර
ගන්නට අපි වීර්යය කරන්න ඕන. පහනක් දැල් වී එළිය තිබෙනවා. යම් මොහොතක පහන නිවෙනවා ද
එළිය අහිමි වෙනවා. අතු පතුර විහිඳුවා රූක්ෂ ගසක් සෙවණ ලබා දෙනවා. යම් මොහොතක ගස
කඩාගෙන වැටෙනවා ද සෙවණ අහිමි වෙනවා. එනිසා වේගයෙන් ගෙවී යන මේ කාලයෙන් නිසි
ප්‍රයෝජන ලබා ගැනීමට බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයාට හැකියාවක් තිබිය යුතු ම
වෙනවා.
එනිසා අප සිහි කළ යුතු වෙනවා මේ දුර්ලභ ව ලැබුණ මනුස්ස ජීවිතය තුළ පිනක් බලවත්
වෙන්නේ සිත බලවත් නම් පමණක් බව. පිනක් සුන්දර වෙන්නේ සිතත් සුන්දර නම් පමණයි. පිනක්
හැඩ වෙන්නේ සිත හැඩ නම් පමණයි.
බුදු සසුනත්, මිනිස් ජීවිතයත්, සිතීමේ නුවණත් ලැබූ අප කෙ තරම් වාසනාවන්තයෝ ද? ඒ
වාසනාවෙන් ප්‍රයෝජන ගැනීමට කුඩා කාලයේ සිට හුරුවීම සහ හුරු කරවීම තම තමාගේ පින මත
පවතින දෙයක්.
- නයනා නිල්මිණී |