සියදිවි නසා ගැනීම බරපතළ පාපයකි

සියදිවි නසා ගැනීම බරපතළ පාපයකි

වර්තමාන යුගයෙහි සමාජ අර්බුදයක් බවට පත්වූ ආත්ම ඝාතනය හෙවත් සියදිවි තොර කර ගැනීම මානව සංහතියට පමණක් සීමා නොවේ.

සකලවිධ සත්ත්වයාට පොදු මානසික ඌනතාවක් වූ දිවිනසා ගැනීමේ ඉතිහාසය සත්ත්ව සංහතියේ ආරම්භය තෙක් දිවයන්නකි. සිතුම් පැතුම් අනුව යමක් ඉටු නොවීම හා ඉටු කර ගැනීමට නොහැකිවීම ආදී වශයෙන් විවිධාකාරයෙන් මිනිස් සිතට ඇති වන බලවත් චිත්ත පීඩා සමනය කර ගැනීමට අපහසු වූ කෙනෙක් මෙම ක්‍රියා මාර්ගයට අවතීර්ණ වෙයි. කෙනෙක් දේශානුරාගය, ජාත්‍යාලය, ආගමාලය වැනි විවිධ උදාර පරමාර්ථ පෙරදැරි ව ජීවිත පූජා කරයි.

පැරැණි ගී‍්‍රක රෝම ශිෂ්ටාචාරවල සියදිවි නසාගැනීම එක්තරා යුගයක ප්‍රශංසනීය ලෙස පිළිගත් අතර, තවත් වරෙක නින්දනීය ක්‍රියාවක් ලෙස පිළිගත් බව පෙනේ. මේ නිසා ආගමික, දාර්ශනික, සමාජවිද්‍යාත්මක හා මනෝ වි්‍යාත්මක දෘෂ්ටි කෝණ අනුව විවිධ විග්‍රහ හා චින්තාවලි, සියදිවි නසා ගැනීමේ විෂයයෙහි දක්නට ලැබේ. හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් ආදී සෑම ප්‍රමුඛ ආගමක ම නිග්‍රහ කළ යුතු ක්‍රියාවක් වශයෙන් පොදුවේ සැලකේ. එහෙත් ස්වධර්ම වෙනුවෙන් ආත්ම ඝාතනය පවා පාපයක් නොවන බව භගවත්ගීතාව, මහාභාරතය වැනි හින්දුන්ගේ වීර කාව්‍යවල සඳහන් වේ. ක්‍රිස්තියානි බයිබලයේත්, කුරාණයේත් ස්වධර්ම උදෙසා දිවි තොර කර ගැනීම් පිළිබඳ ඉගැන්වීම් පාපයක් නොවන සේ හැඳින්වේ.

ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයට අනුව ද සියදිවි නසා ගැනීමට තැත් කිරීම සාපරාධී වරදකි. විනයෙහි ආත්ම ඝාතනය, මනුස්ස විග්ගහ පාරාජිකා තත්ත්වයට පත්වීමට හේතු නූවත් දුකුළා ඇවැතට පත්වේ. මහාවංසය වැනි ඇතැම් පාලි සාහිත්‍ය ග්‍රන්ථාගත තොරතුරු අනුව ආචාර විද්‍යාත්මක ලෙස ඝාතනයේ යම් සාධාරණීකරණයක් සිදුකොට ඇත. කෙසේ වෙතත් බුදුදහම අනුව සියදිවි නසා ගැනීමේ කුසලාකුසල විනිශ්චය කර ගැනීම වැදගත්. දිවිතොර කර ගැනීම සමස්තයක් වශයෙන් සලකන විට ඒවා කොටස් තුනකට වර්ග කළ හැකි ය. එනම්,

1. ඉච්ඡාභංගත්වය මත සියදිවි තොර කර ගැනීම,

පරහිතකාමිත්වය මත සියදිවි තොර කර ගැනීම,

උදාරාධ්‍යාශය මත සියදිවි තොර කර ගැනීම යනුවෙනි.

සිතන පතන ආකාරයෙන් යමක් ඉෂ්ට නොවීම ඉච්ඡාභංගත්වය වශයෙන් වර්ග කොට ඇත. පේ‍්‍රම සම්බන්ධතා බිඳවැටීම, ණය තුරුස්වීම නිසා පොරොන්දු ඉටුකිරීමට නොහැකිවීම, ලජ්ජාභය, අපවාද, ඉවසිය නොහැකි වේදනා ආදී විවිධ හේතු පදනම් කොට සිදුකරනු ලබන ආත්ම ඝාතන පළමු ගණයට අයත් වේ. මේ ගණයේ සියදිවි නසා ගැනීම ලොව බහුල වශයෙන් ප්‍රචලිතයි.

දෙවැනි වර්ගයට එනම්, පරහිතකාමීත්වයට අයත් වන්නේ ස්වධර්ම හෙවත් ජාති, ආගම්, කුල, ගෝත්‍ර, ජාතික උරුමයන් වැනි හේතුන් මත සිදුකරනු ලබන දිවිනසා ගැනීම් ය. තමා විසින් කාලාන්තරයක් තිස්සේ ගොඩනඟා ගන්නා ලද ආත්මීය විශ්වාස හෝ අනුන්ගේ පෙළඹවීම් මත හෝ ගොඩනඟාගත් විශ්වාස මත පරහිතකාමී දිවිනසා ගැනීම් සිදුවේ.

තෙවැනි කොටස ඉහත කොටස් දෙකට ම වඩා හාත්පසින් වෙනස් ය. ඉච්ඡාභංගත්වය හා පරහිතකාමී ආත්ම ඝාතන ආගම්, විශ්වාස හා ආත්මීය සංතාප හේතුකොට ඕනෑම සමාජයක සිදුවිය හැකි ය. එහෙත් උතුම් පරමාර්ථ හෙවත් සාංසාරික විමුක්තිය උදෙසා ආත්ම ඝාතන බුදුදහමෙහි දක්නට ලැබෙන අසාධාරණ න්‍යායකි. ජාතක පාලියේ සස ජාතකය, මජ්ක්‍ධිම නිකායේ ජන්නෝවාද සූත්‍රය, සංයුක්ත නිකායේ ගෝධික හා වක්කලී සූත්‍ර ආදී තැන් මේ අදහස සඳහා මූලාශ්‍ර සාධකයෝ වෙති. බෝසතාණන් වහන්සේ විවිධ ආත්මභාවයන්හි දී පරමාර්ථ පාරමී පූරණය සඳහා දිවි තොර කරගත් ප්‍රවෘත්ති ථෙරවාද, මහායාන දෙකොටසෙහි ම අන්තර්ගතවේ. එම නිසා සාංසාරික විමුක්තිය උදෙසා සිදුවූ ආත්ම ඝාතනයන් උදරාධ්‍යාශය මත සියදිවි හානිකර ගැනීම වශයෙන් වර්ග කොට ඇත. මෙබඳු අවස්ථා නිගමනය කිරීමට ඉවහල් වන ප්‍රමුඛ බෞද්ධ න්‍යායාත්මක පදනම් තුනක් පෙන්වාදිය හැකි ය.

1. හේතු විග්‍රහකොට බැලීම

2. ක්‍රියාඵලය විග්‍රහ කර බැලීම

3. කුසලාකුසල ප්‍රවණතා විග්‍රහ කොට බැලීම

යම් ක්‍රියාවක් ලෝභ, ද්වේස, මෝහ යන අකුසල මුල් පෙරටුව සිදු කෙරේ නම් එය අකුසලයකි. නිදසුනක් වශයෙන් යම් තරුණයකු හා තරුණියක අතර පේ‍්‍රම සම්බන්ධතාවක් පවතියි. එයට දෙපාර්ශ්වයේ ම මවුපියෝ හෝ එක් පාර්ශ්වයක මවුපියෝ හෝ විරුද්ධ වෙති. විරෝධී පාර්ශ්වයේ තරුණයා හෝ තරුණිය පාඩමක් ඉගැන්වීමට යැයි සිතා වරදවා පිහිටුවා ගත් සිතින් වස පානය කොට සියදිවි නසා ගනියි. මේ සිද්ධිය විභාග කොට බැලීමේ දී තරුණිය ලබා ගැනීමට තරුණයා හෝ තරුණයා ලබා ගැනීමට තරුණිය හෝ වශයෙන් ඔවුනොවුන් ලබා ගැනීමට හේතු වූයේ දැඩි රාගය හෙවත් පේ‍්‍රමයයි. එය ලෝභයයි. මවුපියන්ගේ විරෝධය නිසා ද්වේශ සහගත සිත් උපදවා ඇත. එය සමාජගත කිරීමට ගත් උත්සාහය මුළාවකි. මේ අනුව මෙය අකුසලයක් වශයෙන් තීරණය කිරීමට හැකි ය.

11 වැනි ක්‍රමය නම් ක්‍රියාඵලය විග්‍රහ කර බැලීමයි. කුසලාකුසල විනිශ්චය සඳහා විශ්ව සාධාරණ මේ න්‍යාය අනුව බලන විට සියදිවි හානිකර ගැනීම තමාටත් සෙසු පරිවාර ජනයාටත් දුක් පිණිස හේතු වෙයි. එම නිසා එය අකුසලයක්, පාපයක් වශයෙන් තීරණය කිරීම අපහසු නොවේ, එහෙත් ස්වධර්ම මත එනම්, තම රට, ජාතිය,ආගම, සමාජය, උරුමය ආදී පෞද්ගලිකත්වයෙන් තොර පරහිතකාමීත්වය පදනම් කොට ඇතැමෙක් ජීවිත පරිත්‍යාග කරති. එවන් අවස්ථා ඉහත න්‍යායන් අනුව අකුසල සහගතයි. එහෙත් එම ක්‍රියාවන්හි ආචාර විද්‍යාත්මකව පදනමක් මත පිහිටා උසස් මට්ටමකින් සැලකීම සමාජ සම්මත පුරාතන ධර්මතාවයකි. එසේ නොවුණහොත් සමාජ පැවැත්ම සඳහා ගැටලු සහගත තත්ත්වයන් උදාවේ. සමචර්යාව පුරවැසියන්ගේ යුතුකම බව අශෝක ශිලාලේඛනවල පවා සඳහන් වන කරුණකි. ඒ අනුව ස්වධර්ම මත ආත්ම ඝාතනයේ යම් ආචාර විද්‍යාත්මක සාධාරණීකරණයෙන් සිදු කළ හැකි ය. අනික දැඩි රෝගාබාධයකින් පෙළෙන අවස්ථාවක දී යම් භික්ෂුවක් තමාට මෙන් ම උපස්ථායක පිරිසට ද වන දැඩි අපහසුතා සලකා උපක්‍රමශීලී ව දිවිතොර කර ගැනීම අවැතකට හේතු නොවන බව විනයට්ඨකතාවේ සඳහන් ය. එනම්

“යම් භික්ෂුවක් මහත් ආබාධයකින් දිගු කලක් තිස්සේ පෙළෙයි ද, උපස්ථාන කරණ භික්ෂූහු වෙහෙසත් ද, පිළිකුල් කෙරෙත් ද, කවදා වනාහි ගිලනාගෙන් මිදෙන්නෙමු දැයි පෙළෙත් ද. එකල ඒ භික්ෂුව තමා පිළිදැහම් කරුනූු ලබන්නේ ද නොසුවවන්නේ ය. භික්ෂූහු ද වෙහෙසෙතියි සිතා ආහාර නොගෙන, බෙහෙත් නොගෙන සිටීම වරදක් නැත. යමෙක් වනාහි “මේ රෝගය ක්‍රෑරය, ආයු සංස්කාරයෝ නොපවතියි. මේ විශේෂාධිගමය ද, යම් විශේෂාධිගමය ද අතට පැමිණියාක් මෙන් පෙනෙන්නේ යැයි ආහාර වළකා ද, එය ද වටියි. උපන් සංවේගය ඇති නොගිලන් වූවහුට ද ආහාර සෙවීම ප්‍රමාදයකි. කමටහන්හි ම යෙදෙන්නෙමියි කර්මස්ථාන මුඛයෙන් ආහාර වළකා සිටීම වරදක් නොවේ.”

මේ අනුව පැහැදිලි වන්නේ ආචාරවිද්‍යාත්මක පසුබිමක පිහිටා අටුවාවේ ආත්ම ඝාතනය සාධාරණීය කරණය කොට ඇති බවයි. හුදෙක් විනය, විනයේ ස්වභාවය කුසලා කුසල විග්‍රහයන්ට වඩා සංස්ථිතික විග්‍රහයක් දැක්වීමයි. එහෙත් අකුසල මූලධර්ම පදනමින් බලන කල චිත්ත පරම්පරාව අකුසල පරිණාමීය සාධක මත සිදුවන හෙයින් මෙවන් අවස්ථාවලදී දිවි නසා ගැනීම ද අකුසලයකි.

මෙම ලිපියේ ඉතිරි කොට පොසොන් පුර අටවක (03) පෝදා පත්‍රයේ පළවේ.

රත්මලාන ධර්මපර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

වෙසක් අමාවක

මැයි 26 සඳුදා අ.භා 12.14
 අමාවක ලබා 27 අඟහරුවාදා පූ.භා 08.35න් ගෙවේ.
26 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 26

First Quarterපුර අටවක

ජුනි 03 

Full Moonපසළොස්වක

ජුනි 10

Second Quarterඅව අටවක

ජුනි 18 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]