වෙසක් අමාවක පෝ
දා 2025-05-26
සැප දුක සමව පිළිගැනීම
තථාගතයන් වහන්සේ එක් කලෙක වේරඤ්ජ නම්
බමුණකුගේ ආරාධනාවෙන් පන්සියයක් භික්ෂූන් වහන්සේ සමඟ
වේරඤ්ජාවෙහි වස් විසූහ. එහෙත් මේ බමුණා මාරාවේශ වූයේ සිහි මුලා
වූ හෙයින් ඔහුට බුදුරජාණන් වහන්සේ අමතක විය. භික්ෂූන් වහන්සේ
පිඬු සිඟා ගිය ද කිසිදු පිණ්ඩපාතයක් නොලැබුණි. උන්වහන්සේ ඉතා
වෙහෙසට පත් වුණි.
මේ අතර අසුන් වෙළෙඳාමට වේරඤ්ජාවට පැමිණි
වෙළෙන්දෝ පිරිසක් එක් නමකට එක් දිනකට යවහාල් නැලිය බැගින් පූජා
කළහ. වෙහෙසට පැමිණි භික්ෂූන් වහන්සේ දුටු මුගලන් මහ රහතන්
වහන්සේ තමන් වහන්සේගේ ආනුභාවයෙන් උන්වහන්සේ උතුරුකුරු දිවයිනට
රැගෙන යාමට උත්සාහ කළහ. එහෙත් බුදුරජාණන් වහන්සේ ඊට අකැමැති
වූහ. වස් තෙමස එහි වැඩ සිට වස් පැවැරුමෙන් පසු සැවැත් නුවරට
වැඩම කළහ.
සැවැත් නුවර සැදැහැවත්හු උන්වහන්සේට දානය
පිළිගැන්වූහ. මෙකල සිඟන්නන් පන්සියය දෙනෙක් ද ඒ අසල වාසය කළහ.
භික්ෂූන් වහන්සේ වළඳා ඉතිරි මිහිරි ආහාර කා බී සතුටු වූහ. කෑ
කෝ ගසමින් කල් ගෙවූහ.
මේ පිළිබඳ දම් සභා මණ්ඩපයෙහි සාකච්ඡාවට
බඳුන් වුණි. මේ සිඟන්නෝ කෑමට කිසි දෙයක් නැති කල වේරඤ්ජාවේ දී
නිහඬව සිටියහ. එකද නොපණත්කමක් හෝ නොකළහ. දැන් අසංවර ය. එහෙත්
භික්ෂූන් වහන්සේ ආහාරපාන නැති වේරඤ්ජාවේ දී ද ශාන්තව වැඩ
සිටියහ. හොඳින් දානය ලැබෙන මෙහි ඊටත් වඩා හොඳින් ශාන්ත ව වැඩ
සිටිති යනුවෙනි.
මේ කතාව ඇසූ බුදුරජාණන් වහන්සේ මේ
සිඟන්නන්ගේ පෙර ආත්මයක කතාව දේශනා කොට වදාළහ. ඒ අනුව පෙර
ආත්මයක මොවුහු කෙටලුවන් ව ඉපදුණහ. එක් දවසක අශ්වයන්ට බීමට දීමට
පිළියෙළ කළ මිදි රොඩු සෝදා හැදූ වාලොදක නම් කිසිදු රසයක් නැති
වතුර බී කෑ කෝ ගසමින් හැසිරුණහ.
මෙසේ දේශනා කොට වදාළ තථාගතයන් වහන්සේ
සත්පුරුෂ පුද්ගලයා සැපයෙහි දී ද, දුකෙහි දී ද උස් පහත් ගති
කිසිවක් නොදක්වන බව දේශනා කොට වදාළහ.
මේ උතුම් පණිවිඩය තිසරණ සරණ ගිය අපගේ
ජීවිතයට ලබා දෙන ඔවදන මාහැඟි ය. බොහෝ දෙනෙක් තමන්ට දුකක්,
විපතක් පැමිණි කල බොහෝ කනගාටුවට පත් ව සිහි මුලා වෙති. කළ යුතු
දේ නොකළ යුතු දේ නොදැන තව තවත් ගැටලුවලට මුහුණ දෙති. එක්කෝ
ප්‍රශ්නවලින් පැන යාමට උත්සාහ කරති. එසේත් නැති නම් හොඳ නරක
නොබලා ප්‍රශ්නවලට විසඳුම් සොයති. එය දෙලොවට ම ගෙන දෙන්නේ අවැඩ
ය.
තවත් කෙනෙක් ධනයෙන්, බලයෙන්, නිලයෙන් අන්ධ ව
කටයුතු කරති. හොඳ නරක නොවිමසා සතුටු වෙති. නොමනා ක්‍රියා
කාරකම්හි යෙදෙති. ඒ තුළ තමන්ට සේ ම අනුන්ට ද අනර්ථ සිදු කර
ගනිති.
මෙවැනි පුද්ගලයින් නිසා සමාජයට සිදුවන
අයහපතෙහි තරම අපි කෙතෙකුත් අත්දකිමු. තමන්ට සිදු කර ගන්නා,
අනර්ථය දකිමු. එහෙයින් සැප හමුවේ ද, දුක හමුවේ ද සම පැවතුම්
ඇති ව ජීවිතයේ යථාර්ථයට ප්‍රඥාවෙන් මුහුණ දිය යුතු ය. දෙලොව ජය
ගත හැකි එවැනි පුද්ගලයාට ය. |