බෞද්ධයකු වීමේ මූලික මැ සුදුසුකම

බෞද්ධයකු වීමේ මූලික මැ සුදුසුකම

බෞද්ධයකු වීමට අවශ්‍ය කැරෙනැ මූලික මැ සුදුසුකම නම් ති - සරණැ සරණ ගත වීම මැ බව සත්‍යයයෙකි.

බෞද්ධයා යනු කවරෙක් ද යන වග කියා දෙනැ සාහිත්‍ය යැයි විග්‍රහ කර කියා දෙන්නේ, “බුද්ධස්ස භාවෝ බෞද්ධං” ලෙසට යැ, හෙවත් අවබෝධයේ පිහිටී ම මැ බෞද්ධකමය යි ලෙස යැ. ඒ බෞද්ධකම සහතික කැරැ ගැනීම සඳහා “ආකාරවතී සද්ධා” මනෝභාවයෙන් සැදී හෙවත් ඇත්ත ඇති සැටියෙන් ම දක්නා පිළිගැනීමෙහි පිහිටා, වාග් ද්වාරයෙනුදු,

බුද්ධං සරණං ගච්ඡාමි,

ධම්මං සරණං ගච්ඡාමි,

සංඝං සරණං ගච්ඡාමි. යි පවසා තෙසරණැ සරණ ගත වීම යි කළැ යුතු ය. මෙහි පැනෙනැ ‘ගච්ඡාමි’ (යමි) යන උත්තම පුරුෂ, ඒකවචන, වර්තමාන කාල, කර්තෘකාරක ආඛ්‍යාතයයෙහි පූර්ණ අධිකාරිත්වය ඇත්තේ ‘මට යැ. ඒ නිසා ඒ සරණ යෑමෙහි අධ්‍යහාර කර්තෘවරයා ‘මම’ යැ. ඒ අධිකාරිත්වයට අනුගත වැ, තෙ - සරණැ සරණ ගතවීම කළ හැකි ක්‍රම විධි හතරෙකි. එ නම්,

* පණිපාත සරණාගමනය වැඳුම් - පිදුම් මතින් පමණක් සරණ ගත වීම

* සිස්සභාවෝපගත සරණාගමනය තමා හික්මෙනා තැනැ පිහිටා සරණ ගත වීම.

* තප්පරායනතා සරණාගමනය සරණ තම පණ ලෙස සලකා සරණ ගත වීම.

* ආත්මසන්නීයාතන ජීවිත පරියෝසාන සරණාගමනය.

තම ජීවිතය දෙවැනි තැනැ ලා සරණ ගත වීම ලෙස යැ.

මේ සතරාකාර ක්‍රමෝපායයන් අතරින්, කවර ක්‍රමෝපායයෙකින් වුව සරණැ ගත වනුයේ, බුදු සරණ ය, දම් සරණය, සඟ සරණ ය. ඒ මිස අනෙක් සරණයෙක් නොවේ.

එසේ ම සංඛ්‍යාත්මක වැ. තෙ - සරණයෙහි පිහිටීමෙන් සරණ බිඳීමෙකුදු සිදු නොවේ. මක් නිසාද යත්, මෙකී බුද්ධ, ධම්ම, සංඝ යනැ තෙ සරණයෙහි අනුපූරක ඒකාබද්ධතාවෙක් ඇතියෙනි. ඒ එසේ නමුත්, බුද්ධ, ධම්ම, සංඝ යනු කවරේ දැ යි දැනැ ගැනීම බෞද්ධයකු වීමට වුවමනා කැරෙනැ මූලික මැ සාධකයෙකි. වුවමනාවෙකි. ඒ මූලික සාධකය සපුරාගත් කලැ තෙ - සරණය දැනැ ගැනීම, තෙ - සරණය සරණ ගතවීම සඵලදායක මැ යැ. ඒ නිර්වාණගාමී ප්‍රතිපදා මාර්ගයෙහි මූලික මැ දොරටුව සේ මැ ඒකීය මැ දොරටුව නිසා අපි ඒ තෙ සරණය මොනවා දැ? යි විමසා බලමු.

අප මාතෘකාව වූ තෙ - සරණයයෙහි ඇතුළත් පළමු හෙවත් මූලික සරණය ‘බුදු සරණ යි’, බුදුරජාණන් යනු කවුද? කුමක් ද? යන්නැ විමසා බැලීම ඉතා වැදගත් යැ. ‘බෝධ’ ධාතුයෙන් සිද්ධ ‘බුද්ධ’ යනැ කෘදන්ත නාම පදයෙහි අර්ථය ‘අවබෝධය’යි. ඒ අවබෝධයේ පරිසමාප්තියට සැපත් නිසා මැ තථාගතයන් වහන්සේ විෂයයෙහිත් ‘ආධාරාධේය භාවය’ අනුවැ භාවිත පර්යාය නාම පදයෙකි. ‘බුද්ධ’ යන්න. එසේ මැ මේ කෘදන්ත නාම පදය ‘අභේදෝ’පචාර යන වියරණ විධිය අනුගත වැ අවබෝධය ලද හැම දෙනා විෂයයෙහි භාවිත කළැ හැකියැ. ඒ අනුව ‘අවබෝධය ලැබූ තැනැත්තා’ යනැ අර්ථය ප්‍රකාශ කැරෙනැ ‘බුද්ධ’ යන සංඥා නාම පදය භාවිත කැරෙනැ පුද්ගල චරිත තුනක් බෞද්ධ පරිසරයෙහි ප්‍රචලිත චරිත තුනෙකි. ‘තුන්තරා බෝධිය’ යනු ද එය යි. ඒ නම්,

සම්මාසම් බුද්ධ

පච්චේක බුද්ධ

අරහන්ත බුද්ධ

මේ තුන්දෙනා වහන්සේ මැ බෞද්ධ ආධ්‍යාත්මික වර්ග කිරීමේ දී සංශෝධනයකට පත් නො වනැ නිසා හෙවත් කෙලෙසුන් කෙරෙන් සපුරා මැ නිදහස් නිසා ‘අසේඛ’ යනැ නම ලබති. ඉන් ‘සම්මා සම්බුද්ධ’ යනු නිර්වාණගාමී මාර්ගය හෙවත් චතුරාර්ය සත්‍යය දැනැ, (සත්‍යය), දැකැ, (කෘත්‍යය) ක්ෂාක්ෂාත් කැරැගත් (කෘත) උත්තමයාණෝ යැ. ඒ නිසා උන්වහන්සේ අනෙක් කොයි - කා සමඟවත් සමාන නැත. ‘අසම’ යැ. සමාන වෙතොත්, වෙනුයේ උන්වහන්සේ මැ සත්‍යය, කෘත්‍යය, කෘත ලෙස, දුක (දුක්ඛ), දුක ඇතිවීමට හේතුව, (දුක්ඛ සමුදය) දුක නැති කිරීම, (දුක්ඛ නිරෝධ) දුක නැති කිරීමේ මාර්ගය, (දුක්ඛ නිරෝධ පටිපදා මග්ග) යන උතුම් ඇත්ත සතර මැ දැනැ, දැකැ, භාවිත කළ උතුමකුට මැ පමණි. එහෙයින් තථාගතයන් වහන්සේ, ‘අසම සම’ යනැ නම ද ලබති. මේ උතුම් දර්ශන නිසා ම මසැ’සින් දකින කාම ලෝකයත්, දිවැ’සින් දකිනැ මනෝ රූප ලෝකයත්, පැණැ’සින් දක්නා සංඥාමය අරූප ලෝකයත්, විදු ඇසින් දකිනැ ඒ කාම, රූප, අරූප ලෝක ඇතුළු ව ලෝකයෙන් ඉකුත් වූ (ලෝකෝත්තර) බවත් ලැබ ආලෝකයේ රැඳවිගත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සමස්ත තුන් ලොවට මැ එක මැ එක ආධ්‍යාත්මික තත්ත්වයෙකි.

ස්වයං ධෛර්යයෙන්, සත්‍යය අවබෝධයෙන් සැදීගත් නමුදු, එයින් අන්‍යයන් විමුක්ති මාර්ගයෙහි ගමන් කැරැවීමට නුහුණු උත්තමයාණෝ ‘පච්චේක බුද්ධ’ යැ. නිකෙලෙස් යැ. ඒ නිසා උන්වහන්සේ ද ‘අසේඛ වනැ සේක. එහෙත්, ‘සම්මා සම්බුද්ධ’ පදවියට දෙ - වැනි යැ.

තුන්වැනි ‘අසේඛ’ තැනැ රැඳී සිටිසේක්, ‘අරහන්ත බුද්ධ’ යැ. උන්වහන්සේ, තමන් වහන්සේ සොයා දැනැගත් නිර්වාණ මාර්ගයෙක් නැති. එ නමුත්, සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මඟ පෙන්වීම මත අවබෝධය ලබා ගත් සේක. එසේ වතු දු උන්වහන්සේ තව තව පිරිස් අවබෝධයේ රැඳවීමට සමත් යැ. මේ අසේඛ තත්ත්වයට පත්වීමටැ උපයෝගී මූලහේතු හෙවත් ධර්ම සංඛ්‍යාත්මකවත්, ගුණාත්මකවත් වෙනස් ය.

සම්මා සම්බුද්ධ සම ත්‍රිංසත් පාරමී ධර්ම පච්චේක බුද්ධ විංසත් පාරමී ධර්ම අරහන්ත බුද්ධ දස පාරමී ධර්ම ‘බුදුන්’ යනු අවබෝධය යි. එහි උච්ඡතම අවස්ථාව ‘සම්මා සම්බෝධිය’ යැයි ඒ අර්ථයෙන් ගත් විටැ ‘බුද්ධං සරණං ගච්ඡාමි’ යි කියා සරණ යෑම ‘ආධාරා’ ධේය නීතිය හෙවත් ‘ධැරීම මැ ධරන්නා වීමේ මූලධර්මය අනුව සම්මා සම්බුදු සරණය ද, පච්චේක බුදු සරණය ද, මහරහත් බුදු සරණය ද යෑමෙකි. මක් නිසා ද යත්, ඒ තුන් පදවිය මැ අවබෝධයේ මැ අවස්ථා මිසැ වෙනත්, වෙනස් දෙයක් නොවනැ නිසා මැ යැ.

බෞද්ධයකු වීම සඳහා කළැ යුතු දෙ - වැනි සරණ ගතවීම ‘ධම්මං සරණං ගච්ඡාමි’යි කියා වාග් ද්වාරයෙන් හෙළි කර, ප්‍රකාශ කැරැ දහම් සරණ යෑම යි. මුලැ දී ‘බුද්ධං සරණං ගච්චාමි’ යි කියා බුදුන් සරණ ගොස්, දෙ - වැනිවැ ‘ධම්මං සරණං ගච්ඡාමි’ යි කියා දහම් සරණ යෑමෙන් කැලැ මැ සරණ භේදයෙක් නොවේ. මක් නිසා ද යත්, බෞද්ධයකු වීමට අයත් බුද්ධ, ධම්ම, සංඝ යන තුන් සරණය මැ. අනුපූර්ව ඒකාබද්ධතාවයෙකින් සම්බන්ධ වී ඇතිවායිනි.

මෙහි ‘ධම්ම’ යනු තථාගතයන් වහන්සේ ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කැරැගත් ලෝක සොබාවය යි. හෙවත් ධර්මය යි. ඒ සොබාවය උද්දේසික වශයෙන් හඳුනා දෙනැ ‘ධම්ම පදය’ බණ පොත,

‘අට්ඨක්ඛරා තීනිපදා - සම්බුද්ධේන පනාසිනා’ යි දක්වා ඇතියෙන්, 1. සුත්ත, 2. ගෙයිය, 3. වෙයියාකරණ, 4. ගාථා 5. උදාන, 6. ඉතිඋත්තක, 7. ජාතක, 8. අද්භූත ධම්ම, 9. වේදල්ල යනැ, ‘නවාංග සත්ථු සාසනය මැ, ඒ අකුරු අටේ වචන තුනෙන් ප්‍රකාශිත, අනිච්ඡා දුක්ඛ -, අනන්ත යන පද තුනේ ඇතුළත් යැ.

භෞතිකමය කාම ලෝකයේත්, මනෝමය රූප ලෝකයේත්, සඤ්ඤාමය අරූප ලෝකයේත්, කිසි මැ සත්ත්වයෙක්, දෙයක්, සදාකාලික නැත. අවිපරිත නැත. එතකුදු වූවත් වෛදික ආත්මවාදීන්, ‘ආත්මය වනාහි ස්ථිරසාර යැ, අචිපරිතය, ආත්මවසිකායෙන් යුක්තය’ යැයි කියුව ද, තථාගතයන් වහන්සේ ඒ අදහස සහේතුක වැ, සකාරණ වැ බිඳ හැරැ වදාළ සේක.

සච්චක පඬිතුමා හා තථාගතයන් වහන්සේ අතර තුබු වාදයෙහි හරය එය යි. එහි ලා තථාගතයන් වහන්සේ,

‘සච්චකයාණෙනි, මේ රට කාගේ ද?’

“ගෞතමයාණෙනි, මේ රට ලිච්ඡවි රජ දරුවන් සතු යැ.’

‘එසේ නම් ඒ රජ දරුවන්ට මේ රටවැසියන් රටෙන් පිටුවහල් කිරීමට, හිරේ විලංගුවේ දැමීමට, හිස ගසා දැමීවීමට පුළුවන් ද?’

‘පුළුවන’

‘ඒ ඇයි?’

‘ඇයි ගෞතමයාණෙනි, මේ රාජධානිය ලිච්ඡවීන්ගේ රාජ්‍යය නිසා යැ’

‘ඒ එසේ, නම් දැන් ඔබ කීවා ඔබට’ ආත්ම වාසිකාවක් ඇති බව. එහෙම නම්, තොපට මහලු නොවී ඉන්න පුළුවන් ද? ලෙඩ නොවී ඉන්න පුළුවන් ද? හැමදාම ජවබල සම්පන්න ව ඉන්න පුළුවන් ද?’ සච්චක පඬිතුමා නිරුත්තර විය.

සසර දුක ය. ඒ දුක මේ අප දිනපතා අත්දකිනැ දුක මැ පමණක් නොවේ. ඒ දුක ද පෙරදැරියෙන්, දුක්ඛ දුක්ඛ, සංකාර දුක්ඛ, විපරිණාම දුක්ඛ යැයි දුක් ප්‍රභේද තුනකි. ඒ දුක් ඉක්මවා යන්නට ලෞකික කාටවත් මැ බැරි ය. ඉපදුණ අප එතැන් සිට ම පරණ වෙයි. (ජාති පච්චයා ජරා) විනාශ වෙයි. (මරණ) පසු තැවෙමු (සෝක) හඬමු. (පරිදේව) ශාරීරිකව අමිහිරි විඳුම් ලබමු (දුක්ඛ) මානසික ව අමිහිරි වේදනා ලබමු (දොමනස්ස) ඒ ඒ තත්ත්වයන් සිහි නඟා සමීප තැවීම් ලබමු (උපායාස) ඒත් අප අරමුණ ඒ දුක්ඛදායක තත්ත්වයන් ලැබීම මැ යි. ඒ නිසා දිගින් දිගට මැ අප වෙත දුක ඇදී එයි. සංසාරය යනු එය යි. මේ ලොවැ ‘සැප’ යන සංකල්පයෙන් අප ගන්නා වේදනාවෙක් ඇත. එය ද දුකෙහි මැ විකෘතියෙක් මිසැ හැබෑ සැපයෙක් නොවේ. සසර ගමනේ ද හටගන්නේ, පවතින්නේ, නවතින්නේ දුකම යැ ‘දුක්ඛමේවහි සම්භෝගො - දුක්ඛං නාඤ්ඤ විනස්සතී.”

සසරෙහි සොබාවයම ‘අනන්ත’ ය. ඒ විග්‍රහ කරනැ පටිසම්භිදා මග්ගය, ‘අසාරත්ථේන අනන්තා’ ලෙස දක්ව යි. මේ ‘සාරය’ පිළිබැඳි ඓතිහාසික සංදර්භයෙක් ඇත. පැරැණි ඉන්දීයයන් ‘මිනිසා ගේ සාරය කුමක් ද’ යැයි ගැටලුවෙකට පත්විය. ඒ පිළිබඳිවැ හාරා අවුස්සා බැසගත් නිගමනය මිනිසාගේ සාරය වනාහි ‘හුස්ම’ යැ යන්න යි. මේ ‘හුස්ම’ යන වචනයෙහි පරියාය වදනෙකි ‘ආත්ම ‘යන්න. ඒ අනුව ‘තොප ආත්මය කුමක් ද?’ යැයි ඔහු ප්‍රශ්න කළෝ ‘තොප සාරය කුමක් ද’ යන්න සිතැ ධරා යැ. මේ ආත්ම සංකල්පය භාරතයේ බොහෝ ආන්දෝලනාත්මක සංකල්පයක් ය. ඒ නිසා ම භාරතයේ ආත්මය ගලවා ගැනීමේ ව්‍යාපාර බොහෝවක් බිහිවිය. ඒ උත්සාහයේ ප්‍රතිඵල වශයෙන් ක්‍රි.පූ. සවන සියවසේ ආත්මය, (ආ) ගලවා ගැනීමේ (ග) මඟ (ම) දෙසැටෙක් විය. මේ වූ ආගම පිළිබඳ බෞද්ධ අර්ත්ථ දැක්වීම වැරැදි දැක්ම (මිථ්‍යා දෘෂ්ටි) වන බව යැ. මේ තත්ත්වය යටතේ ‘ධම්මං සරණං ගච්ඡාමි’ යන්නෙන් අර්ථවත් කැරැගත යුත්තේ සමස්ත තුන් ලෝකය මැ අනිත්‍යය, දුක්ඛ, අනත්ත බව පිළිගැනීම යි.

තථාගතයන් වහන්සේගේ දේශන අතරත විශිෂ්ටත ම දේශනයෙකි, ‘පටිච්ච සමුප්පන්න’ දේශන ය. එහිලා විග්‍රහ කැරෙන්නේ සත්ත්වයාගේ භවගාමී තත්ත්වය යි. හෙවත් සංසාර ගමන යි. ඒ දේශනාව විකාශනයේ දී තැනෙකැ ‘නාම, රූප පච්චයා සලායතනං, සලායතන පච්චයා විස්සෝ’ යැයි දැක් වේ. මෙහිදී දැක්වෙන්නේ සොබාවයෙන් මැ පිරිසුදු සිත, ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා මනසිකාර යන ධර්මයන්ගෙන් ආවරණව ‘මන’ තත්ත්වයට පත්වීමෙන් අනතුරුව, ඒ මනස, කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ උද්ධච්ඡ, කුක්කුච්ඡ, විචිකිච්ඡා යන නීවරණයන්ගෙන් වැසී විඥාන තත්ත්වයට පත්වීමේ, ආරම්භය ය යි. මොනවාද මේ සලායතන? චක්ඛු (ඇස) සෝත (කන ) ඝාන (නාසය) ජිව්හා (දිව) කාය (ශරීරය) මන (මනස) යනු යි. ඒ ඉන්ද්‍රිය සයෙන් ගන්නා අරමුණු හෙවත් වී ඉන්ද්‍රියයන් ස්පර්ශ ධර්ම මොනවා ද?

ඒ, චක්ඛු - රූප

සෝත - ශබ්ද

ඝාණ - සුගන්ධ හෝ දුගන්ධ හෝ ගඳ

ජිව්හා - රස

කාය - පොට්ටබ්බ

මන - ධම්ම, යනු යි.

මෙහිලා ධම්ම යනු සොබාවය තීරණ තීන්දු කිරීමයි ඒ බලය මනස අනෙක් පඤ්චේන්ද්‍රියනට හා පඤ්චස්පර්ශයට අධිකාරිත්වය පතුරව යි. එවිට පඤ්චේන්ද්‍රිය පඤ්චස්පර්ශ වගුව මෙසේ ය.

චක්ඛු - රූප ධම්ම

සොත - ශබ්ද ධම්ම

ඝාණ - ගඳ ධම්ම

ජිව්හා - රස ධම්ම

කාය - ස්පර්ශ ධම්ම

මේ මූලධර්මය අනුව “ධම්මං සරණං ගච්ඡාමි” කියා සරණ යන්නේ සොබා තත්ත්වය ම බව අප දැනගත යුතු යැ.

තෙ - සරණ සරණැ ගතවීමේ ඊළඟ පියවර ‘සංඝං සරණං ගච්ඡාමි’ යි වාග් ද්වාරයෙන් පිහිටීම යි. සඟ සරණ යෑම යි. බෞද්ධ ආධ්‍යාත්මික පරිසරයේ සංඝයා වහන්සේ දෙනමෙකි. ඒ අසේඛ පිරිසට අයත් ‘සාවක සංඝ’ හා සේඛ පිරිසට අයත් “භික්ඛු සංඝ” යසාවක සංඝ යනු තථාගත ධර්මය අසා පරිසමාප්ත අර්ථයෙන් මැ නිවීමෙක් ලබාගත් පිරිස් යැ. ඇසීම යනු කන, ශබ්දය, ධර්මය යන තුනෙහි මැ සමවාය ම යි. ඒ ප්‍රතිඵලය ලබා සැනසුණෝ ශ්‍රාවක සංඝයා වහන්සේ යැ. ඒ ප්‍රතිඵලය ලබන්නට උත්සාහවත්, සතර රැකවරණ සදන නිල ඇඳුම් හඳින - පොරවනැ පිරිස භික්ෂු සංඝයා වහන්සේ යැ. මේ දෙවැදෑරුම් සංඝයා අතරින් ශ්‍රාවක සංඝයා වහන්සේට

* සීතල පිටු දකිනැ

* උණුහුම පිටු දකිනැ

* මැසි - මදුරු ආදීන්ගෙන් වන ගැහැට පිටු දකින විලි

* බිය ස්ථාන ආවරණය කරන

යන සතරාකාර රැකවරණ සඳහා නිසා මැ ‘සිවුරු’ නම් වූ ඇඳුම අත්‍යවශ්‍ය ම නැත. එහෙත් භික්ෂු සංඝයා වහන්සේට ඒ අත්‍යවශ්‍ය යැ. තථාගතයන් වහන්සේ අසූ මහ ශ්‍රාවකයන් වහන්සේ අතර තැබූ ‘බාහිය දාරු වීරිය’ මහ රහතන් වහන්සේ චීවරධාරියෙක් නො වී, එහෙත් උන්වහන්සේගේ කලේබරය ගෙනැ එන්නැටත්, චිතකයෙක් තනා ආදාහනය කරන්නත් තථාගතයන් වහන්සේ නියම කළැ සේක්, භික්ෂු මහා සංඝයා වහන්සේට යැ. මේ වූ අසේඛ - සේඛ සංඝයා වහන්සේ, බෞද්ධ අභිමතාර්ථය පෙර දැරියෙන් සරණ යෑම පිහිට කොට ගැනීම "සංඝං සරණං ගච්ඡාමි" යන පදය අර්ථවත් කැර ගැනීම යි.

මේ වූ සංඝයා වහන්සේ වෙතින් මඟ දැනීම ටැ, දැකීමටැ, යෑමටැ වටපිටාව තේරුම් කැරැගෙනැ, ඇත්තේ ඇත්ත සොබාවය ක්ෂාක්ෂාත් කැරැ ගැනීම මැ " බුද්ධං සරණං ගච්ඡාමි" යන්න අර්ථවත් කැරැ ගැනීම හෙවත් අවබෝධයේ පිහිටා සසරින් එතෙර වීමේ මඟට පිවිසීම නිසා හැබෑ බෞද්ධයකු වීමට මේ තෙසරණය සරණ ගතවීම අත්‍යවශ්‍ය ම දෙය යි.

වෙසක් අමාවක

මැයි 26 සඳුදා අ.භා 12.14
 අමාවක ලබා 27 අඟහරුවාදා පූ.භා 08.35න් ගෙවේ.
26 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 26

First Quarterපුර අටවක

ජුනි 03 

Full Moonපසළොස්වක

ජුනි 10

Second Quarterඅව අටවක

ජුනි 18 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]