අප්‍රමාදී ව
ධර්මය සිහි කරන්න
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
අතීතයේ අනුරාධපුර නගරය ශ්‍රී ලංකා ද්වීපයේ අගනගරය බවට පත් වී තිබුණා. ශත වර්ෂ
ගණානාවක් ම රජ දරුවන් බුද්ධ, ධම්ම සහ සංඝ සරණ යමින්, වෙහෙර විහාර ඉදිකරමින්,
ශාසනමාමක ව රාජ්‍ය පවත්වන්නට යෙදුණා.
මෙ සමයෙහි රුහුණු රටේ පාලකයන් අනුරාධපුර රාජධානියේ ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් එහි
පාලනය ගෙන ගියා. වෙහෙර විහාර ඉදි කළා. සියලු සම්පත්වලින් පිරී ඉතිරී ගිය රුහුණු රට
සංඝයා වහන්සේත් දහස් ගණනින් වැඩ වාසය කරන්න පටන් ගත්තා. එක් කලෙක රුහුණු රටට වැඩම
කළා ධම්මදින්න නම් මහ තෙරුන් වහන්සේ නමක්.
උන්වහන්සේ අරණ්‍යවාසී ව තමයි වැඩ සිටින්නේ. මේ නිසා ම ශ්‍රද්ධාවන්ත බෞද්ධයන් එකතු
වෙලා ‘තලගුරුතිස්‘ නම් පර්වතයේ ‘දෙවුරුහා‘ නමින් ගල් ලෙනක් සුදුසු විදිහට සකසලා
පූජා කළා. ධම්මදින්න තෙරුන් වහන්සේ දවසේ වැඩි කාලයක් ගත කරන්නේ භාවනාවෙන්. මෙහෙම
භාවනා කරමින් විවේකී ව වැඩ සිටින හැම වෙලේ ම දකින්න ලැබෙනවා විශාල ගැරඬියෙක් ලෙන
අසල තියෙන තුඹසකට ඇතුළු වෙනවා, ඒවගේ ම පිටවෙනවා එහෙමත් නැත්නම් දකිනවා ගොදුරු පිණිස
ඇවිදිනවා. මෙහෙම කාලයක් දෙදෙනා ම තම තමන්ගේ කටයුතු කර ගෙන කාලය ගත කළා.
දවසක් ගොදුරු හොයන්න ගිය ගැරඬියා ආපහු ආවේ කිසියම් හේතුවකින් ඇස් දෙකම අන්ධ වෙලා.
මේ නිසා එදා සිට කෑම හොයාගෙන යන්න පුළුවන්කමක් ලැබුණේ නෑ. හැම තැන ම උවදුරුවලට
මුහුණ දෙන්න සිද්ද වුණා. තුඹස ඇතුළේ ම ඉන්නත් බැරි නිසා එළියට ඇවිත් ළඟට ගොදුරක්
ආවොත් විතරක් අල්ලාගෙන ආහාරයට ගන්න පුරුදු වුණා. කෑම නැති නිසා දවසින් දවස වැහිරී
ගියා. ක්ලාන්ත වුණා. සුසුම්ලමින් තුඹස ඉස්සරහා වැතිරිලා කාලය ගත කළා.
මේ සිදුවීම් සියල්ල දෙස මේ තලගුරුතිස් ලෙන්වාසී ධම්මදින්න තෙරුන් වහන්සේ බලාගෙනයි
හිටියේ. උන්වහන්සේ ගැරඬියාගේ ආයුෂ අවසන් වී ගෙන එන බව වටහා ගත්තා. ගැරඬියා කෙරෙහි
උපන් කරුණාවෙන් සතිපට්ඨාන සූත්‍ර දේශනාව ශබ්ද නඟා සජ්ඣායනා කරන්නට වුණා. ගැරඬියාත්
ඒ ධර්මය ශ්‍රවණය කළා. තිරිසන් ආත්මයේ නිසා එම සූත්‍ර දේශනාවේ තේරුම හෝ වටිනාකම හෝ
අවබෝධ වුණේ නෑ. ඒත් ධර්මය ඇහෙන හඬ හොඳින් ශ්‍රවණය කරමින් වැතිර සිටියා.
මේ මොහොතෙහි බඩසයින් පෙළුණු විශාල තලගොයෙක් දුවගෙන ඇවිත් කටට දෙකට ගැරඬියා ගිල
දැමුවා. ගැරඬියා සිත පහදවා ගෙන ධර්මය ශ්‍රවණය කිරීමේ පුණ්‍ය ශක්තියෙන් ම මිය ගොස්
අනුරාධපුරයේ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ අමාත්‍යවරයකුට දාව ‘තිස්ස‘ නමින් මනුෂ්‍ය
ආත්මයේ උපත ලැබුවා.
ක්‍රමයෙන් වැඩිවියට පත්වෙලා පියතුමා මෙන් ම රාජ්‍ය සේවයට ඇතුළුව තිස්ස අමාත්‍යවරයා
නමින් පසු කල ප්‍රසිද්ධියට ද පත් වුණා. තිරිසන් ආත්මයේ සිට මනුෂ්‍ය ආත්මයකට පැමිණ,
භවභෝග සම්පත් ඉතා ඉහළින් අනුභව කරමින්, කීර්ති ප්‍රශංසා ලබමින් සුව සේ කාලය ගත කළා.
පෙර පුණ්‍ය ශක්තිය නිසා ම තමන්ට ලැබුණු සම්පත්වල කිසිදු ලෝභකමක් නැති ව දුගීමගී
යාචකයන්ට මෙන් ම, ආර්ය මහා සංඝ රත්නයට දන් පිළිගන්වමින්, සිල් රකිමින් බොහෝ පින්කම්
කර මනුෂ්‍ය ආත්මයේ ආයු කෙළවර මිය ගොස් තව්තිසා දෙව්ලොව උතුම් රන් විමනක දිව්‍ය
තේජස් සම්පන්න දෙවියකු ව උපත ලබා දිව්‍ය සම්පත් වින්දනය කළා යැයි පැවසෙන දහම්
කථාවක් සද්ධර්මාලංකාරයේ සඳහන් වෙනවා.
බලන්න පින්වත්නි, ධර්මය කියන්නේ මෙන්න මෙ නම් දෙයක් යැයි කියා හෝ දහම් පදයක අර්ථය
මේ යැයි කියා හෝ අවබෝධ කර ගැනීමට පවා නොහැකි තිරිසන් ආත්මයක සිට ධර්ම ශ්‍රවණය කළ
පමණින් මනුෂ්‍ය ආත්මයකත්, මනුෂ්‍ය ආත්මයක උසස් කුලයකත්, උසස් අයුරින් භවබෝග
සම්පතුත්, උසස් තනතුරුත් ලැබීමට භාග්‍යවන්ත වුණේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් පමණක් උපන්
කුසලයෙන් ම යි.
ධර්මය කියන්නේ සිතූපැතූ සම්පත් දෙන සිතුමිණ රුවනකටත් වඩා සම්පත් දෙන වස්තුවක් කල්ප
වෘක්ෂයට වඩා වටිනා දෙයක්. ඒ නිසා ලෝකයේ උපදින ශ්‍රද්ධාවන්ත මිනිසුන් ධර්මය ශ්‍රවණය
කරන්න ප්‍රිය යි. ඔවුන්ට ධර්මය අහන්න තැනක් අවශ්‍ය නෑ. නිශ්චිත වේලාවක් අවශ්‍ය නෑ.
හිටගෙනත් ධර්මය අහනවා, ඉඳගෙනත් ධර්මය අහනවා, සයනයක වැතිරගෙනත් ධර්මය අහනවා. හැම
ඉරියව්වක ම පිහිටා, හැකි හැම අවස්ථාවක ම ධර්මය අහනවා. ඔවුන් දන්නවා මනුෂ්‍ය ජීවිතය
කියන්නේ සුළු මොහොතින් විනාශ වෙන දෙයක් කියලා. හොඳ ගුණවල ම පිහිටලා කටයුතු කරනවා.
පින්වත්නි, නො පමාව ඔබ ධර්මය ශ්‍රවණය කරන්න, අන් අයටත් ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව
සලසා දෙන්න. එයින් ඔබටත්, අන් අයටත් යහපතක් මිස් අයහපතක් නම් කිසිම දවසක සිදුවන්නේ
නෑ. යහපතක් ම යි සිදුවන්නේ. |