නිවාප නම් වූ තෘණ විශේෂය උපමා කොට දේශිත සූත්‍ර දේශනාව

නිවාප නම් වූ තෘණ විශේෂය උපමා කොට දේශිත සූත්‍ර දේශනාව

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ හුන් එක් සමයෙක භික්ෂූන් වහන්සේ අමතා මේ දේශනය කළ සේක.

මහණෙනි, එක්තරා මුව වැද්දෙක් මුව සමූහයෝ වඩා කැමැති තෘණ විශේෂයක් (නිවාප) මුවන්ට ගොදුරු පිණිස (තණ) වපුරයි. නේවාපික වැද්දා (නිවාප වවන තැනැත්තා) මේ තණ වපුරන්නේ “මා විසින් වපුළ මේ ගොදුරු තණ අනුභව කරන මුව සමූහයෝ දීර්ඝායුෂ වෙත්වා. පැහැපත් වෙත්වා. බොහෝ කලක් සැප සේ වෙසෙත්වා” යන අදහසින් නො වන්නේ ය. ඔහු මේ තණ වවන්නේ තණ කෙතට වදින මුව සමූහයෝ ආශාවෙන් මුළාව තන කා මත් වී සිහිනැතුව වැද හෝනා විට තම කැමැත්තක් කළ හැකි වන්නේ ය යන සිතිවිල්ලෙනි.

මහණෙනි, ඒ මුව සමූහයන් අතර පළමුවන මුව සමූහයෝ නේවාපිකයා වපුල තණ කෙතට වැද ආශාවෙන් මුසපත් ව තණ කෑවෝ ය. තණ කෑ ඔවුන් සිහි නැති වූවාහු නේවාපික වැද්දාගේ වසඟයට පත්වූහ.

මහණෙනි, මෙහි දෙවන මුව සමූහයෝ මෙසේ සිතූහ. නේවාපිකයාගේ තණ කොටුවට ගිය පළමු කණ්ඩායම තණ කා මුළාව, මුසපත් ව, මුවවැද්දා ගේ වසඟයට ගියහ. අපි එසේ නොවෙමු. නිවාප භෝජනයෙන් වැළකී කැලයේ යමක් බුදිමින් කැලයට ම වී වාසය කරන්නෙමු නම් යෙහෙකි’ යි කියා ය. මෙසේ සිතූ ඔවුහු නිවාප භෝජනයෙන් සම්පූර්ණයෙන් වැළකී කැලයටම වී වාසය කළහ. ගිම්හානයේ අවසාන මාසය උදා විය. වනයේ ජලය සිඳී තණ වියළී ගියේ ය. ආහාර හිඟ ව ශරීරය කෙට්ටු වී ශක්තිය ද පිරිහුණේ ය. මෙසේ වූ කල්හි නේවාපිකයා ගේ තණ කොටුවට වැද (දෙවන මුවරැළ ද) තණ කා මුසපත් ව සිහි නැති ව වැද හෝනා විට නේවාපිකයාට ඔවුන්ද ගොදුරු කර ගැනීමට, වසඟ කර ගැනීමට හැකි විය.

මහණෙනි, තුන්වන මුව සමූහයකි. ඔවුහු මෙසේ සිතූහ. පළමු මුව සමූහය නේවාපිකයාගෙන් නොමිදුණහ. දෙවන මුව සමූහය ද එය දැන වනයට වී සිට ගිම්හානයේ අවසාන මාසයේ දී ආහාර හිඟවී මුව වැදද්දාගේ තණ කොටුවට වැද ආශාවෙන් මුළාව තණ කා සිහිසුන් ව ප්‍රමාදයෙන් වැද්දාට ගොදුරු විය.

එහෙයින් අපි තණ කොටුව අසලින් ලගින තැනක් පිළියෙල කරගෙන තණ කොටුවට නො වැද, මුස පත් නොවී තණ කන්නෙමු ය. මත් නොවූවෝ සිහි මුළාවට නොපැමිණෙති. මෙසේ ඔවුන් එහි නො වැද, මුසපත් නොවී තණ කන්නාහු මත් නොවූහ. මත් නොවීම නිසා ම සිහි මුළාවට පත් නොවූහ. එහෙයින් ම නේවාපිකයාට කැමැත්තක් කළ නොහැකි විය.

මහණෙනි, එහිදී මුව වැද්දාටත් ඔහුගේ පිරිසටත් මෙවැනි අදහසක් විය. මේ තුන්වන මුව සමූහය නම් හරිම කපටියෝ ය. යක්ෂයෝ ය. ඍද්ධිමතුන් (කැමති දේ කරන්නෝ) වැනි ය. මොවුහු වපුරා ඇති තන ද කති. එන යන මගකුදු පෙනෙන්නට නැත. එනිසා අපි මේ වපුල තණ කොටුව වටා මහත් වූ ප්‍රදේශයක් අල්ලා වට කරමු. වැට බඳිමු” කියා යි. එසේම දඬු සිටුවා වරදැලින් හාත් පස මහත් කොටසක් වට කළාහු ය. එහිදී මුව සමූහයෝ ලගින තැන් දුටුවාහු ය. මෙසේ තුන් වන මුව රළ ද මුව වැද්දාගෙන් මිදුණේ නැත.

මහණෙනි, සතරවන මුව සමූහයක් ද වෙති. ඔවුන් මෙසේ කල්පනා කරන්නට විය. පළමුවන සමූහය තණ්හාව නිසා මුසපත්ව, සිහිමුළා ව මුව වැද්දාට ගොදුරු විය. දෙවන මුව සමූහයෝ ද මඳ කලක් නිවාප භෝජනයෙන් වැළකී සිට අනතුරුව තණ්හාව මුල්වී මුව වැද්දාට ගොදුරු වූවෝ ය. මේ ඒ තෙවන මුව සමූහය කලක් නිවාප ආහාරය මුව වැද්දාට හසු නොවන පරිදි භුක්ති විඳ අවසානයේ දී විනාශයට පත්වූවෝ ය කියා ය. එසේ හෙයින් මුව වැද්දා හෝ මුව වැද්දාගේ පිරිස හෝ යා නොහැකි තැනක් වාසස්ථානය වශයෙන් තෝරා ගෙන නිවාප තණ කොටුවට ඇතුළු නොවීම ගොදුරු කා ඒවාට ආශා නොකර තණ කා මත් නොවීම නිසා සිහිමුළා නොවීම, ඔවුන්ගේ ග්‍රහණයෙන් අපි මිදින්නෙමු යැයි කල්පනා කරමින් ඒ අනුව ක්‍රියා කොට නේවාපිකයාගෙන් ග්‍රහණයෙන් ද මිදුණහ. නේවාපිකයාට කැමැති සේ කටයුතු කළ නොහැකි විය.

මහණෙනි, මෙහිදී නේවාපිකයාටත් නේවාපිකයාගේ පිරිසටත් මේ අදහස විය. මේ ඒ සතරවන මුව සමූහය ඉතා කපටියෝ ය. හික්මුණු කෛරාටිකයෝ ය. යක්කු ය. ඍද්ධිමත් වැනි ය. වපුරන ලද මේ තණකොටුව ද කති. ඔවුන් යෑම් ඊම් තැනක් දැකිය නොහැකි ය. සතරවන මුව සමූහය ලගින තැන ඔවුහු නොදුටුහු ය. මහණෙනි, මෙහිදි නේවාපිකයාට ද නේවාපික පිරිසට ද මේ අදහස විය. අපි මේ සතරවන මුව රැළ සොයා කලබල කළහොත් ඒ අනුව අනෙක් මුවෝ ද පලා යන්නාහු ය. එසේ වුවහොත් මුව සමූහයෝ මේ වපුළා වූ තණ ද කති. තණ කොටුව ද හිස් කරති. අපි සතරවන මුව සමූහයා කෙරෙහි මධ්‍යස්ථ වෙමුයි කියායි. මහණෙනි, මෙසේ සතරවන මුව සමූහයා කෙරෙහි නේවාපිකයා හා නේවාපික පිරිස මැදහත් වූහ. එහෙයින් ම ඔවුහු තණ ද කති. නේවාපිකයාගේ ග්‍රහණයෙන් මිදුනාහ.

මහණෙනි, මා විසින් මේ උපමාව ගෙන හැර දැක්වූයේ මේ අර්ථය හැඟවීම පිණිස ය. මහණෙනි, “නිවාප” යනු පස්කම් ගුණයට නමෙකි. “නේවාපික” (මුවවැද්දා) යනු පාපිෂ්ට මාරයාට නමෙකි. “නේවාපික පිරිස” යනු මාර පිරිසට නමෙකි. මුව සමූහය යනු ශ්‍රමණ බ්‍රාහ්මයන්ට නමෙකි. මහණෙනි පළමුවන ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස මාරයා විසින් වපුළ ඒ තණ කොටුව ( නිවාප) නම් වූ පඤ්චකාමයන් කෙරෙහි තෘෂ්ණාවෙන් ඒවාට ගොදුරු ව, මුසපත් ව සිහි නැති ව ප්‍රමාදයට පත් වූහ. ලෝක ආමිෂයට ( ලෞකික සැප සම්පත්) ගිජු වූ මේ අය පළමු මුව පිරිස මුව වැද්දාට ගොදුරු වූවා සේ මාරයාගේ වසඟයට යති.

මහණෙනි, එහිදී දෙවන ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස, පළමුවන ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස පඤ්ච කාමගුණයන්හි ඇලීමෙන් මරු වසඟයට ගිය බව දැන පඤ්චකාම නමැති ලෞකික ආශාවන්ගෙන් හැම අතින්ම වෙන්වෙමු යැයි ද එම පරිභෝජනයන්ගෙන් වෙන් වූ අපි වනයට වැද වාසය කරන්නමු නම් මැනැවයි කියා සිතූහ. එසේ සිතු ඔවුහු භයජනක පඤ්චකාම පරිභෝගයන්ගෙන් වෙන්ව ම වනයට වැද පලා ද, පල ද, සම්කෑලි, ගස්, ලාටු, වනමුල්, ස්වයංපතිත පල යනාදිය අනුභව කරමින් ශ්‍රමණ බව රකිමින් කය පවත්වා ගෙන ගියහ. ගී‍්‍රෂ්ම සාරමාසයෙහි අන්තිම මාසය වනයෙහි තණ ද, පලා ද, දිය ද, නැතිවී ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෘශ බවට පැමිණ වැහැරී, ශරීර ශක්තිය ද පිරිහුනේ ය. මෙසේ ශරීරය පිරිහිණු කල වනයෙහි වසමුයි යන අදහස ද පිරිහුණේ ය. නගරයට ආහ. චිත්ත විමුක්තිය පිරිහිණු කල්හි මාරයා විසින් වපුළ තණ කොටුව වැනි ඒ පඤ්චකාම ගුණයන් පරිභෝජනයට පටන් ගත්හ. ඔවුහු එහි වැද මුසපත් ව පස්කම් බොජුන් අනුභව කළහ. එසේ අනුභව කරන්නාහු මදයටත්, ප්‍රමාදයටත් පත්ව සිහි නැති බවට පත්වූහ. සිහිනැති වූයේ මේ මාරයාගේ තණ කොටුව වූ පඤ්චකාම ගුණිත නිවාපයෙහි ( තණ කොටුවේ ලැග්ගවුන් වැනි) මාරයා කැමැති සේ කළ යුත්තන් බවට පැමිණියහ. මාරයාගේ වසඟයට ගියහ. මේ දෙවන මුව සමූහයා සේ දෙවන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ද එබඳු උපමා ඇත්තවුන් යැයි කියමි.

මහණෙනි, මෙහිදී තුන්වන මහණ බමුණෝ මෙසේ සිතූහ. පළමුවන මහණ බමුණෝ මාරයා විසින් වපුල පඤ්චකාම ගුණ නමැති ලෞකික ආමිෂයන්හි දී ඇලී මාරයාගේ වසඟයට ගොදුරු වූහ. තවද ඒ දෙවන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ පළමු මහණ බමුණන් ලෝකමිෂයට ගිජු ව මහණ දම් පල නොලබා මරුහුගේ ගොදුරු බවට පත්වූහයි දැන, ලෞකික ආමිෂයන්ගෙන් බැහැර ව, වනවාසී ව මහණදම් පිරූහ. එහෙත් ඔවුන් ද කලක් වනෙහි වාසය කොට “වනෙහි වසමු” යි යන අදහස පිරිහුණේ ය. මෙසේ චිත්ත විමුක්තිය , චිත්ත ධෛර්යය පිරිහුණු කල්හි මාරයා විසින් වපුල තණකොටුව නම් පඤ්චකාමයන්ට ගොදුරු වූහ. එහෙයින් තෙවන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ද නේවාපිකයාගේ (මුව වැද්දාගේ) තණ කොටුවට දෙවන වර ඇතුල් වූ මුව සමූහය සේ මුව වැද්දාට ගොදුරු විය. මාරයාගේ වසඟයට ගියහ කියා සිතන්නට විය.

එසේ හෙයින් අපි මාරයා වපුල නිවාප (තෘණ) ය වූ ලෝකාමිෂය ද අනුභව කරමු. එහෙත් එහි නොලැග මුසපත් නොවී බුදින්නෙමු. එයින් මත් නොවූවාහු වෙත්. සිහි නැති බවට නො පැමිණියාහුවෙත්, ඒ නොපමාව හේතු කොටගෙන මාරයාගේ නිවාපය වූ ලෝකාමිෂයෙහි කැමැති සේ කටයුතු නොකළහ. එනිසා ම මාරයා විසිනිදු කැමැති සේ කටයුතු නොවූහ. එතෙකුදු වුවත් මේ තුන්වන මහණ බමුණ සමූහය දෘෂ්ටි ඇත්තෝ වූහ. ලෝකය ශාස්වතයි ලෝකය අශාස්වතය, ලෝකය කෙළවරක් ඇත්තේ ය. කෙළවරක් නැත්තේ ය. ජීවය හා ශරීරය එකකි. ජීවය අනෙකකි. ශරීරය අනෙකකි, සත්ත්වයා මරණින් මතු වන්නේ ය. සත්ත්වයා මරණින් මතු නොවන්නේ ය. සත්ත්වයා මරණින් මතු වන්නේත් වේ. නොවන්නේත් වේ. සත්ත්වයා මරණින් මතු නොවන්නේත් නොවේ යනාදී වශයෙන් ඔවුන් දෘෂ්ටි ඇත්තෝ වූහ.

මහණෙනි, මේ තුන්වන මහණ බමුණු සමූහයා දෘෂ්ටි ගතවීම හේතු කොට තුන්වන මුව සමූහය මුව වැද්දා විසින් ඉතා විශාල ප්‍රමාණයක් දැව දඬු වටකොට ආරක්ෂක ස්ථානයන්හි ලැග සිට මුව සමූහය අල්ලා ගත්තා සේ මාරයාගේ වසඟයට ගියහ. එයින් නොමිදුනහ.

මහණෙනි, එහිදී සතරවන ශ්‍රමණ බමුණෝ පිරිස මෙසේ සිතූහ. පළමුවන මහණ බමුණෝ පඤ්චකාම ගුණයන්හි ආසා කොට පස්කම් බොජුන් වළඳමින් මාරයාගේ වසඟයට ගියහ.දෙවන මහණ බමුණෝ ද පඤ්චකාම ගුණයන්හි කලෙකට වෙන්ව පසුව පස්කම් බොජුන් වළඳා මරුවාගේ වසඟයට ගියහ. තුන්වන මහණ බමුණෝ ද පඤ්චකාම ගුණයන්ගෙන් මිදී පස්කම් බොජුන් වළඳමින් අප්‍රමාද වීම නිසා මාරයා විසිනිදු කැමැති සේ කටයුතු කළ නොහැකි විය. එහෙත් ඔවුනුදු වැරැදි ලෙස දෘෂ්ටි ගතවීම නිසා මාරයාගේ වසඟයට ගියහ. එසේ හෙයින් අපි මාරයා විසින් වපුළ නිවාපය වූ පඤ්චකාම ගූණයන්ට නොවැද, මුසපත් නොවී, පස්කම් බොජුන් බුදින්නෙමු නම්, නොවැ ද මුසපත් නොවී පස්කම් බොජුන් අනුභව කරන්නෝ වෙමු. මත් නොවන්නෝ වෙමු. මත් වූවෝ නොවෙමු. සිහි ඇත්තෝ වෙමු. එහෙයින් ම මාරයා කැමැති සේ කළ යුත්තෝ නො වන්නෙමු කියා සිතූහ. මෙසේ සිතූ මෙම ශ්‍රමණ බමුණෝ යම් තැනක මාරයාගේත්, මාරයාගේ පිරිසෙහිත් ගමන් නැත් ද එවැනි ආරක්ෂක ස්ථානයක් ඇති කළහ. එහි සිට ලෝකාමිෂයන්ට නොවැද, මුසපත් නොවී, පස්කම් (පඤ්චකාම) බොජුන් අනුභව කළහ. ඔවුහු එහි නොවැද, නො මුසපත් ව, පස්කම් බොජුන් අනුභව කරන්නාහු මත් නොවූහ. සිහි නැති බවට නොපැමිණයහ. එහෙයින් ම මාරයා විසින් කැමැති සේ කළ යුත්තේ නොවන ස්වභාවයට පත්වූහ.

සතරවන මුව සමූහය මුව වැද්දාගෙන් මිදුණේ යම් සේ ද මේ සතරවන මහණ බමුණෝ ද මාරයාගේ කැමැත්තට කටයුතු කළ යුත්තේ නොවූහ. (මිහිරි බොජුන් අගනා සෙනසුන් විහරණය කළ ද ඒවායේ නොඇලුනාහ)

මහණෙනි, මාරයාගේත්, මාර පිරිසගේත්, ගති නොමැති (අගතිය) තැන් කෙසේද?

මහණෙනි මේ ශාසනයෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සිත විචාර සහිත විවේකයෙන් හටගත් පී‍්‍රතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි මේ මහණ තෙමේ මාරයා අන්ධ කළේ යැයි ද, මාරයාගේ ඇස නැසුවේ යැයි ද, මාරයාගේ නොදැක්මට ගියේ යැයි ද කියනු ලැබේ.

මහණෙනි, තවද තැනෙකි. මේ ශාසනයෙහි මහණ තෙමේ විතක්ක විචාරයන් සන්සිඳවීමෙන්, ආධ්‍යාත්මයෙහි මනා පැහැදීම ඇති කරන්නා වූ විතක්ක - විචාර රහිත සිතේ එකඟ බව ඇති සමාධියෙන් හටගත් පී‍්‍රතිය හා සැප ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙමේ මාරයා අන්ධ කළේ යැයි ද මරු ඇස නැසුවේ යැයි ද පවිටු මාරයාගේ නො දැක්මට ගියේ යැයි ද කියනු ලැබේ.

මහණෙනි, තව ද තැනෙකි. මහණ තෙමේ පී‍්‍රතියෙන් ද වෙන්වී මෙන් මැදහත් බව (උපේක්ෂා) ඇත්තේ, සිහි ඇත්තේ මනා නුවණින් යුක්තව වාසය කරයි. කයින් ද සැපයක් විඳියි. ආර්යයෝ යම් ඒ ධ්‍යානයක් උදෙසා සැප – දුක් දෙකට මැදිහත් (උපේක්ෂා) විඳීම ඇත්තේය. සිහි ඇත්තේ ය. සැපයෙන් විසීම ඇත්තේ ය. යනුවෙන් ගුණ වර්ණනා වශයෙන් කියන තෘතිය ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙමේ මාරයා අන්ධ කෙළේ යැයි ද, මරු ඇස නැසුවේ යැයි ද, පවිටු මාරයාගේ නොදැක්මට ගියේ යැයි ද කියනු ලැබේ.

මහණෙනි, අනෙක්ද වෙයි. මහණ තෙමේ සැපත් පහවීමෙන්, දුකත් පහවීමෙන්, පළමුව සොම්නස් දොම්නස් දුරු වීමෙන් දුක් නැති, සැප නැති උපේක්ෂාව හා සිහිය පිළිබඳ පිරිසුදු බව ඇති හතරවෙනි ධ්‍යානයට ( කුසල චිත්තයට) පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙමේ ද මාරයා අන්ධ කෙළේ යැයි ද, මරු ඇස, නැසුවේ යැයි ද පවිටු මාරයාගේ නොදැක්මට ගියේ යැයි ද කියනු ලැබේ.

මහණෙනි, අනෙකක් ද වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම රූප සංඥාවන් ඉක්මවීමෙන්, ප්‍රතිඝ (තරහ) සංඥාවන් අස්තංගත කිරීමෙන්, නානාත්ව සංඥා මෙනෙහි නොකිරීමෙන් ආකාශය අනන්තය යි. ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි. මේ මහණ තෙමේ මාරයා අන්ධ කළේ යැයි ද මරු ඇස නැසුවේ යැයි ද පවිටු මාරයාගේ නොදැක්මට ගියේ යැයි ද කියනු ලැබේ.

මහණෙනි, නැවැත ද අනෙකක් වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණඤ්චායතනය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ මාරයා අන්ධ කළේ යැයි ද, මරු ඇස නැසුවේ යැයි ද, මාරයාගේ නොදැක්මට ගියේ යැයි ද කියනු ලැබේ.

මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මේ මහණ තෙමේ හැම ලෙසින් ම විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිත් නැතැයි අරමුණු වශයෙන් ගෙන ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ මාරයා අන්ධ කෙළේ ය. මරු ඇස නැසුවේ ය. මාරයාගේ නොදැක්මට ගියේ යැයි ද කියනු ලැබේ.

මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මේ මහණ තෙමේ හැම ලෙසින්ම ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි. මේ මහණ මාරයා අන්ධ කළේ ය. මරු ඇස නැසුවේ මාරයාගේ නොදැක්මට ගියේ යැයි ද කියනු ලැබේ.

මහණෙනි, අනෙකක් ද වෙයි. මේ මහණ තෙමේ හැම ලෙසින් ම නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධ උපදවා ගනී. එයට පැමිණ වාසය කරයි. ඔහු විසින් මාර්ග ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍යයන් දැක ආස්‍රවයන් ක්ෂය කරන ලද්දාහු වෙති. මහණෙනි, මේ මහණ මාරයා අන්ධ කළේ යැයි ද, මරු ඇස නැසුවේ යැයි ද මාරයාගේ නොදැක්මට ගියේ යැයි ද ලෝකයෙහි “විසත්තිකා” වූ තෘෂ්ණාව තරණය කළේ යැයි ද කියනු ලැබේ.

භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනාව අසා ඒ භික්ෂූන් වහන්සේ සතුටු වූහ. දේශනාව පිළිගත්හ.

වෙසක් පුර අටවක

 මැයි 04 ඉරිදා පූ.භා 07.22
පුර අටවක ලබා 05 සඳුදා
පූ.භා 07.39න් ගෙවේ.
04 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 04

Full Moonපසළොස්වක

මැයි 12

Second Quarterඅව අටවක

මැයි 20

Full Moonඅමාවක

මැයි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]