වෙසක් පුර අටවක පෝ දා
2025-05-04
ප්‍රතිපදාවට මුල්තැන දෙමු
එළඹෙමින් තිබෙන්නේ ශ්‍රී සම්බුදු තෙමඟුල සිහි කෙරෙන උතුම් වෛශාඛ්‍ය මංගල්‍යයයි.
සිදුහත් බෝසතාණන් වහන්සේගේ උපත, ශ්‍රී සම්බුද්ධත්වය, සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ
ඒ උතුම් දිනය ලෝ වැසි බොදු දනන්ට ම සුවිශේෂී දිනයකි. ඒ උතුම් දිනය සමරනු වස් ගම්
දනව් පුරා වෙහෙර බිම් පිළිසකර කෙරෙමින් පවතී. ආමිෂ පූජා පින්කම් සංවිධානය වෙමින්
පවතී. මේ සියලු පින්කම් සිදු කෙරෙන්නේ තමන්ගේ ශාස්තෘන් වහන්සේ වෙනුවෙන් පිදෙන
පූජෝපහාර ලෙසිනි. තමන්ගේ දෙලොව සුබසිද්ධිය සලසා ගනු රිසියෙනි.
වෙසක් මංගල්‍යය වෙනුවෙන් සැරසෙන මේ මොහොතේ බොදු දනන් ආමිෂ පූජාවට සේ ම ප්‍රතිපත්ති
පූජාවට ද මුල් තැන දිය යුතු වේ. බොහෝ බොදුනුවන් ප්‍රතිපත්තිගරුකය. ඒ තුළ ඔවුහු
මෙලොවට සේ ම පරලොවට ද සුවය සලසා ගනිති. සම්බුදු දහමේ මූලික පරමාර්ථය උතුම් නිර්වාණය
සාක්ෂාත් කර ගන්නා මඟට පිවිසෙති. එහෙත් යම් පිරිසක් බොදුනුවන් වුව ද ඒ ධර්ම මාර්ගයේ
ගමන් කරන්නට තවමත් අපොහොසත් ව ඇති සැටියක් පෙනේ. පවුල් පසුබිමේ සිට ගම තුළ, සමාජය
තුළ අසන්නට, දකින්නට ලැබෙන සිදුවීම්, පුද්ගල හැසිරීම් ඊට සාධක සපයයි.
බෞද්ධයා යනු බුද්ධිමතෙකි. ධම්මානුධම්ම පටිපදාවෙහි නිරත බෞද්ධයා කිසි විටෙක
පරිහානියට නොයයි. සියලු බෞද්ධයෝ ඒ තැනට පත්විය යුතු ය. ඒ සඳහා ධර්මය මනාව දැන හැඳින
විමර්ශනශීලී ව ජීවිතයට ප්‍රායෝගික කර ගත යුතු ය. මහා මංගල සූත්‍රයේ දී ධර්ම ශ්‍රවණය
සේ ම, ධර්ම සාකච්ඡාව ද උතුම් මංගල කරුණු බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.
ධර්ම ශ්‍රවණයට සේම දහම් පොත පත කියවා දැනුම ලබා ගැනීමට අපමණ මූලාශ්‍ර වේ. එහෙත්
ධර්මය මුවාවෙන් අධර්මය පතුරවන බලවේග ද වන බැවින් බෞද්ධයා දැඩි විමර්ශනශීලී විය යුතු
වේ. ධර්ම ඥානයෙන් පූර්ණ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ අපට මහා සම්පතක් වේ. උන්වහන්සේ
සම්මුඛ වී තමන් වෙත වන ධර්ම ගැටලු සාකච්ඡා කිරීමෙන්, ප්‍රශ්නකාරී බවක් වූයේ නම්,
නොතේරුන තැනක් වූයේ නම් නිරාකරණය කර ගැනීමේ මග පහසු වේ. මෙහිදී කල්‍යාණ මිත්‍රයන්
වහන්සේ නමක් ම තෝරා ගැනීමට විමර්ශනශීලීවීම වැදගත් ය.
සම්බුදු දහම පිළිපදින පුද්ගලයා කායික ව, වාචසික ව සංවර ය. ඒ සංවරකම කවර සමාජයක
ජීවත් වුව ද තමන් වෙතින් අන්‍යයන්ට දැනිය යුතු ය. මානසික සංවර බව තුළ හික්මෙන
බෞද්ධයා කිසි විටෙක තමන්ට අනර්ථ වන අනුන්ට අනර්ථ වන දෙය නොකරයි. සරු නිසරු දෙය
වටහාගෙන සරු දෙය ම දකියි.
බෞද්ධ ප්‍රතිපදාව මානව හිතවාදී ය. එම ප්‍රතිපදාව තුළ හික්මෙන බෞද්ධයාගෙන් කිසිවිටෙක
තමන්ට හෝ අනුන්ට හෝ අයහපතක්, කරදරයක් සිදු නොවේ. ඔහුගේ ආකල්ප යහපත් ය. තමන් සමඟ
ජීවත් වන අයට, සමස්ත මානව වර්ගයාට, ගහට කොළට මුළු පරිසරයට හිතකාමී ය. මෛත්‍රී සහගත
ය. ඒ මෙත් සහගත සිතිවිලි ම ඔහුට රැකවරණය ලබා දෙයි. ඔහු ජීවත්වන සමාජයට ඔහු කරදරයක්
බාධකයක් නොවෙයි. වෙසක් සමයේ සෑම බෞද්ධයකු ම සිතට ගත යුතු දහම් මඟ යමින් අර්ථ
සම්පන්න ව ජීවත්වීමට ය. එය දෙලොව යහපතට සේ ම සමාජ සුබසිද්ධියට ද මාවතයි. |