ශ්‍රද්ධා සිතින් නිති දන් පුදා දෙලොව යහපත සලසා ගනිමු

ශ්‍රද්ධා සිතින් නිති දන් පුදා දෙලොව යහපත සලසා ගනිමු

මිනිසුන් මසුරුකමින් වැහිලා. එනමුදු ඔබ ඒ අතර දන් පැන් පූජා කරන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. ඒත් අප අතර සිටින බොහෝ දෙනෙක් දන්, පැන් පූජා කරන්නේ අවබෝධයෙන් නොවෙයි. මෙහෙම කියනකොට ඔබට හිතෙන්න පුළුවන් අනේ අපිත් දන්න කාලේ ඉඳලා දන් දෙනවා. හැබෑටම අපිත් අවබෝධයෙන් දන් පිදුව පිරිසක් ද කියලා.

දන් පුදන්නේ කුමට ද?

අද කාලේ බොහෝවිට දානමාන පින්කම් පවත්වන්නේ මියගිය අයට පින් අනුමෝදන් කිරීමට. ඒ අතර සමහර කෙනෙක් උපන්දිනය සැමරීමට ද දන් පැන් පූජා කරනවා. කෙනකුට විශේෂ අරමුණක් නොවෙන්නත් පුළුවනි. කෙසේ වෙතත් බොහෝදෙනා කර්මඵල විශ්වාසයෙන් දන් පැන් පූජා කරන බව නම් සතුටට කාරණයක්.

ශ්‍රද්ධාව ගැන දැන ගන්නේ කෙසේද?

ඔබ තවමත් දානමාන කරමින් ඤාතීන්ට පින් අනුමෝදන් කරයි. පෙරත් එසේ ම යි. මට මෙයට පිළිතුරු දෙන්න. මීට පෙර අනුමෝදන් කළ පින ඤාතීන්ට අනුමෝදන් වූ බව ඔබ දුටුවා ද? ඔවුන් සිහිනෙන් හෝ ඇවිදින් ඒ බව ඔබට දැන්වූවා ද? ඒ ගැන හෝඩුවාවක් නැහැනේ. ඉතින් ඔබ තවමත් ඇයි මේ පින්කම් කරන්නේ? අනික ඒ පිනට මුළා වෙනවද කවුද දන්නේ? ඔබට දැන් හිතෙනවාද අපරාදේ අපේ මහන්සිය කියල නැහැ. ඔබට එහෙම හිතෙන්නේ නැහැ. ඔබට මෙහෙම හිතෙනව නම් ‘මියගිය ඤාතීන්ට පින් අනුමෝදන් කළ හැකි බව අපට කියා දුන්නේ බුදුරජාණන් වහන්සේ, අපි කිසිවක් නො දන්නවා වුණාට සියල්ල දන්නා වූ අපගේ ශාස්තෘන් වහන්සේ ගැන මට විශ්වාසයක් තියෙනවා. ඒ නිසා මේ පින්කම්වලින් අපේ ජීවිතයට බොහෝ සැපය පිණිස පවතින පුණ්‍ය ධර්මයන් එක්රැස් වන බව අපි එකසිතින් විශ්වාස කරනවා. ඒ නිසයි අපි මෙහෙම දන් පැන් පිදීම ආදී පුණ්‍ය ධර්මයන් කරන්නෙ” කියලා එය ඔබේ ශ්‍රද්ධාව විනා අන් කවරක්ද? එසේ නම් පළමු පුණ්‍ය ගංගාව ඔබට තිබෙනවා. හිත හිතා සතුටු වෙන්න.

ඔබට ලැබෙන දේ

ශ්‍රද්ධාවෙන් දන් පැන් පුදන ඔබ බොහෝ දෙනාට පි‍්‍රයමනාප වෙනවා. ඔබේ ඇසුරට සත්පුරුෂයෝ පැමිණෙනවා. ඔබේ කීර්තිය රැව් දෙනවා. විශාරද කෙනෙක් වෙනවා. මරණින් මතු ඔබේ දෙව්විමන් සැප වළක්වන්නට කාටවත් බැහැ. ඔබ අකැමැති වුණත් මේවා ඔබට ලැබෙනවා. ඒ වගේම ආයුෂ, වර්ණ, සැප, බල, පටිභාන ශක්තිය ලැබෙනවා. ඔබ දන්නවාද? මාර්ගඵල අවබෝධයට ඔබේ පින බොහෝ සේ බලපානවා කියලා. ඒ වගේම සිල්වත් ව දන් දෙන කෙනාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා. දැක තිබේද? අසා තිබේ ද?

සමහර අයට ගොඩාක් වත්පොහොසත්කම් තිබෙනවා. ඒත් ඒ අය ඉන්නේ දුප්පතුන් වගේ. කිලිටි ඇඳුම් අඳින්නේ. ගොරෝසු ආහර ගන්නේ. සම්පත් භුක්ති විඳීමට හිත නැමෙන්නේ නෑ. සමහර අය කියන දේ දරුවෝ, සැමියා, බිරිඳ අහන්නේ නෑ. ඇතැමෙක් එහෙම නෑ. හොඳට සැප විඳිනවා. ඔහුගේ වචනයට සුළු මොහොතින් අන් අය අවනත වෙනවා. සමහර අය ව්‍යාපාර පටන් ගන්නවා. ටික කලයි. ඇන හිටිනවා. සමහරුන්ට කිරි උතුරනවා වගේ හරියනවා.

නො මනා කොට දන් දීමේ ආදීනව වශයෙන් තමයි ඒ විදිහට අසාර්ථක වෙන්නේ. මනාකොට අවබෝධයෙන් දන් දුන්නොත් ඇස් පනාපිට ආනිශංස ලැබෙනවා. දැනටමත් ඔබ දන්නවා ඔබේ චේතනාව තුළ තමයි කර්මය රැස් වෙන්නේ. දානයෙන් ලැබෙන විපාක කෙරෙහි ඔබේ සිතේ ස්වභාවය බලපානවා.

මියගිය ඤාතීන්ට පින් අනුමෝදන් වන හැටි

පින් ලබාගන්න පුළුවන් තැනක ඉපදිලා නම් (පරදත්ථූපජීවි පේ‍්‍රත සත්වයෝ) මියගිය අය පින් අනුමෝදන් වෙනවා. මදක් සිතන්න ඔබේ අරමුණ , අනුමෝදන් කරන පිනෙන් ඤාතීන්ට උපරිම සැප ලබාදීම නොවෙයි ද? එසේ නම් ඔබගේ සිත පළමු ව පිනෙන් පුරවා ගන්න. අනතුරුව මිය ගිය ඤාතීන්ට අවශ්‍ය ආකාරයෙන් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරන්න. එතකොටයි ඒ අය ගොඩාක් සැපවත් වන්නේ. ඉන් ඔබේ පින වැඩි වෙනවා. මිස අඩු වෙන්නේ නැහැ. දන් පැන් පිදීමේ දී ශ්‍රද්ධාවෙන් කටයුතු කිරීම පින් පිරෙන පළමු පියවරයි.

දානය පූජා කළ යුත්තේ සකසලා ම යි. පිළිවෙළට පිරිසුදු ව සකසා පිළිගන්වන්න ඕන. ඒ වගේම තමන්ගේ අතින් ම දන් පැන් පූජා කරන්න ඕන. ආදර ගෞරවයෙන් දන් පැන් පූජා කරන්න ඕන. ඉවත දමන දෙයක් ලෙස දන් පූජා කරන්න හොඳ නැහැ. ඒ වගේම දානයෙන් ලැබෙන විපාක මහත්ඵල බව ශ්‍රද්ධාවෙන් අදහාගන්න ඕන. සීලවන්ත කෙනෙක් තවත් සීලවන්ත කෙනකුට ධාර්මික ව සකසාගත් දානය පැහැදුණු සිතින් පූජා කරනවා නම් ඒ දානය මහත්ඵලයි. මහානිසංසයි.

පින මඟ හැරෙනවා ද?

බුද්ධ පූජාව පූජා කරනකොට සමහර අය මතුරනවා. ශබ්ද නඟලා ගාථා සජ්ඣායනා කරන්නේ නැහැ. ඒ මඟහැරියේ ඔබේ පිනයි. ස්වාමීන් වහන්සේට දානය පූජා කරලා. පලතුරු, අතුරුපස ආදිය පූජා කර පසඟ පිහිටුවා වන්දනා කරන්න. සමහර අයට හරිම අපහසුයි. ඒ මඟ හැරී යන්නේ ද ඔබේ පිනයි. කෙනෙක් සියතින් දන් පැන් පිසින්නේ නැහැ. පින සේවකයන්ටයි. සියතින් පූජා කරන්නේ නැහැ. පින් දන් බෙදන කෙනාටයි. විටෙක ගෙදර ස්වාමි දරුවන්ට වඩා සේවකයන් බොහෝ පින් සිදු කර ගන්නා ආකාරය ඔබ දැක ඇති. කෙනෙක් දානය විහාරස්ථානයට යවා රජකාරිය තුළ සිරවෙනවා. දානය පූජා කොට, ධර්මය ශ්‍රවණය කරන්නට ඔබට ලැබෙන මහඟු අවස්ථාව මඟ හැර යන්න එපා. එසේ මඟ හැරියොත් මඟ හැරෙන්නේ ද ඔබේ පිනයි. ඔබට පුළුවන් දන් පැන් පූජා කොට ඔබේ දහම් ගැටලු ස්වාමින් වහන්සේ එක්ක සාකච්ඡා කරන්න. ඒ සෑම අවස්ථාවක ම ඔබේ ජීවිතයට අප්‍රමාණ පුණ්‍ය ධර්මයන් එක්රැස් වෙනවා.

දානය පූජා කරන කොට පින් රැස් වෙනවා. ධර්මය ශ්‍රවණය කළොත් ඒ පින් වැඩිවෙනවා. ඒ වගේම මතක තබා ගත්තත් පින්. ඒ ධර්මය නුවණින් විමසුවත් පින්. දහමේ හැසිරීමෙන් ඔබ ධර්මය අවබෝධ කරනවා ද, එතකොට තමයි සැබැවින් ම දානමය පින්කමක් සර්ව සම්පූර්ණ පුණ්‍ය ධර්මයක් සිදුවන්නේ, අනික ඔබේ පින ඔබ ව සුගතියේ සතුටු කරනවා.

ඒක ඒකාන්තයෙන් ම සත්‍යයක් කියලා කියන්න බැහැ.. දන් පැන් පිදීමේ අරමුණ අනුවයි ඒක සිද්ධ වෙන්නේ. ඔබ දන්නවා ද දන් පැන් පූජා කරන කෙනෙක් නවතින්නේ බ්‍රහ්ම ලෝකයේ. කෙනෙක් දිව්‍ය ලෝකවල, කෙනෙක් මනුස්ස ලෝකයේ. ඒ වගේම සිත පහදවා දන් දෙන අය මගඵල ලබනවා. දන් පැන් පුදා ඇතිවන තෘප්තිය සිතේ එකඟ බව විදසුන් වඩා රහත් වන අයත් සිටිනවා. බලන්න අපි නො දන්න දේවල් කොතෙක් ද? ඒ වගේම දන් දෙන අය තිරිසන් ලෝකයෙත් යන අවස්ථා තියෙන්න පුළුවන්.

එහෙම වෙන්නේ දුස්සීල අයට. දුස්සීල වෙලා දන් දුන් කෙනා දුස්සීල බවේ විපාක වශයෙන් තිරිසන් ලෝකයේ යනවා. හැබැයි දන් පැන් පූජා කළ පිනෙන් එයාට තිරිසන් ලෝකයේ සැප ලැබෙනවා. සමහර විට ඔබ දැක ඇති, මිනිසුන්ට වැඩිය පහසුකම් සහිත ව සතුන් ඇති කරන පොහොසත් ගෙවල්. එහෙම වෙන්නේ දුස්සීල දායකයාට යි. ඒ විතරක් නොමෙයි. හිත අපහදවා ගෙන ඕනෑවට එපාවට කරදරේ වගේ දන් පැන් පුදන අය පේ‍්‍රත ලෝකයේ පවා ඉපදෙන විස්තර ශ්‍රී සද්ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා හොඳින් සකසා ආදර ගෞරවයෙන් ද දානමානාදිය සිදුකරීම ඔබට දෙලොව යහපත පිණිස පවතින බව ඒකාන්තයි.

හරි හමන් කෑමක් බීමක් නැති තිරිසනුන් ඔබ දැක තිබේ ද? එතරම් සිතිය යුතු නැහැ. බලන්න එදාවේල හොයාගන්න නැතුව දුක් විඳින මිනිසුන් කො තරම් ඉන්නවාද? ඇතැම් රටවල මන්දපෝෂණයෙන් පෙළෙන ජනතාව කොතරම් ද? ඒ සියල්ල සිදුවන්නේ සංසාරයේ දන් පැන් නොදුන් අයටයි. ඔබ කැමැති ද එවැනි ඉරණමක් ළඟා කර ගන්න? කරන දේ අවබෝධයෙන් කරනවා නම් ප්‍රශ්නේ ඉවරනේ.

ඒ වගේම දන් පැන් පූජා කිරීමේ දී අඳින ඇඳුම පින කෙරෙහි බලපානවා ද කියලා හිතෙනවා නේද? එහෙම එකක් නැහැ. නමුත් බුද්ධ කාලයේ ඉඳලා චාරිත්‍රයක් තමයි චාම් ඇඳුමකින් සිල්වතුන් වහන්සේ ළඟට පැමිණීම, ඒවා බෞද්ධ චාරිත්‍ර, අනික ඒක රටේ ඉහළින් කතා කරන සංස්කෘතියයි. ඒ ගැන අමුතුවෙන් මොනවා කියන්නද? හැබැයි ඔබ විහාරස්ථානයේ ගත කරන චාම් හැසිරීම ඔබට පින් රැස් කර දෙනවා. දන් පැන් පූජා කරන ඇතැමෙක් බෑග් මලු, පර්ස්, එල්ලාගෙන දන් පැන් පූජා කරන බව ඔබ දැක නැද්ද? ඒවා නම් අශෝභන දේ සැමවිටම ශ්‍රද්ධාව, ගෞරවය. චාම්බව, මෙන්ම සිල්වතුන්, ගුණවතුන් වහන්සේගේ ජීවිතයට අනුග්‍රහයක් වන පරිදි දන් පැන් පිදීමට ඔබ වගබලා ගන්නේ නම් එයින්ද ඔබට ලැබෙන පින මෙතෙකැයි කිව නොහැක. දානමය පින් එක්රැස් කර ගන්න කෙනා බුදුරජාණන් වහන්සේගේ අවවාදය කරන කෙනෙක්. මොකද අවබෝධයෙන් දන් පැන් පූජා කරන ආකාරය අපට කියාදුන්නේ අපේ බුදුරජාණන් වහන්සේයි.

පින වැඩිවන ක්‍රම

දානයට වඩා පින් ලැබෙනවා ඔබ සිල්වත් වීමෙන්. ඊට වැඩියෙන් පින් ලැබෙනවා භාවනාවෙන්. ලෝකයේ සියලු පුණ්‍ය ධර්මයන් පරදවන අප්‍රමාණ පිනක් රැස් වෙනවා. සුළු මොහොතක් මෛත්‍රී භාවනාව කිරීමෙන්, අනිත්‍ය භාවනාව තරම් පිනක් තවත් නැහැ. මේවාට මුදල් වියදම් වෙන්නේ නැහැනේ. කැපවීම තියෙනවා නම්, ශ්‍රද්ධාව තියෙනවා නම් ඔබ ගෙවන ඕනෑම මොහොතක ඔබේ සිත පින් උණන ගංගාවක් වෙනවා.

වෙසක් පුර අටවක

 මැයි 04 ඉරිදා පූ.භා 07.22
පුර අටවක ලබා 05 සඳුදා
පූ.භා 07.39න් ගෙවේ.
04 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 04

Full Moonපසළොස්වක

මැයි 12

Second Quarterඅව අටවක

මැයි 20

Full Moonඅමාවක

මැයි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]