නිවැරැදි ධර්මාවබෝධය පිණිස ගමන් කළ යුතු මඟ

නිවැරැදි ධර්මාවබෝධය පිණිස ගමන් කළ යුතු මඟ

නිර්වාණාවබෝධය පිණිස ආර්ය ශ්‍රාවකයකු විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග දෙකක් ඇත. එනම්, චතුරාර්ය සත්‍ය ආදී ධර්ම කරුණු අවබෝධ කර ගැනීම සහ අවබෝධ කරගත් ධර්මය මෙනෙහි කරමින් තම ජීවිතයට පුහුණූ කර ගැනීම යි.

ධර්මාවබෝධය සඳහා නිවන මූලික කර ගත් ධර්ම දේශනාවලට සවන්දීම, දහම් පොතපත කියැවීම, ධර්ම කරුණු සාකචඡා කිරීම ආදී ක්‍රම ද, ධර්මය පුහුණුවීම සඳහා එකඟ වූ සිතින් යුක්ත ව තෝරාගත් ධර්ම කොටස් ඔස්සේ මෙනෙහි කිරීම හෙවත් භාවනා කිරීම ද සිදු කළ යුතු ය.

වර්තමානයෙහි නිර්වාණාවබෝධය සඳහා උත්සාහවත් වන අයකුට තම ධර්ම ඥානය වඩවා ගැනීමට උපයෝගි කර ගත හැකි මූලික ම මූලාශ්‍රය වනුයේ ත්‍රිපිටකය යි. ධර්ම ඥානයෙහි මුහුකුරා යාම අතින් විවිධ මට්ටම්වල සිටින ඕනෑ ම අයකුට තේරුම් ගත හැකි සරල මෙන් ම, වඩාත් සංකීර්ණ වූ ද දේශනාවන් එහි ඇතුළත් වේ. වඩාත් විපුල අවබෝධයක් ලබා ගැනීම පිණිස ත්‍රිපිටකයට සමාන්තර ව ත්‍රිපිටක අටුවා ග්‍රන්ථ සහ වියතුන් විසින් රචිත ග්‍රන්ථ ද පරිශීලනය කිරීම ඉතා උචිත නමුත්, ත්‍රිපිටකය පමණක් පරිශීලනයෙන් ම ලද හැකි ධර්ම ඥානය බොහෝ ය.

ත්‍රිපිටකයෙහි ඇතුළත් වන්නේ බුද්ධ වචනය යි. බුද්ධ වචනය හෙවත් තථාගතයන් වහන්සේගේ ධර්ම ව්‍යවහාරය, සාමාන්‍ය මිනිස් ලෝකයෙහි සම්මත කරගත් ව්‍යවහාරයට වඩා වෙනස් වන බැවින්, ත්‍රිපිටකය පරිශීලනය කිරීමට යොමුවන අයකු පළමුව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකගේ ප්‍රමුඛ අභිලාශය පිළිබඳ අවබෝධ කර ගත යුතු ය.

සම්මුති ව්‍යවහාරය

මනුෂ්‍ය සමාජය තුළ වන “සම්මුති ව්‍යවහාරය” සැකසෙනුයේ ආර්ය නොවූ පෘථග්ජන සත්ත්වයාගේ මනසට ගෝචර වන අයුරිනි. “තණ්හාව“ නමැති ක්ලේශය පෘථග්ජන සත්ත්වයාට වැටහෙන පරිදි, “ක්ලේශයක්” නොව, තම ජීවිතය පවත්වා ගැනීම පිණිස අත්‍යවශ්‍යයෙන් ම පැවතිය යුතු සාධකයකි. පෘථග්ජන සමාජය වූ කලි තණ්හාවෙහි ගුණ දකින්නෝ වෙති. එහෙයින් ම ඔවුන්ගේ දියුණුව හා උසස් බව තීරණය කිරීමට සම්මත කර ගෙන ඇත්තේ පුද්ගලයකුගේ තණ්හාවෙහි ප්‍රමාණය අනුව වේ. සමාජයට අනුව “තණ්හාව“ බොහෝ සේ ඇත්තා දියුණුව ලබන අතර, “තණ්හාව“ තුනීකර දිවි පවත්වන්නා දියුණුව නො ලබයි. එහෙයින්, සම්මුති ව්‍යවහාරය සකස් ව ඇත්තේ තණ්හාව මිනිසාගේ දියුණුවට උපකාර වන උසස් සාධකයක් ලෙස සලකන අයුරිනි.

ලොව ඕනෑ ම කාලයක පහළවන සියලු බුදුරජාණන් වහන්සේ, තුන්ලොව ඕනෑ ම සත්ත්වයකුගේ ලෝකෝත්තර දියුණුව මෙන් ම, ධාර්මික ලෞකික දියුණුව ද අනුමත කරන සේක. නමුත්, බුද්ධ ඥානයන් අනුව සත්ත්වයාගේ චිත්ත ක්‍රියාකාරීත්වය විමසන බුදුරජාණන් වහන්සේ නමකට පසක්වන කරුණ නම්, ලොව සත්ත්වයා විඳින කුදු මහත් ඕනෑ ම ආකාරයක අභාග්‍ය සම්පන්න සිදුවීම් සමූහයට ඍජු හෝ වක්‍රාකාරයෙන් හෝ බලපාන කරුණ වන්නේ සත්ත්වයා තුළ ඇති “තණ්හාව“ බවත්, සත්ත්වයා විඳින දුක් සමූහය නිමා කර ස්ථිර සැනසීමක් ලබා ගත හැකි එකම මඟ ද මෙම “තණ්හාව“ නැවත හට නොගන්නා පරිදි තම සිතින් දුරු කිරීමෙන් බවත් ය.

සිතෙහි හටගත් තණ්හාව ශේෂයක් නොමැති ව දුරු කිරීම තුළින් උපදින ශාන්ත වූ, සන්සුන් වූ, නැවතුණු සිතක් ඇති ආර්ය ශ්‍රාවකයා, පරිනිර්වාණය තෙක් වූ ඉතිරි ජීවිත කාලය ද මහත් සුවයෙන් ගත කරයි. යළි උපදීමක කැමැත්ත දුරු කළ බැවින්, මතු උපදින දුක් සමූහය ද නැත. එබැවින්, සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක්, තමන් වහන්සේගේ නුවණැසින් දකින පරිදි සුවයන් අතර මහත් ම සුවය “නිවන් සුවය” යි.

එසේ වූ සුන්දර වූ, ශාන්ත වූ, ස්ථිරසාර වූ නිර්වාණ සුවය වෙත ලොව සත්ත්වයාගේ සිත් යොමු කරවීම උන්වහන්සේගේ ප්‍රමුඛ අභිලාශය යි.

උන්වහන්සේ කිසිවිටෙකත් ධාර්මික ව ලබන ලෞකික දියුණුව ප්‍රතික්ෂේප නො කරති. එයට ගර්හා නොකරති. වස්තු සම්පත් රැස්කරමින්, අඹු දරුවන් රැක බලා ගනිමින් දිවි පවත්වන්නා වූ ගිහියකුගේ ක්‍රියාකලාපය හෙළා නො දකිති. නමුදු, තණ්හාව දුරු නොකරමින් කෙලෙස් සහිත ලොවෙහි හැසිරෙන පෘථග්ජනයකුට අත්වන විපත අවබෝධ කර ගත හැකි හෙයින්, පෘථග්ජන දිවි පැවැත්මට වඩා ආර්ය ප්‍රතිපදාව උතුම් යැයි දේශනා කරන සේක. බන්ධනයන්ගෙන් ගහන වූ ගිහි ජීවිතයකට වඩා, බන්ධනයන්ගෙන් තොර වූ පැවිදි ප්‍රතිපදාව උතුම් යැයි දේශනා කරන සේක.

ලොව සත්ත්වයාගේ සිත නිවන කෙරෙහිත්, පැවිදි ප්‍රතිපදාව කෙරෙහිත් යොමු කරනු පිණිස දහම් දෙසීම උන්වහන්සේගේ ප්‍රමුඛ අභිලාශය වන බැවින්, තමන් වහන්සේගේ ධර්ම ව්‍යවහාරය ද එම උතුම් අරමුණ සපිරෙන අයුරින් සකස් කර ගන්නා සේක. එනම්, තමශ්‍රාවකයාගේ සිතෙහි ඇති තණ්හාව තුනී වන පරිද්දෙනි. වස්තු සම්පත්, පිරිවර සම්පත්, ආදී භෞතික වුවමනාවන් මෙන් ම, මානය, සසර බොහෝ කල් පැවැත්මට ඇති ආශාව, දිව සැපත් ලැබීමට ඇති ආශාව ආදී මානසික වුවමනාවන් සපුරා ගැනීමට ඇති නො නිමෙන ආශාව තුනී වන පරිද්දෙනි. නැවත ඉපදෙමින්, බොහෝ සැප සම්පත් උපයා ගනිමින්, ලොව වැජඹීමට ඇති ආශාව තුනී වන පරිද්දෙනි.

එහෙයින්, ත්‍රිපිටකයෙහි ඇතුළත් දේශනාවහි ව්‍යවහාරය, බුදුරජාණන් වහන්සේ නමකගේ මෙම උතුම් අරමුණ ඉටුවන අටියෙන් සැකසී ඇති අතර, ඉහතින් පැහැදිලි කළ පරිදි එම ධර්ම ව්‍යවහාරය පෘථග්ජන සමාජයේ සම්මුති ව්‍යවහාරයට ප්‍රතික්ෂේප වේ. නිර්වාණාවබෝධය පිණිස ත්‍රිපිටක බුද්ධ වචනය කියවා තේරුම් ගැනීමට යොමු වන ආර්ය ශ්‍රාවකයා මෙම කරුණ විශේෂයෙන් වටහා ගත යුතු ය.

නිදසුනක් ලෙස, සාමාන්‍ය ව්‍යවහාරයෙහි දී “දිනීම” යනු දිවි ආයුධාදී නොයෙක් උපක්‍රම උපයෝගි කොට තම සතුරකුට නැවත තමාට එරෙහි ව කටයුතු පැවැත්විය නොහැකි බවට පත්කිරීම යි. එනම්, අනෙකා කෙරෙහි වෛරය පතුරුවන ආකාරයේ ක්‍රියා කලාපයකි. බුදුරජාණන් වහන්සේ ද, “සකලවිධ කෙලෙස්” සත්ත්වයාගේ සතුරකුට සමාන කර, එම කෙලෙස් මැඬලීම සඳහා ආර්ය අෂ්ටාංගික පිළිවෙත අනුගමනය කිරීම “යුද්ධයක්” හා සමාන කර, එම ධර්ම ප්‍රතිපදාව සම්පූර්ණ කර නිර්වාණාවබෝධය ලැබීම “දිනීමක්” හා සමාන කර දක්වන සේක.

එනම්, බුද්ධ වචනයෙහි සඳහන් “දිනීම” යනු සම්මුතියේ ඇති පරිදි තණ්හාව මූලික කර ගත් ප්‍රතිඵලයක් නොව, තණ්හාවට ප්‍රතික්ෂේප වූ, තණ්හාව දුරු කරන ආකාරයේ ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. බුද්ධ ඤානය අනුව සියලු දුක් සර්වාකාරයෙන් දුරු කරන්නා වූ නිර්වාණගාමී ප්‍රතිපදාවට එකඟ වු ඕනෑ ම පිළිවෙතක් මඟින් “දිනීම” වන්නේ ය. එය ලොව තතු ඇති සැටියෙන් දැක, ඇති සැටියෙන් ම වදාරන බුදුරජාණන් වහන්සේ නමකගේ දේශනා ව්‍යවහාරය යි. මෙය වටහා නොගන්නා ශ්‍රාවකයා “ආර්ය ප්‍රතිපදාවෙන් කෙසේ දිනීමක් වේ ද? එය මෙලොව දියුණුවට බාධාවකි” යි සිතා ධර්මය පිළිබඳ වික්ෂිප්ත භාවයක් ඇති කර ගනී.

පෘථග්ජන ලෝකයා වෙත ධර්මය වටහා දීම පහසුකරවීම් පිණිස උපයෝගි කර ගෙන ඇති මෙවැනි උපමා රැසක් බුද්ධ දේශනාවන් තුළ හමුවේ. තථාගතයන් වහන්සේ එම උපමා භාවිත කර ඇත්තේ කාලත්‍රයට ම ගැළපෙන පරිදි ය.

එම උපමාවන් වර්තමානයට නො ගැළපෙන්නේ ය’ යි කියමින් ඒවා වෙනස් කිරීමේ වුවමනාවක් නොමැති අතර, උන්වහන්සේ විසින් බොහෝ කල්පනාකාරී ව තෝරා ගෙන ඇති එම උපමාවන් මෙකල ඇති දෑ සමඟ ප්‍රතිෂ්ඨාපනය කිරීම මඟින් එම ධර්ම කරුණ තේරුම් ගැනීම වඩාත් අපහසුවීමත්, ධර්මය සමාජයේ හාස්‍යයකට ලක්වීමත් හැර කිසිදු යහපතක් සිදු නොවේ.

තවත් නිදසුන් කිහිපයක් දක්වන්නේ නම්, “උසස් අයුරින් ධර්මය පිළිපැදීම” යනු සරල සේ පෙනෙන ධර්ම කොටස් අතහැර දමා බොහෝ ගැඹුරු ධර්ම කොටස් පමණක් වැදගත් ය’යි සැලකීම නොව, තෝරා ගත් සරල වූ හෝ ප්‍රතිපත්තිය නො කඩවා, මනා වැටහීමකින් යුතු ව අනුගමනය කිරීම යි. “උසස් අයුරින් සාංඝික දානය දීම” යනු පි‍්‍රය සම්භාෂණයක සිරියෙන් දීම නොව, ප්‍රතිග්‍රාහක පක්ෂයට සිදුවන යහපත පිළිබඳ සලකා, භික්ෂූන් වහන්සේට අවශ්‍ය ප්‍රමාණයෙන්, පිරිසුදු ව, සාමාන්‍ය ප්‍රණීතබවක් සහිත ව, නිරෝගි බව ලබා දෙන ආහාරපාන, උන්වහන්සේගේ ශාසන ප්‍රතිපත්තීන්ට හානියක් නොවන පරිදි සකසා දීම යි.

එබැවින්, බුද්ධ දේශනාවක සඳහන් යම් හෝ වචනයක ධර්මානුකූල අර්ථය නොවැටහෙන්නේ නම්, සුදුසු අයකුගෙන් අසා දැනගෙන ,එහි උපකාරයෙන් ධර්මාවබෝධය ලබා බියජනක සසරෙන් ගැළවෙනු හැර, ධර්මයට දොස් පවරමින් සිටීමෙහි ප්‍රයෝජනයක් නැත.

ධර්මය වරදවා වටහා ගැනීමේ හානිය

ධර්ම දේශනාවක එන යම් වචනයක්, ධර්ම ව්‍යවහාරය අනුව නොව සාමාන්‍ය සමාජයේ ව්‍යවහාරය හෙවත් සම්මුති ව්‍යවහාරය අනුව තේරුම් ගැනීමක දී සිදුවන අයහපත් ප්‍රතිඵල ද්විත්වයක් නම්, කියවන දෙය කිසිසේත් තේරුම්ගත නොහැකිවීම හෝ කියවන දෙය වරදවා තේරුම් ගැනීම ය. මින් වඩාත් හානිකර වනුයේ ධර්මය වරදවා තේරුම් ගැනීම ය.

කියවන දෙය තමාට තේරුම්ගත නොහැකි වුවහොත් දන්නා අයකුගෙන් විමසිය හැකි ය. එසේ ද දැනගත නොහැකි වුවහොත් කියැවූ කරුණ තේරුම් ගැනීමට අපොහොසත් වූ බැවින් එය මඟහැර වෙනත් කරුණූු වෙත අවධානය යොමු කළ හැකි ය. මින් සිදුවන හානියක් ඇත්නම් එය එක් ධර්ම කරුණක් මඟහැරීයාම පමණි.

නමුත්, කියවන දෙය වරදවා වටහා ගතහොත්, සමස්ත බුද්ධ වචනය ම වරදවා වටහා ගැනීමට පෙළඹීමත්, වරදවා වටහාගත් ධර්මය පිළිපැදීමෙන් මානසික පීඩාවන්ට පත්වීම, උමතුභාවයට පත්වීම මෙන් ම ධර්මය පමණක් නොව එම ධර්මය ලොවට හෙළිකළ බුදුරජාණන් වහන්සේ පිළිබඳ ව අප්‍රසාදයක්, අවිශ්වාසයක් උපදීමත් වැනි අනර්ථකාරී ප්‍රතිඵල රැසක් හටගනී. තම සිතෙහි ක්‍රියාකාරීත්වය නුවණින් විමසීමට අසමත් වන පෘථග්ජනයා මෙම “වරදවා වටහා ගැනීම” වුව ද වටහා ගැනීමක් ම බැවින් “තමා ධර්මය වටහා ගත්තේය” යි සිතා ගනී. එසේම, තම මතය ම උසස් කොට සැලකීමට පුරුදු වී ඇති බැවින් “වරදවා වටහා ගැනීම” වුව ද නිවැරැදි වටහා ගැනීමකි’යි සිතා ගනී. හේ, තම වරද පෙන්වා දෙන්නවුන් කෙරෙහි ද නො කැමැත්තක් පහළ කර ගනී. එබැවින්, යම් බුද්ධ ශ්‍රාවකයකු, තමා විසින් ධර්මය වරදවා වටහා ගැනීම වළක්වා ගැනීම පිණිස කටයුතු නො කරන්නේ නම්, ඔහු නිර්වාණගාමි ප්‍රතිපදාවෙහි ප්‍රමාද වූවෙක් සේ හැඳිනිය යුතු ය.

නිර්වාණාවබෝධය පිණිස බුද්ධ දේශනාවන් කියවා අවබෝධ කර ගැනීම කළ යුතු නමුදු, අවබෝධ කර ගන්නා ආකාරය වැරැදිවනතාක් එයිනුදු බලාපොරොත්තු වන අරමුණ සපුරා ගැනීමට නොහැකි වේ. එබැවින්, ධර්මය දැන ගැනීමට උත්සාහවත් වනවා සේ ම, ධර්මය නිසි අයුරින් අවබෝධ කර ගැනීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ය.

වෙනත් අයකු විසින් පෙන්වා දෙන තෙක් නො සිට තම වරද තමා විසින් ම හඳුනාගැනීම බොහෝ ප්‍රතිඵලදායක ය. අවබෝධ කරගත් ධර්මය ප්‍රායෝගික ව ක්‍රියාත්මක කරමින් තමා ලබන ප්‍රතිඵල, ධර්මයෙහි සඳහන් පරිදි ලැබිය යුතු ප්‍රතිඵල සමඟ සසඳමින්, ධර්මය ප්‍රගුණ කරන උතුමන් වෙත ගොස් හෝ වියතුන් විසින් සම්පාදනය කළ පොතපත කියවා උපදෙස් ලබා ගනිමින්, තම නිර්වාණගාමි ප්‍රතිපදාව නිවැරැදි මඟට යොමු කර ගැනීමට උත්සාහවත් විය යුතු ය.

මෙසේ තම පිළිවෙත්වල අනුකූලභාවය විමසමින්, සිහිය පෙරදැරි කොට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් ගන්නා බුද්ධ ශ්‍රාවකයා බොහෝ කාලයක් ගත වන්නේ වුව ද, නො මඟ නො ගොස් නිවැරැදි ප්‍රතිපදාවෙහි ම රැඳී සිටිමින්, පිළිවෙත් පුරා නිවනින් සැනසී වදාරන්නේ ය.

බක් අව අටවක

 අප්‍රේල් 20 ඉරිදා අ.භා 06.58
අව අටවක ලබා 21 සඳුදා
අ.භා. 06.55 න් ගෙවේ.
21 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 21

Full Moonඅමාවක

අප්‍රේල් 27

First Quarterපුර අටවක

මැයි 04

Full Moonපසළොස්වක

මැයි 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]