බක් අව අටවක පෝ
දා 2025-04-21
වටිනාකම් අගයමු
භාග්‍යවත් බක් මාසයේ උදා වූ සිංහල හින්දු
අලුත් අවුරුද්ද නිමා වූයේ ලාංකේය බොදු ජනතාවගේ සිත් සතන් වෙත
සාමය සතුට ගෙන එමිනි. සම්බුදු දහමින් සුපෝෂිත වූ සිංහල
සංස්කෘතිය, සිංහල බොදු දනන්ගේ ජීවිතය හා බද්ධ ව පවතින්නේ
අපූර්වත්වය මුසු වූ ආධ්‍යාත්මික බවකිනි.
ශ්‍රී සද්ධර්මයට මුල්තැන දෙමින් ආරම්භ කරන
සිංහල අලුත් අවුරුද්ද ජන ජීවිතයේ වටිනාකම් අලුත් කරයි. නවමු
හැඟීමෙන් තවත් වසරක් අරඹන්නට ශක්තිය, ජීවය ලබා දෙයි. වසරක්
පුරා තමන් වෙනුවෙන්, අඹු දරුවන් ඇතුළු තම යුතුකම් වගකීම්
ඉටුවිය යුතු අයගේ ජීවිතය වෙනුවෙන්, ඔවුන්ගේ ඕනෑකම් ඉටු කරන්නට
නොසැලී මුහුණ දුන් අභියෝග, දුක්කරදර, වෙහෙස ඈ මේ සියල්ලට
විරාමයක් දෙමින් උදා වූ පුණ්‍ය කාලය තුළ ආගමික වතාවත් හි නිරත
වෙමින් ජීවිතයට ලබා ගන්නා ආධ්‍යාත්මික වටිනාකම නව වසර
පිළිගන්නට වෙසෙස් උත්තේජනයකි. එය තමන්ගේ ජීවිතයට මෙන් ම අඹු
දරුවන්ගේ ද ජීවිතයට ආදර්ශයකි. ඒ තුළ ගිහි ප්‍රතිපදාව වූ
පන්සිල් ආරක්ෂා කිරීම ප්රමුඛ කොටගත් ධාර්මික ජීවනෝපාය,
යුතුකම්, වගකීම්, මව්පිය වැඩිහිටියන්ට සැලකීම ආදී උතුම් ගුණාංග
පිළිබඳ යළි යළිත් තම තමන්ට ම සිහි කැඳවීම තුළ උදාවන අලුත්
අවුරුද්දේ තමන්ටත්, අනුන්ටත් අර්ථවත් ව ජීවිතය ගත කිරීමට හැකි
වෙයි.
මව්පිය උපස්ථානය සම්බුදු දහමේ අගය කැරෙන
උතුම් මානුෂීය ගුණාංගයකි. ජීවිතය සංකීර්ණ වීමත් සමඟ බොහෝ
දරුවන්ට මවුපියන් බරක් වී ඇති ආකාරය වරින්වර අපට අසන්නට
දකින්නට ලැබේ. මවුපිය හිංසනය, නොසලකා හැරීම බෞද්ධකමට කිසිසේත්
නොගැළපේ. අලුත් අවුරුද්දක් ලබන මොහොතේ හෝ තමන්ගේ කුසින් වැදූ
දරුවන්ගේ මුහුණ බලන්නට නොහැකි ව ලතැවෙන, දෑස් කඳුලින් තෙත් වූ
මව්පියවරු අපමණවත් බෞද්ධයින් අතර ද වෙති. එසේ මවුපියන්ගේ දෑසට
කඳුළක් දී තමන් කොපමණ සතුටු වුව ද එය මිනිස්කමට නිගාවකි. ශ්‍රී
සද්ධර්මය තුළ පිහිටි පුද්ගලයකු කිසි දිනෙක එවැනි පහත් තැනකට
වැටෙන්නේ නැත. යම් හෙයකින් තමන් අතින් එවැනි අඩුපාඩුවක් සිදු
වූවා නම් මේ අවුරුද්දේ, මේ මොහොතේ සිට හෝ එය නිවැරැදි කර
මවුපියන්ට සැලකීමට, ඔවුන්ගේ රිදුණු සිත් සුවපත් කරන්නට
අධිෂ්ඨානයක් ඇති කර ගන්නේ නම් එය ජීවිතය ආලෝකවත් කරන උතුම්
ගුණාංගයක් වනු ඇත.
එකිනෙකාට සුබ පැතීම, ඔවුනොවුන්ගේ ආශිර්වාදය
ලබා ගැනීම අලුත් අවුරුද්දේ තවත් සුවිශේෂී අංගයකි. එය සොඳුරු
හැඟුම් දනවන්නකි. එහෙත් මේ සුබපැතීම්, ආශිර්වාද වචනයට පමණක්
සීමා වන තැන් ද බොහෝ ය. බුදු දහම අවංක බව අගයන දහමකි. තථාගතයන්
වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අනුගමනය කරන ඕනෑම කෙනෙක් වචනයෙන් සේ ම
ක්‍රියාවෙන් ද අවංක විය යුතු ය. ඒ අනුව සුබ පැතීම, ආශිර්වාද
කිරීම අවංක ව කළ යුත්තකි. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, කුහකගති
පසෙක ලා හදවතින් ම පැන නැඟෙන උදාර අරමුණෙන් අනෙකාගේ දියුණුව,
යහපත පැතීමට, අනෙකා වෙනුවෙන් සෙත සැලසෙන ලෙස ආශිර්වාද කිරීමට ඒ
වෙනුවෙන් කළ හැකි දේ කිරීමට උදා වූ මේ අවුරුද්දේ සිට හෝ සිතට
අවධාරණය කරන්නේ නම් ඒ උදාර සිතිවිල්ල ම තමන් උදාරත්වයට පත්
කරනු නොඅනුමාන ය. ඒ, ආධ්‍යාත්මික ගුණ පිරි උතුම්, මනුෂ්‍යත්වයට
ගරු කරන සැබෑ බෞද්ධයාගේ ස්වභාවය යි. |