තෙරුවන් සිහිකිරීමේ අනුසස් අප්‍රමාණ ය

තෙරුවන් සිහිකිරීමේ අනුසස් අප්‍රමාණ ය

මේ මහා භද්‍රකල්පයේ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර සම්බුද්ධත්වයට පත්වුණේ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ කාලයට තමයි මේ කියන්න යන කතාව අයත් වෙන්නේ. ඒ නිසා මේ කතාව ගොඩාක් පරණ එකක්. ඒත් ඒ කථාවෙන් අපට උගන්වන ධර්ම කරුණ නම් තවත් මහා භද්‍රකල්පයක් ගියත් මැකී යන්නේ නෑ. අගය අඩු වෙන්නේත් නෑ.

අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා වගේම කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් කසීරට සේතව්‍ය නුවර එ නමින් ම ප්‍රසිද්ධ වූ උද්‍යානයේ දී නිරුපධිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආදාහනයේ දී ශාරීරික ධාතු බෙදා ගත්තාක් මෙන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු එක් එක් ජන ප්‍රධානීන් හා සිටුවරුන් විසින් බෙදා ගත්තා. දඹදිව වැසියන්ට ලැබුණු ශාරීරික ධාතු තැන්පත් කර රත්රන්, සුවඳ තෙල් හා සුවඳ මැටි ආදිය යොදා ගෙන අලංකාරවත් දාගැබක් ඉදි කළා. ගම්වැසියෝ සුවඳ මලින් නිතර ම දාගැබ් වහන්සේට පුද පූජා පැවැත්තුවා. දෛනික පුරුද්දක් විදිහට හැමදාම උදේටත්, සවසටත්, ඇතැම් අය දවසකට එක් වරක් හෝ සුවඳ මලින් හා සුවඳ දුමින් දාගැබ් වහන්සේට පූජා සත්කාර කළා. මේ ගමේ හැමෝම හරිම ශ්‍රද්ධා සම්පන්න යි. හරිම ධාර්මික යි. කිසිම කෙනෙක් කිසිම කෙනකුට දොස් කියා ගන්නේ නෑ. එකිනෙකාට ගරු සම්මාන කරනවා, හොඳ වචන කතා කරනවා. ප්‍රියමනාප ව හැසිරෙනවා. පිට ගමකින් ආගන්තුකයෙක් මේ ගමට ආවොත් මේ ගම්වැසියන් තුළ තියෙන උසස් ගුණ දහම් දැකලා ඒ අය පුදුමයෙන් පුදුමයට පත් වෙනවා.

දිනක් මේ ගමට එනවා නයි නටවලා කීයක් හරි හොයාගෙන හෝ පොඩි කෑමක් හරි ඉල්ලාගෙන හෝ ජීවත් වෙන අහිගුණ්ඨිකයෙක්. මෙයා තමන්ගේ අඹුදරුවන් පෝෂණය කරන්නේ නයි නටවලා ලැබෙන ආදයමින්. දිනක් ගම පුරාම නයි නටවමින් ගියා. දවස අවසානය වෙන කොට මේ අහිගුණ්ඨිකයාට හරිම සරුයි. මිනිසුන් ඇතිවෙන්න කෑම බීම දුන්නා. තව මුදල් වගේම ආහාර ද්‍රව්‍ය එහෙමත් දුන්නා.

මේ නයි නටවන්නාට හිතුණා ‘මම මෙච්චර කාලයක් නයි නටවන රස්සාව කරනවා. ඒ කවමදාකවත් මේ වගේ හොඳ මිනිසුන් ඉන්න, මේ වගේ කෑම බීම දෙන, උදව් උපකාර කරන අය නම් දැක්කේ නැහැ. මේ ගමේ ජීවත් වුණොත් කිසිම වෙහෙසක් නැති ව සුව සේ ජීවත් වෙන්න පුළුවනි‘යි හිතලා ගමේ එක් එක් තැන්වල නැවතුණා. නතර වන හැම නිවසක ම නිවැසියෝ රෑ නින්දට යන්න ඉස්සෙල්ලා හැමෝ ම ‘නමෝ බුද්ධාය‘ කියලා බුදුරජාණන් වහන්සේගේ ශාරීරක ධාතු තැන්පත් දාගැබ් වහන්සේ පැත්තට හැරිලා වන්දනා කරලා තමයි නින්දට යන්නේ.

මේ නයි නටවන්නා දැඩි මිත්‍යාදෘෂ්ටිකයෙක්. පළමු වතාවට මේ වන්දනාව දකින්නත්, අහන්නත් ලැබෙන කොට පුදුමයට පත්ව හිනා වුණා. මේ ගමේ මිනිසුන්ට මානසික රෝගයක් හැදිලා තියෙන්නේ. මේ ගමේ හැමෝම මිත්‍යාදෘෂ්ටික යි. මිනී ඇටකෑලි තැන්පත් කරලා තියෙන දාගැබකට වන්දනා කරනවා. මේ ලෝකේ දකින්නත් නැති කෙනෙක් සිහි කරනවා. එයාට වන්දනා කරනවා. අනේ මෙහෙමත් මිනිස්සු‘යි කල්පනා කරලා ඔවුන්ගේ එම ක්‍රියාව පහත් තත්ත්වයේ දමා වැඩ කටයුතු කළා. පසු දිනත් ගම්වැසියන් ඒ විදිහට ම නින්දට පෙර ‘නමෝ බුද්ධාය‘ කියලා නින්දට යන්න ගියා. මේ විදිහට දවස් ගණනාවක් යන කොට මේ අහිගුණ්ඨිකයාත් සමච්චලේට වගේ ඒ අය කියන කොට ‘න...මෝ...බුද්ධාය...ආහ් හා....න..මෝ.....බුද්ධාය...ආහ්හා..‘‘ ආදි විදිහට සරදමට මෙන් කියව කියවා නින්දට ගියා. හැමදාම මේ මනුෂ්‍යයාත් මේ වචන කියවනවා. මේ අතරේ ගමට අරගෙන ආපු නයා හොඳට ම වයසට ගිහින් සිටි නිසා අලුතින් නයෙක් අල්ලා ගැනීමට නිතර ම සෝදිසි කරමිනුයි හිටියේ. දවසක් දාගැබ් මළුවට නයෙක් ඇවිත් දාගැබට වන්දනා කරලා පිටත මළුවට ගිහින් තමන්ගේ තුඹසට යන්න ගියා. අහිගුණ්ඨිකයා ඒ යන ගමන් මාර්ගයේ ම ඇවිදගෙන ගිහින් තුඹස තියෙන තැන දැක ගත්තා. නයා තුඹසට රිංගුවා විතරයි නයි මන්තර මතුරන්න පටන් ගත්තා.

අහිගුණ්ඨිකයා බොහෝම සතුටින් මේ වැඩේ පටන් ගත්තේ තමන්ට අලුත් නයෙක් අල්ලාගන්න පුළුවන් වුණා කියන අදහසින්. මෙහෙම මතුරන කොට නයාට බොහෝම කේන්ති ගියා. මේ අහිගුණ්ඨිකයා මට පීඩා කරනවා මොහුට දෂ්ට කරලා දාන්න ඕන. නැත්නම් මට ගැලවීමක් නෑ‘යි හිතලා අහිගුණ්ඨිකයා පස්සෙන් එලවන්න පටන් ගත්තා. පණ බේරාගෙන මේ නයි නටවන්නාත් දැන් දුවන්න පටන් ගත්තා. ගල් මුල්, උස් බෑවුම් තැනි තලා, දිය කඩිති කිසිවක් නො තකා දුවන්න වුණා. මෙහෙම දුවන කොට නයි නටවන්නාගේ අවාසනාවට මහ ගලක පය වැදිලා බිම ඇද වැටුණා. ඒ වැටෙනවාත් එක්ක ම පෙර පුරුද්දට කියව කියවා හිටිය ‘නමෝ බුද්ධාය‘ යන වචනය නො දැනුවත්ව ම කියවුණා. ශ්‍රද්ධා සම්පන්න නාග රාජයා පසුපස හඹා යාම ඒ වචන කන වැකෙත්ම නතර කර දැම්මා. නයාගේ කනට එම වචන අමෘතයක් වගේ වුණා. තුනුරුවන් කෙරෙහි ගෞරවයෙන් කෝපය අත්හැර දැම්මා. අහිගුණ්ඨිකයා ළඟට තව තවත් ළං වෙලා කියනවා.

‘යාළුවේ, බය වෙන්න එපා. නැඟිටලා ආයෙත් දුවන්නත් එපා, පොලු මුගුරුවලින් ගහන්න හදන්නත් එපා. තොප කියපු වචනය මට ඇහුණා. ඒ බුද්ධ මන්ත්‍රයෙන් මා බැඳී ගියා. තොපට දෂ්ට කිරීම අප වගේ අයට සුදුසු නැහැ. මම තොපට බොහෝ ම පැහැදුණා. තොප සිහි කරන්නේ බුදු ගුණයි. එවැනි අයට කවදාවත් අයහපතක් වෙන්නේ නැහැ. මගේ පැහැදීම ඔබට පෙන්වන්න ඕන. මේ රත්රන් නෙළුම් මල් තුන ගන්න. ඔබට පැහැදුණු නිසයි මේවා

දෙන්නේ. මේ එකක් දාගැබ් වහන්සේට පූජා කරන්න, තව මලක් මම වෙනුවෙන් දාගැබට පූජා

කරන්න. අනෙක් මල අරගෙන ගිහින් මිල කරලා අඹුදරුවන් පෝෂණය කරන්න. අද ඉඳලා මේ අහිගුණ්ඨික රස්සාව කරන්න එපා. ධාර්මික ව යහපත් ව ජීවත් වෙන්න‘යි අවවාද කරලා රත්රන් මල් තුනක් නයි නටවන්නාට ලබා දීලා නාගරාජයා තුඹසට යන්න ගියා‘යි කථා පුවතක් සද්ධර්මාලංකාරයේ සඳහන් වෙනවා. බුදුගුණ කියනවා නම්, සිතින් සිහි කරනවා නම්, කයින් ඒවා ක්‍රියාවට නඟනවා නම් ඒ පුද්ගලයාට වැරදීමකින් වත් අයහපතක් සිද්ධ වෙන්නේ නෑ. බුද්ධ, ධම්ම සහ සංඝ කියන්නේ අප කවුරුත් නො හිතන තරම් වටිනා චින්තාමාණික්‍යයක්, සුරභිධේනුවක්, කල්ප වෘක්ෂයක් අපට මෙලොව සම්පතුත්, සතුටත් ලබා දෙනවා, පරලොව දිව්‍ය බ්‍රහ්ම සම්පත් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි සදාතනික සැප ඇති නිවනත් ලබා දෙනවා. ඒ නිසා පින්වත්නි, විහිළුවට හරි යමක් කියනවා නම් ඒත් බුදු ගුණයක් ම කියන්න, බුදු ගුණ ම සිහි කරන්න. තෙරුවන් හඳුනන පුද්ගලයෝ නින්දට ගියත්, වැඩට ගියත්, අවධි වෙන කොටත්, සුබ වැඩක් ආරම්භ කරන කොටත් තම සිතිනුත්, වචනයෙනුත් සිහි කරන්නේ ‘නමෝ බුද්ධාය, නමෝ ධම්මාය, නමෝ සංඝාය‘ යනුවෙන් තුනුරුවන් ම ය. ඇසීමට කැමැති වන්නේ ද තුනුරුවන්ගේ ගුණ ම ය. එවැනි අයගේ ජීවිතය හැමදා ම සතුටින් පිරී යනවා. සුවෙන් ජීවිතය ගත කරනවා. සුව සේ මරණයට පත් වෙනවා. පරලොව සුගතිය ම අත්කර ගන්නවා.

බක් අව අටවක

 අප්‍රේල් 20 ඉරිදා අ.භා 06.58
අව අටවක ලබා 21 සඳුදා
අ.භා. 06.55 න් ගෙවේ.
21 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 21

Full Moonඅමාවක

අප්‍රේල් 27

First Quarterපුර අටවක

මැයි 04

Full Moonපසළොස්වක

මැයි 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]