අකාලික මුනි දහමේ අසිරිය

අකාලික මුනි දහමේ අසිරිය

රත්ගම සුනීත හිමි

ඒ දිනවල අනුරුද්ධ ස්වාමීන් වහන්සේත්, නන්දිය ස්වාමීන් වහන්සේත්, කිම්බිල ස්වාමීන් වහන්සේත් වාසය කළේ ගෝසිංග නම් වූ සල් වනයක. එහි වැඩිය භාග්‍යවතුන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් මෙසේ අසා සිටියා.

“පින්වත් අනුරුද්ධ, කොහොම ද සමඟිය එහෙම? සමඟිව සතුටින් වාද විවාද නැතුව ඉන්නවා නේද? එකිනෙකා කිරියි වතුරයි වගේ පි‍්‍රය ඇසින් බලමින් වාසය කරනවා නේ ද?”

“ඇත්තෙන් ම ස්වාමීනි, අපි සමඟියෙන් ඉන්නේ. අපි සමඟියෙන් සතුටු වෙනවා. වාද විවාද කර ගන්නේ නෑ. කිරියි, වතුරයි එකතු වුණා වගේ අපි එකිනෙකා පි‍්‍රය ඇසින් බලමින් තමයි වාසය කරන්නේ.”

“පින්වත් අනුරුද්ධ, ඔබ කොයි විදිහට ද සමඟි ව ඉන්නේ? සමඟි ව සතුටු වෙන්නේ? වාද විවාද නැතිව ඉන්නේ? කිරියි වතුරයි එකතු වුණා වගේ එකිනෙකා පි‍්‍රය ඇසින් බලමින් ඉන්නේ?”

“ස්වාමීනි, මට මේ විදිහටයි හිතෙන්නේ.

‘ඇත්තෙන් ම මට ලාභයක්. ඇත්තෙන් ම මට යහපත් ලාභයක්. මේ වගේ උතුම් සබ්‍රහ්මචාරීන් වහන්සේ සමඟ එකට ජීවත් වෙන්න වාසනාව ලැබුණා නෙව් කියල.

ස්වාමීනි, ඒ ආයුෂ්මතුන් වහන්සේ මම ඉදිරියේ, වැඩසිටියත් නැතත් මෛත්‍රී සහගත වැඩ කටයුතුවලින් ම යුක්තවෙලයි මම ඉන්නෙ. ඒ වගේ ම ආයුෂ්මතුන් වහන්සේ මම ඉදිරියේ හිටියත් නැතත් මම මෛත්‍රී සහගත කතා බහෙන්මයි ඉන්නේ. ඒ ආයුෂ්මතුන් වහන්සේ මම ඉදිරියේ සිටියත් නැතත් මම මෛත්‍රී සහගත අදහස්වලින් ම යි ඉන්නේ.

ස්වාමීනි, මට මෙහෙමත් හිතෙනවා. ‘මගේ හිත අයින් කරල මේ ආයුෂ්මතුන් වහන්සේගේ හිතේ ස්වභාවය ම ඇති කර ගන්නවා’ කියල. ඉතින් ස්වාමීනි, මම මගේ හිත පැත්තකින් තියනවා. මේ ආයුෂ්මතුන් වහන්සේ හිතන විදිහට ම හිතනවා. එතකොට ස්වාමීනි, අපි වෙනස් වෙන්නේ සිරුරුවලින් විතරයි. අපි හදවත්වලින් එකයි.”

සම්බුදු රජාණන් වහන්සේගේ ළය මඬලේ උපන් උතුමන් වහන්සේගේ ජීවිත තුළ, මෙත් සිත හා සමඟිය, නිවන් මඟ පිණිස වැඩී ඇති ආකාරය නම් හරි අපූරුයි. කොහොම ද ඒ උතුමන් වහන්සේ සමඟි සම්පන්න ව වාසය කරන්නේ? බලන්න එහි ඇති සුන්දර ධර්මය. එහෙනම් අපිත් එකිනෙකාගේ සමඟිය පිණිස, එකිනෙකා සමඟ එකට වාසය කිරීමේ ගුණය ම යි සිතන්න ඕන. තමා ඉදිරියේ සිටියත් නැතත් මෛත්‍රී සහගත ක්‍රියාවෙන්, වදනින්, සිතින්, වාසය කරනවා කියලයි හික්මෙන්න ඕන. එහෙම හැසිරෙන ශ්‍රාවක පිරිසක් සමඟි සම්පන්න ව වාසය කරනවා කියන එක සිද්ධ වෙන දෙයක්.

සංඝ රත්නයේ සමඟි සම්පන්නභාවය කියන්නේ කුමක්ද? අපි බලමු භාග්‍යවතුන් වහන්සේගේ විවරණය ඒ ආකාරයෙන් ම.

“ස්වාමීනී, ‘ සංඝ සාමගි‍්‍රය, සංඝ සාමගි‍්‍රය’ යැයි කියනු ලැබේ. කවර කරුණු මත සංඝයා සමගි වන්නේ වෙයි ද?”

“උපාලි, මෙහි ලා භික්ෂුව අධර්මය අධර්මය වශයෙන් පෙන්වයි. ධර්මය ධර්මය වශයෙන් පෙන්වයි. අවිනය අවිනය වශයෙන් පෙන්වයි. විනය විනය වශයෙන් පෙන්වයි. තථාගතයන් විසින් නො පැවසූ, නො කියූ දෙය තථාගතයන් විසින් නො පවසන ලද්දේ ය, නො කියන ලද්දේ ය වශයෙන් පෙන්වයි.

තථාගතයන් විසින් පැවසූ, කියූ දෙය තථාගතයන් විසින් පවසන ලද්දේ ය, කියන ලද්දේ ය වශයෙන් පෙන්වයි.

තථාගතයන් විසින් පුරුදු නො කරන ලද දෙය තථාගතයන් විසින් පුරුදු නො කරන ලද්දේ ය වශයෙන් පෙන්වයි. තථාගතයන් විසින් පුරුදු කරන ලද දෙය තථාගතයන් විසින් පුුරුදු කරන ලද්දේ ය වශයෙන් පෙන්වයි.

තථාගතයන් විසින් නො පනවන ලද දෙය තථාගතයන් විසින් නො පනවන ලද්දේ ය වශයෙන් පෙන්වයි. තථාගතයන් විසින් පනවන ලද දෙය තථාගතයන් විසින් පනවන ලද්දේ ය වශයෙන් පෙන්වයි.

ඔවුහු මෙම දස කරුණෙන් සංඝයා තමා වටා රැස් නො කරත්. විශේෂයෙන් රැස් නො කරත්. වෙන් වෙන් ව කර්ම නො කරත්. වෙන් වෙන් ව ප්‍රාතිමෝක්ෂය නො දෙසත්. උපාලි, මෙ පමණකින් සංඝ සාමගි‍්‍රය වූයේ වෙයි.”

බලන්න, අකාලික මුනි දහමේ අසිරිය. නිවැරැදි ඉලක්කයට ශ්‍රාවකයාට ඇවැසි සියලු කාරණා අර්ථ සහිත ව භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දී තිබෙනවා. පිරිසක් එකට වාසය කිරීමේ දී අදහසින් විවිධ වූව ද, නිවන් මඟ තුළ හික්මීමේ එක අදහසක සියලු දෙනා සිටිනවා නම්, ඔවුන් තුළයි සමඟිය පවතින්නේ. ඉහත කාරණා හොඳින් විමසන්න. තථාගත ධර්මය විකෘති නො කරන, තථාගත විනය වෙනස් නො කරන, තථාගත වචනය වෙනස් කොට පෙන්වා නො දෙන, වෙනස් කොට පුරුදු නො කරන, පිරිසකට තමයි සමඟි සම්පන්න වීමේ භාග්‍යය උදා වන්නේ. ඒ වගේ ම තථාගතයන් වහන්සේ පනවා වදාරන ලෝක සත්‍යයන් එසේ නො පනවන ලදැයි වෙනත් වූ අදහසක වාසය කිරීමත් සමඟිය අහිමි කරවන්නක් ම යි.

ශ්‍රාවක සංඝරත්නය සමඟියෙන් යුතු ව ම වාසය කිරීමෙන්, ඔවුනොවුන් නිවන නැති කර ගන්නේ නෑ කියල භාග්‍යවතුන් වහන්සේ ඉතිවුත්තක පාලියේ සංඝ සාමග්ගි සූත්‍රයේ දී පෙන්වා දෙනවා.

“පින්වත් මහණෙනි, මේ ලෝකයේ හට ගන්නවා නම් හට ගන්නා වූ එක ම එක දෙයක් තිබෙනවා. අන්න ඒ දෙය බොහෝ දෙනකුට යහපත පිණිස, බොහෝ දෙනකුට සැපය පිණිස හේතු වෙනවා. බොහෝ මිනිසුන්ගේත්, දෙවියන්ගේත් අර්ථය පිණිස, යහපත පිණිස, සැපය පිණිස ම යි හේතු වෙන්නේ.

මොකක්ද ඒ එක ම එක දෙය? එනම් සංඝයාගේ සමඟිය යි. පින්වත් මහණෙනි, සංඝයා සමඟි වුණ විට, ඔවුනොවුන් කෝලාහල කර ගැනීම් නෑ. ඔවුනොවුන් බැණ ගන්නෙත් නෑ. ඔවුනොවුන් වට කරගෙන රණ්ඩු වෙන්නෙත් නෑ. ඔවුනොවුන් ඇසුරෙන් බැහැර කරල දමන්නෙත් නෑ. එතකොට අපැහැදී සිටින අයත් පැහැදෙනවා. පැහැදුන අයගේ ඒ පැහැදීම ගොඩක් වැඩිවීම පිණිසත් හේතු වෙනවා.

සංඝයාගේ සමඟියත්, සමඟි වූ අයට අනුබල දීමත් සැපයක්. සමඟියේ ඇලුනු, ධර්මයේ පිහිටි කෙනා තමන්ගේ අමා නිවන නැති කර ගන්නේත් නෑ. සංඝයා සමඟි කරලා, කල්පයක් දෙව්ලොව සතුටු වෙනවා.”

සාමය හා සමඟිය ආරක්ෂා කරන්නට සමාජයේ නම් නීති, දඬුවම් ආදියත්, පොලිසිය උසාවිය වැනි ආයතනත් තිබෙනවා නේ ද? ඒවාට බයෙන් තමයි සියලු දෙනා ම නීතිය රකින්නේ. ඒ නිසා ම රහසේ නීති කඩන්නට ඇතැමුන් පෙළඹෙනවා. ඉතා පුංචි කරුණකට ඉවසීම ඉක්මවා යන සිතක් දරුණු අකුසල් කර ගෙන තමයි නීතියේ දඬුවමට යටත් වෙන්නේ. ඒ වගේ ම නීතියේ රැහැනින් පළා යන්නේ.

නමුත් සුන්දර වූ, ශාන්ත වූ සත්පුරුෂයන් රැඳි සංඝ රත්නයේ සමඟිය රැකෙන්නේ ධර්මයක් මතයි. කුසල් සිතක් ඇසුරු කර ගෙනයි. ධර්මය රකින්න රකින්න, තථාගතයන් වහන්සේගේ අවබෝධය තුළ වැඩෙන ශ්‍රද්ධාව දියුණු කරන්න කරන්න, තථාගතයන් වහන්සේගේ වචනය පිරිසුදු ව නො වෙනස් ව පුරුදු කරන්න කරන්න ම යි සංඝ සමඟිය රැකෙන්නේ.

ශ්‍රාවක ජීවිතයක දී අපිටත් බොහෝ කාරණා පුරුදු කර ගන්න මේ ඔස්සේ පුළුවන්කම තිබෙනවා. අපේ ජීවිතේ එකිනෙකාට තිබෙන රුචි අරුචිකම් වෙනස්, එකිනෙකා සිතන රටාවන් වෙනස්, ඇසුරු කිරීමට කැමති පිරිස වෙනස්, ඇත්තෙන් ම අපේ චරිත එකිනෙකාට වෙනස්. අප එකිනෙකා වෙනස් වුව ද ජීවත් වෙන්නට සිදුව ඇතේ සාමූහික ව නො වේ ද? එක් ව ජීවත්වීමේ දී අපට යහපත් ලෙස හෝ අයහපත් ලෙස හෝ එකිනෙකා ව පේනවා. ගුණවත්කම් ද, අඩුපාඩු ද, දොස් ද අනෙකාට පේනවා. අනෙකාගේ හෝ පිරිසගේ හෝ ගුණ අගුණ සැසඳීමට යනවා, කථා කිරීම ද, ක්‍රියා කිරීම ද එකිනෙකාට පි‍්‍රය හෝ අපි‍්‍රය හෝ වෙනවා. එහෙත් පිරිසක් එකට වාසය කිරීමේ දී සමඟි සම්පන්නභාවය තරම් සොඳුරු අත්දැකීමක් තවත් තිබේද? තමාගේ පෞද්ගලිකත්වය කැප කොට එකිනෙකාගේ සමඟිය පිණිස යම් පිරිසක් වාසය කරන්නේ නම්, එතැන ඇති පහසුව ඉතා මිහිරි වූ අත්දැකීමක් ම යි. ඒ මහා සංඝරත්නය ගුණයක් මත පිහිටා රකින සමඟි සම්පන්න භාවය ඇත්තෙන් ම සුන්දර යි.

ශ්‍රාවක ජීවිතය සමඟිය කියන ධර්මයෙන් සුන්දර කර ගන්නට නම්, ඒ ගුණ ධර්ම පුරුදු කිරීම ම යි හොඳ. පිරිසක් සමඟ වාසය කිරීමේ දී පි‍්‍රය ඇසින් වාසය කිරීම ම යි හොඳ, මෛත්‍රී සහගත වීම මයි හොඳ. වරදට සමාව දීම ම යි හොඳ. වරදට සමාව ගැනීම ම යි හොඳ. එකිනෙකාගේ අගුණ කතා නො කිරීම ම යි හොඳ. අන්න ඒ ශ්‍රාවක පිරිස තුළ ඔවුනොවුන් අතර කෝලාහල කර ගැනීම් නෑ. ඔවුනොවුන් බැණ ගන්නෙත් නෑ. ඔවුනොවුන් වට කරගෙන රණ්ඩු වෙන්නෙත් නෑ. ඔවුනොවුන් ඇසුරෙන් බැහැර කරල දමන්නෙත් නෑ. එතකොට අපැහැදී සිටින අයත් පැහැදෙනවා. පැහැදුන අයගේ ඒ පැහැදීම ගොඩාක් වැඩිවීම පිණිසත් හේතු වෙනවා. එවිට ලෝකය පහදින්නේ සුගත වූ නිවන් මඟටයි. මේ නිසා ම යි සංඝරත්නයේ සමඟිය ලෝකයට මහත් වූ සැපයක් ම වන්නේ.

බක් අව අටවක

 අප්‍රේල් 20 ඉරිදා අ.භා 06.58
අව අටවක ලබා 21 සඳුදා
අ.භා. 06.55 න් ගෙවේ.
21 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 21

Full Moonඅමාවක

අප්‍රේල් 27

First Quarterපුර අටවක

මැයි 04

Full Moonපසළොස්වක

මැයි 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]