භාග්‍යවත් බක් මාසයේ අවුරුදු මංගල්‍යයේ අසිරිය

භාග්‍යවත් බක් මාසයේ අවුරුදු මංගල්‍යයේ අසිරිය

බැලු බැලූ අත සුවඳැති මල් ය. හැම අත පල බර තුරු ය. ජන මන පුබුදුවා පැතිරී යන විහඟ ගීතයන් ය. බක් මහ අවුරුදු මංගල්‍යයේ අසිරිය - භාග්‍යවත් බක් මාසය ම රත්පැහැ එරබදු මලින් ද, කර්ණරසායන කෝකිල කූජනයෙන් ද සිහිගන්වයි. කැවුම්, කොකිස්, ආස්මි සුවඳ පැතිරුණු අවුරුද්දේ මිහිරියාව සොඳුරු වසන්තය ළමා පෙළ ප්‍රමුඛ සිරිලක කොයිකාගෙත් සිත්සතන් උද්දාමයට පත්කරවයි.

සිරිලක් ජන සන්තානය අමන්දානන්දයෙන් පුරවා ජන සමාජයේ බාල -තරුණ - මහලු කොයිකවුරුත් මිතුරු දමින් යදමක් ව බැඳී, උද්යෝගයෙන් හා මහත් වූ උද්දාමයෙන් යුතු ව බක්මහ මංගල්‍යය සමරති. වඩාත් ප්‍රශස්ත, ආදර්ශවත් වත්පිළිවෙත්, සිරිත් විරිත්, ඇවතුම් පැවතුම් දාමයක් සිංහල හින්දු අලුත් අවුරුද්ද තුළින් ඉස්මතු වෙයි.

අලුත් අවුරුදු චාරිත්‍රයන්හි විද්‍යාත්මක බව ද, මනා සමාජ පැවත්මට හා ප්‍රගමනයට මඟ පෙන්වූ බුදුදහමේ හර පද්ධතියෙන් වියෝ නොවී එහි ආභාසය ලැබීම ද අලුත් අවුරුද්ද මංගල්‍යයක් ලෙසින් හඳුන්වාලීම අර්ථාන්විත ය.

මනුෂ්‍යත්වය ඔප්නංවා, මෛත්‍රිය, මුදිතාව, දයාව කුළුගන්වා, අමනාපකම් අමතක කර, වැරැදි හදාගෙන, සමාව දී, අලුත්වීම නිසා ලක්වැසි සමාජයේ මිනිස් සන්තානයේ සිතුවිලි ධාරාව අවුරුදු මංගල්‍යයත් සමඟ ම පිරිසුදු වෙයි. අලුත් වෙයි.

සුහදත්වයේ දෑත් අසල්වැසි මිතුªරන් වෙත යොමු වනුයේ හදපිරි ආශීර්වාදාත්මක සුබපැතුම් හා රසබර රසකැවිලි සංග්‍රහයන් ද සමඟිනි. ළමා ළපටීන් – අපේ බාල පරපුර, අසල්වාසී මිතුරු මිතුරියන් සමඟින් කුළුපඟ ව, ළෙන්ගතුව සමඟියෙන් ,එකමුතු බවින් බැඳීමට අවුරුදු සමයේ දී වඩවඩාත් මං පෙත් පෑදෙයි.

වැඩිහිටියන් වී සහජීවනයෙන්, මිතුරු දමින් ක්‍රියා කිරීමට, කලණ මිතුදමට මේ බැඳියාව පදනම දමයි. ජවසම්පන්න ජාතියකට, සෞඛ්‍ය සම්පන්න මිනිස් පවුරකට අවුරුදු මංගල්‍යයේ ජනක්‍රීඩා මනා පිටිවහලකි. අන්‍යොන්‍ය බැඳීම, සමානාත්මතාව, මෛත්‍රිය, ලෙන්ගතුකම මෙන් ම ජය පරාජය භාරගැනීම, ඉවසීම, සමඟි සම්පන්න බව යන ගුණාංග ඉහළ දියුණු සමාජ සංස්ථාවකට අත්‍යවශ්‍ය අමිල සාධක වෙයි.

ආගමික වත්පිළිවෙත් මුල්තැන්හි තබා පුරාණ සත් චාරිත්‍ර ධර්ම පිළිපදිමින් මහ සඟරුවන දෙපා වැඳ ලබා ගන්නා ආශීර්වාද හා අනුශාසනා සිරිලක් සමාජයේ ඔපවත් බවට හා ශිෂ්ට සම්පන්න හැදිච්ච බවට මනාව උපකාරවත් විය. අවුරුදු මංගල්‍යයේ පුණ්‍ය කාලය, හිසතෙල් ගෑමේ අවස්ථා මේ බැව් හොඳින් තහවුරු කරයි.

වසරක් පුරාවට ඇඟ සවි වැය කොට අටුකොටු පුරවාගත් හෙළයෝ තම දූ දරුවන් හා බිරියගෙන් සුසැදි පවුල් සංස්ථාවේ සතුට, සමගිය, සොම්නස් හදින් යුතු ව පිරුණු සෙනෙහසින් අසල්වාසි නෑ සිය, හිතමිතුරු සැමට තිළිණ කරමින් අවුරුදු මංගල්‍යයේ සැබෑ මිහිර මොනවට අත්විඳිති. පැහැබර පාරිසරික තත්ත්වය හා බැඳුණු මෙම මිනිස් සිතේ වූ විවේකී, සාමකාමී ප්‍රසාදය මිනිස් මනස අලුත් වීමට ද, චින්තන ශක්තියේ නවමු මංපෙත් විවරවීමට ද හේතු වෙයි.

දෑතේ ශක්තියෙන්, බාහු බලයෙන්, දහඩිය වගුරවමින්, අනලස් ව වීර්යයෙන් අපේ ඇත්තෝ කඨෝර අව් රශ්මිය ද, රාත්‍රියේ හේනේ පැලේදී ගත සිත වෙවුලන ශීත ද සියලු ආකාරයේ කාය චිත්ත පීඩා ඉවසා ක්‍රියා කළහ. තම දරු පවුලේ අභිවෘද්ධියට ධෛර්යය සම්පන්න වූහ. මහත් ආයාසයෙන් අත්පත් කර ගත්තා වූ අස්වැන්න ගමින් ගම, දොරින් දොර සෞභාග්‍යයේ සතුටු සිනහ නැංවීය. අටුකොටු පිරවුණු හෙළයෝ එහි සතුට, සොම්නස සිය නෑදෑ පිරිස හා ඒකරාශී ව අවුරුදු මංගල්‍යයත් සමඟින් භුක්ති වින්දෝ ය. අපේකම, ඥාතීත්වය, ආදරය, දයාව ඉන් මොනවට ඉස්මතු වුණි.

මෙලෙස ආර්ථිකය හා ආධ්‍යාත්මය සමබර ව වර්ධනය කර ගැනීමෙහි ලා එදා ලක්වැසි ජනතාවට බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීම් සමුදාය මොනවට පිහිටාධාර වුණි. එනිසා ම යහපත් සමාජ සංස්ථාවකට ද, දිදුලන පුද්ගල චරිතයකට ද මඟ පෑදුණි.

සැබෑවට ම සිංහල හින්දු අලුත් අවුරුද්ද බුදුදහමේ උතුම් සදූපදේශ රැසක් කුළුගන්වයි. පවර මහ සඟරුවන" මවුපිය, ගුරුවරු, වැඩිහිටි සැවොම අත්‍යුදාර ගෞරවයෙන් නැමදීම, බුහුමන් දැක්වීම, අප සමඟ වෙසෙන සමාජයේ කොයිකවුරුත් සමඟත් හොඳ හිතින් මිතුරුදමින් බැඳීම, මෛත්‍රී, දයාව, ඉවසීම, පරෝපකාරය, සමානාත්මතාව, පරිත්‍යාගය යන සියල්ල ද නැතහොත් එකිනෙකා කෙරෙහි හොඳ හිත පතුරුවාලීම සිංහල අවුරුද්දේ කැපී පෙනෙන සත්චාරිත්‍ර ධර්මයෝ වෙති.

සිරිලක් ජනතාවගේ අවුරුදු මංගල්‍යය හා ඉන් පිළිබිඹු වන උතුම් පුරුෂාර්ථ ලක්දිවට පමණක් නොව මුළුමහත් ජගත් ප්‍රජාවට ම මහා ආලෝක ධාරාවකි.

බක් අව අටවක

 අප්‍රේල් 20 ඉරිදා අ.භා 06.58
අව අටවක ලබා 21 සඳුදා
අ.භා. 06.55 න් ගෙවේ.
21 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 21

Full Moonඅමාවක

අප්‍රේල් 27

First Quarterපුර අටවක

මැයි 04

Full Moonපසළොස්වක

මැයි 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]