සිහල දැය එකලු කළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ
රාජකීය පණ්ඩිත,
ශාස්ත්‍රපති
පිටිගල උත්තමඤාණ හිමි
දහවන සියවස යනු සිංහල බෞද්ධයන්ට රාජ සභාවේ හෝ ජන සභාවේ හෝ මම බෞද්ධයෙක්මි යි
ප්‍රකාශ කිරීමට පවා අවසර නො වූ සමයකි.
සිහල දැයත්, සිහලකමත්, බොදු දහමත්, ශබ්දශාස්ත්‍රයත් නිලීනව, මිලානව යමින් පැවති
එබදු දුර්දශාපන්න වකවානුවක ය අප කථානායකයාණෝ මෙලොව එළිය දුටුයේ, ඒ වර්ෂ 1827 වැන්නේ
ජනවාරි මස 20 වැනි දින හික්කඩුව නම් ගම් පියසේ දී ය. හික්කඩුවේ හෙට්ටිගොඩ ගම්වැසි
ජොහාන්ස් අබේගුණවර්ධන රාලහාමි හා දණ්ඩන්ගොඩ ගමගේ ක්‍රිස්තිනාහාමි යන දම්පතීහු මෙම
පින්වත් කුමරුගේ දෙමාපියන් වූහ. මෙම කුමරාගේ ගිහි නම වූයේ නිකුලස් අබේවීර
ලියනාරච්චි ගුණවර්ධන යන්න යි.
කෙමෙන් සිව්වන වියට පත් නිකුලස් කුමරුවාණන්ට අධ්‍යාපනය හැදැරීමට කාලය එළඹියේ ය.
1832 වසරේ මැයි මස සුබ දිනයක දී ගමෙහි වූ තිලකාරාම විහාරස්ථානයේ හික්කඩුවේ සෝභිත
හිමියන් යටතේ ප්‍රාථමික අධ්‍යාපනයට යොමුවන්නේ ඒ අනුව ය. කල් යත් ම බුදුසසුන කෙරේ තම
සිත් නෙත් යොමුවීම නිසා 1840 වර්ෂයේ නොවැම්බර් මස දී ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ
ශ්‍රී රාහුල හිමියන්ගේ පාදස්පර්ශය ලත් පින්බිමෙහි තොටගමු විජයබා විහාරස්ථානයේ දී
පැවදි දිවියට එළඹියේ මාබොටුවන රේවත හිමියන් හා මැලෑගොඩ ශ්‍රීනිවාස ගුණරතන යන
හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් හික්කඩුවේ ශ්‍රී සුමංගල යන නමිනි.
අනතුරුව පැවිදි අධ්‍යාපනය වළානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් ආදි බහුශ්‍රැත මහ තෙරවරුන්
ඇසුරෙන් හදාළ එතුමා ඉතාමත් උත්සාහයෙන්, ධෛර්යයෙන් හා කැපවීමෙන් අධ්‍යාපනය හදාළ අතර,
නිසර්ග බුද්ධිය හා සහජ දක්ෂකම නිසා ම ගුරුවරුන් දැක්වූ දෙය සියගුණයෙන් අවබෝධ කර
ගැනීමට දක්ෂ වූයේ ය. උගතමනා බණ දහමින් සුපිරිපුන් බුද්ධියෙන් හා නිසි වයසින් ද හෙබි
සුමංගල තෙරණුවෝ 1848 වන වර්ෂයේ දී මහනුවර මහාවිහාර මංගල උපෝසථාගාරයේ දී උපසම්පදා
පදවියට පත් වූයේ ය.
උපසම්පදාවෙන් අනතුරුව තම විහාරස්ථානයට වැඩම කළ උන්වහන්සේ බොහෝ දෙනාගේ අභිවෘද්ධිය හා
ධර්මශාස්ත්‍ර විෂයයේ දියුණුව පිණිස ද සිය සිත්නෙත් යොමු කළහ. තම සේවයේ මූලාරම්භය
සනිටුහන් කරමින් ප්‍රථම ජාතික සේවාව වශයෙන් 1858 දී පමණ ගාලු පළාතේ පැවති
ක්‍රිස්තියානි බලය මැඩීමට ලංකෝපකාර නම් මුද්‍රණාලයක් පිහිටුවා, එහි ලංකාලෝක නම්
පුවත්පත හා තවත් කුඩා පොත් හා සඟරා මුද්‍රණය කරවා බෙදාහරිමින් බෞද්ධ බලය වර්ධනය
කළහ.
මෙම වකවානුව වනවිට භික්ෂු අධ්‍යාපනය ලොප් කොට දමා මිසදිටු මිෂනාරින්ගේ අධ්‍යාපනය
ලැබීමෙන් සිංහලයන් ආර්ය සිංහල සභ්‍යත්වයත්, ආර්ය සිංහල නාමාවලියත් යන උතුම්
අනන්‍යතා අතහැර සිටි සමයකි. නිවැරැදි ව සිංහල වාක්‍යයක් ලියාගත නොහැකි ස්වදේශීය
පිරිසක් සිටි සමයකි. මෙකල ලක්දිව ශාස්ත්‍රාලෝකය පැතිරවීමට මහත් ආයාසයක් ගත්
ජාතිවාත්සල්‍යයෙන් යුතු පිරිසකගේ ඇරයුම පරිදි හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන්
1871 දී ගාල්ලෙන් කොළඹ මාලිගාකන්දට වැඩම කොට අරාජිකත්වය නමැති තිමිර පටලයෙන්
වැසෙමින් තිබූ ලක්දෙරණත්, තත් සංස්කෘතියත්, සභ්‍යත්වයත් එකලු කරනුවස් ශ්‍රී සුමංගල
නමැති මුදුන් පහනින් යුතු විද්‍යාදය නමැති ප්‍රදීපස්ථම්භය 1873 වර්ෂයේ දී
පිහිටුවාලූහ.
විද්‍යොදය පිරිවෙණ පිහිටුවා ලක්දෙරණ හා ලෝකය ම ධර්ම ශාස්ත්‍රාලෝකයෙන් එකලු කරන සමය
වනවිට උන්වහන්සේ අනභිභවනීය විශාරදත්වය හා සාර්වභෞම පාණ්ඩිත්‍යය යන අංගයන්ගෙන් හෙබී
සිටියහ. උන්වහන්සේ ධර්ම විනය කෙරේ අතිශය ගෞරව සම්ප්‍රයුක්ත වූවා සේ ම ත්‍රිපිටකය
විෂයයෙහි පාරප්‍රාප්ත වූයේ විය. බුදුදහම පමණක් නොව තත්කාලීන ව විශ්වව්‍යාප්ත ආගම්
වූ ක්‍රිස්තියානි ආදි ආගම් පිළිබඳ ව ද උන්වහන්සේ පෘථුල දැනීමකින් සන්නද්ධ වූහ.
උන්වහන්සේ පරිහරණය කළ ඉංග්‍රීසි බයිබලය වර්තමානයේ ද විද්‍යොදය පිරිවෙන් බිමේ
දිස්වේ. මෙ මඟින් ලද ගැඹුරු ඥානය මඟින් විශාරද ගුණය උන්වහන්සේගේ චරිතය සිසාරා
දිස්විය. උන්වහන්සේ පාලි,සංස්කෘත, ප්‍රාකෘත, බෙංගාලි, සිංහල, හින්දී ආදි පෙරදිග
භාෂා ශාස්ත්‍ර විෂයයේ පමණක් නොව න්‍යාය දර්ශනය, තර්ක ශාස්ත්‍රය, ජ්‍යොතිෂය,
ව්‍යාකරණ සහිත නානා ශාස්ත්‍රයන්හි හා විෂයය ක්‍ෂේත්‍රයන්හි පාරප්‍රාප්ත වූහ.
එබැවින් හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ චරිතය තුළ සාර්වභෞම
පාණ්ඩිත්‍යය නිරන්තරයෙන් ම පිළබිඹු විය. එය එතුමාගේ ලෝක ශාසනික අභිවෘද්ධිදායී
කර්තව්‍යයෙන් අතිශයින් ම මහෝපකාරී විය. උන්වහන්සේ ජාතික හා ශාසනික සේවය නඟා
සිටුවීමට අනුගමනය කළේ සපුරා පැරැණි නොවූ ද, සපුරා අලුත් නොවූ ද ස්වකීය පිළිවෙතකි. ඒ
බව විද්‍යොදය පිරිවෙණේ අධ්‍යාපන පටිපාටියෙන් ම විශද වේ. එය සර්වාකාරයෙන් ම සඵලදායී
විය. වත්මනෙහි ද එය සාර්ථක ප්‍රතිඵල අත්කර දෙමින් සිටී. එබැවින් උන්වහන්සේ තුළ හා
උන්වහන්සේගේ ක්‍රියාදාමය තුළ අර්ථ පූර්ණත්වය, ප්‍රතිභාපූර්ණත්වය නිරන්තරයෙන්
දිස්වෙයි. සිය සේවාවන්ට එය ප්‍රධාන වශයෙන් හේතුපාදක වූවාට සැක නැත. මෙම නිසා සුමංගල
නාහිමිපාණන් වහන්සේ තත්කාලීන ව දේශ දේශාන්තරයන්හි ද ප්‍රචලිත පණ්ඩිත රත්නයක් ව
සිටියහ.
උන්වහන්සේගේ මැදිහත් වීම මත බද්දේගම වාදය, උදන්විට වාදය, ගම්පොළ වාදය, පානදුරා
වාදය, ඌරුගොඩවත්තේ වාදය යන පංච මහා වාද සහ අධිමාස වාදය, සව්සත්දම් වාදය, පාරුපන
වාදය, නණළල වාදය ආදි වාදවිවාද රාශියක් සිදුවිය. මින් නැඟි රාව ප්‍රතිරාවය ඔස්සේ
ලංකා බෞද්ධයන්ගේ මහා ජයග්‍රහණ පිළිබඳ වාර්තා කියවූ විවිධ විදේශික උගත්හු ලක්දිව කරා
ගමනාරම්භ කළෝ ය.
එසේ පැමිණි අය අතරෙහි කර්නල් ඕල්කට්, ලෙඩ්බීටර්, බෙනට් පෝල්, ඩාල්කේ, බ්ලැවැස්කි,
මේරි මියුසියස්, හිගින්ස් ආදි විද්වත්හු අග්‍රගණ්‍ය වූහ. මේ අතර කර්නල් ඕල්කට්තුමා
සුමංගල හිමියන් වෙත පැමිණ බුදුදහම ඉගෙන ගෙන ලක්දිව පුරා සැරි සරමින් බෞද්ධයන්ගේ
නිඳීගැට අරවමින් දේශන පැවැත්විය. පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා එමඟින් බෞද්ධ
පාඨශාලා ආරම්භ කරවූහ. කලට ඔබින ඉංග්‍රීසියට ද නිසි තැන පවරමින් නව උගත් සිංහල බෞද්ධ
පරම්පරාවක් තැනීමට ආනන්ද, නාලන්ද, මහින්ද, ධර්මරාජ ආදි විදේශිකයන් බුද්ධ ධර්මය
වැළඳගෙන පෙරදිග රටවලත්, අමෙරිකාව ආදි අවරදිග රටවලත් ධර්මය ප්‍රචාරය කළෝ ය. මෙනිසා
තත්කාලීන ව බුදුදහම ලොව පුරා ප්‍රචලිත කරවීමට මූලික පියවර ගත්තේ ද හික්කඩුවේ සිරි
සුමංගල නාහිමිපාණන් වහන්සේ බව රහසක් නොවේ.
විද්‍යොදය පිරිවෙණ පිහිටුවීම තුළින් ජාතික හා අධ්‍යාපනික අතින් සිදුකළේ ඉමහත්
සේවයකි. විද්‍යොදය යනු සිරි සුමංගල හිමිගේ සජීවී ප්‍රතිමූර්තිය යැයි කීව ද වරදක්
නොවේ. ඉන් සිංහල සංස්කෘතියේ ඉමහත් ප්‍රබෝධයක් ඇති කළේ ය. එසේ ම සුමංගල හිමි යටතේ
විද්‍යොදය පිරිවෙණෙන් අධ්‍යාපනය හදාළ ජපන්, චීන, සියම්, බුරුම, භාරතීය ආදි නන්
දෙසින් පැමිණි විවිධ උගත්හු සැබෑ උගත්හු බවට පත්වූහ. ඔවුන් සිය දේශයන්හි
විද්‍යාස්ථාන ආරම්භ කළ අතර, නූතනයේ ඒවා විශ්වවිද්‍යාල බවට පත්ව ඇත. වත්මන්හි වුව ද
එකි විද්‍යාස්ථානයන්හි හික්කඩුවේ ශ්‍රී සුමංගල නාමය ශ්‍රී ලංකා ද්වීපයේ සිහිපත්
කරනු ලබන්නේ අතිශය ගෞරව බහුමානයෙනි.
මෙනිසා ද ශ්‍රී සුමංගල නාමය සදා අනුස්මරණීය වන්නක් ම ය. මේ ආදි විවිධ ක්ෂේත්‍රයන්
ඔස්සේ බලන කල හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් බුද්ධ ධර්මයේ, භාෂා ශාස්ත්‍රයේ,
සිංහල දේශයේ හා සමස්ත බෞද්ධ ලෝකයා වෙනුවෙනුත් කළ අසමසම සේවය අති ශ්‍රේෂ්ඨ ය. එසේ
අචින්ත්‍ය වු බුද්ධි මහිමයකින් යුතුව ආගමික, ජාතික, සංස්කෘතික, අධ්‍යාපනික වශයෙන්
සේවයක් සිදු කළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ මීට වර්ෂ 114කට පෙර එනම්
1911 වර්ෂයේ අප්‍රේල් මස 29 වන දිනයක සිහල දැයෙන් සමුගත්හ. |