දිවමන් බුදුරදුන් සේ වන්දනා කළ යුතු
කේශ ධාතුන් වහන්සේ
ගයාන් චානුක විදානපතිරණ
බුදුරජාණන් වහන්සේ ගේ හිස කෙස් “කේශ ධාතු” යනුවෙන් හඳුන්වනු ලැබේ. කේශ ධාතු ඉතා තද
නිල්වන් ව දක්ෂිණාවර්තව (දකුණට කරකැවී) මනාකොට බුදු හිසෙහි තැන්පත් ව ඇත. නරසීහ
ගාථාවන්හි අට වැනි ගාථාවේ පළමු පදයේ දී
“අඤ්ජන වණ්ණ සුනීල සුකෙසො” යනුවෙන් සර්වඥයන් වහන්සේගේ හිස කෙස්වල ස්වභාවය දක්වා ඇත.
කේශ ධාතු නිදන් කර ලොව මුල්වරට ස්තූපයක් තැනුවේ බුදුරදුන් බුදුවීමටත් පළමුව යි.
සිද්ධාර්ථ ගෞතම කුමරු ගිහිගෙය හැරදමා අනෝමා නදී තිරයේ දී මඟුල් කඩුවෙන් තම
කෙස්වැටිය කපා “ඉදින් ඒකාන්තයෙන් ම මම බුදුවෙනවා නම් මේ කෙස්වැටිය අහසෙහි රැඳේවා!
බුදු නොවේ නම් මේ කෙස්වැටිය බිම වැටේවා! යි කියා අදිටන් කර අහසට විසි කළේ ය.
එකෙණෙහි ඒ හිස කෙස් යොදුනක් තරම් වූ ඉහළ අහසට පැන නැගී සිටියේ ය. මෙය දුටු සක්දෙව්
රජු රන් කරඬුවකින් කේශ ධාතු පිළිගෙන තව්තිසා දෙව්ලොවට ගොස් සිළුමිණ නම් මහා සෑයක්
මවා කේශ ධාතු කරඬුව සෑය තුළ තැන්පත් කර පුද සත්කාර කළේ ය. මේ බව ජාතක අටුවා නිදාන
කතාවේ දැක්වේ.
බුදුරදුන් බුද්ධත්වයෙන් සත් වැනි සතිය “රාජායතන” නම් වූ කිරිපලු රුක මුල වැඩ
සිටියහ. ඒ සතිය අවසානයේ දී තපස්සු භල්ලික වෙළෙඳ දෙබෑයෝ කිරිපලු රුක මුල වැඩ සිටි
බුදුරදුන් දැක උන්වහන්සේ වෙත එළැඹ බැදපු සහල් පිටි සහ මී පැණි යොදා කළ අග්ගලා
පිළිගැන්වූහ. බුදුහු සතරවරම් දෙව්රජ දරුවන් පිළිගැන්වූ ගල් පාත්‍ර සතර එකක් කොට ඉන්
දන් පිළිගෙන වළඳා අන්තයෙහි වෙළෙඳ දෙබෑයන්ට දහම් දෙසූහ. දේශනාවසානයේ දී තපස්සු
භල්ලික වෙළෙඳ දෙබෑයෝ බුදුන්, දහම් සරණ ගියහ. සඟුන් සරණ නො ගියේ මන්ද? මේ වන විට
සංඝරත්නය ලොව පහළ වී නො සිටි බැවිනි. ලොව මුල් වතාවට බුදුන්, දහම් සරණ ගිය
උපාසකයින් බවට පත් වූයේ මේ දෙදෙනා ය.
පසුව තපස්සු භල්ලික වෙළෙඳ දෙබෑයෝ බුදු සිරිපා වැඳ ඇඳිලි බැඳ ගෙන “ස්වාමීනි, අපට
වන්දනා කිරීමට කිසියම් පූජනීය වස්තුවක් ලබා දුන මැනවැ’යි කියා ඉල්ලා සිටියහ. බුදුහු
දක්ෂිණ ශ්‍රී හස්තයෙන් තමන් වහන්සේ ගේ හිස පිරිමැද කේශු ධාතු අට මිටක් ලබා දුන්හ.
ඔවුහු බුදුරදුන් ලබා දුන් ඒ කේශ ධාතු අට මිට මහත් වූ ගෞරවයෙන් යුතු ව පිළිගෙන තම
ජාතභූමිය වූ අසිතංජන පුරයට ගොස් කේශ ධාතුවලින් කොටසක් නිදන් කර නුවර දොරටුව අසල
ස්තූපයක් කළහ. සෑම පොහෝ දිනයක ම මේ කේශ ධාතු සෑයෙන් නිල් පැහැති ආලෝක ධාරා විහිදේ.
මේ බව අංගුත්තර නිකායට්ඨකතාවේ දැක්වේ. මෙහි සඳහන් අසිතංජන පුරය ගන්ධාර දේශයට අයත්
නුවරකි.
පසුව මේ තපස්සු භල්ලික වෙළෙඳ දෙබෑයෝ මුහුදු මාර්ගයෙන් වෙළෙඳාමේ යන කල්හි බුදුරදුන්
ලබා දුන් ඒ කේශ ධාතුවලින් කොටසක් ගෙන ලක්දිවට පැමිණ තිරියායේ කඳු ගැටයක් උඩ පිහිටි
ගල් තලාවක් මත කේශ ධාතු කරඬුව තැන්පත් කළහ. තැන්පත් කර ආහාර අනුභව කර යන කල්හි කේශ
ධාතු කරඬුව තිබූ තැනින් සෙලවීමට නොහැකිව “මේ උතුම් ස්ථානයකැ”යි සිතා පස් ගල්
ආදියෙන් කේශ ධාතු කරඬුව වසා කුඩ ස්තූපයක් තනා ඒ සෑයට මල්, සුවඳදුම් පුදා ගියහ.
මේ ස්තූපය අදත් තිරියායේ දක්නට ඇත. එය “ගිරිහඬු සෑය” නම් වේ. කේශ ධාතු ස්තූපයේ
ආරක්ෂාවට පසු කාලයේ දී අලංකාර ගෘහයක් තනා ඇත. එහි නටබුන් අදත් දක්නට ලැබේ. ගිරිහඬු
සෑය පිහිටා ඇති කඳු මුදුනට නගින කල්හි අවට පරිසරය මැනවින් දිස්වේ. මෙහි දැක බලා
ගැනීමට බොහෝ දේ ඇත. බුදුරදුන් ගේ කේශ ධාතු තැන්පත් ව ඇති තිරියායේ ගිරිහඬු සෑය අද
අපේ බෞද්ධයින්ගේ මතකයෙන් ඈත් වී තිබේ. සැබැවින් ම මෙය මහත් වූ දුකට කරුණකි.
තපස්සු භල්ලික වෙළෙඳ දෙබෑයන් කේශ ධාතු තැන්පත් කර ගිරිහඬු සෑය කළ අයුරු පූජාවලියේ
පැහැදිලි ව සඳහන් වේ. ගිරිහඬු සෑය තුළ තපස්සු භල්ලික වෙළෙඳ දෙබෑයන් ලක්දිවට වැඩම
කරවූ කේශ ධාතු තැන්පත් ව ඇති බව තිරියාය පුදබිමෙන් හමු වී ඇති ක්‍රි.ව. 8 වැනි
සියවසට අයත් යැයි සැලකෙන සංස්කෘත සෙල් ලිපියෙන් ද පැහැදිලි වේ.
අම්බලන්තොට වලවේ ගඟ සමීපයේ ඇති ගිරිහඬු සෑයේ ද, කුරුණෑගල මාවතගම අරම්පළ මකුලාන
පුරාණ රාජමහා විහාරයේ ස්තූපය තුළ ද කේශ ධාතු තැන්පත් ව ඇත. මේ ස්තූප දෙකේ ද තැන්පත්
ව ඇත්තේ තපස්සු භල්ලික වෙළෙද දෙබෑයන් ලක්දිවට වැඩම කර වූ කේශ ධාතූන් වහන්සේ ය.
බුදුරදුන් බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පොහෝ දින යක්ෂයින් දමනය කිරීමට ලක්දිව
මහියංගණයට වැඩම කළ සේක. වැඩම කොට යක්ෂයින් දමනය කර දෙවියන්ට දහම් දෙසූ සේක. බුද්ධ
දේශනාව ශ්‍රවණය කළ සුමන සමන් දෙව් රජු සෝවාන් ඵලයට පත් විය.
එකල්හි සුමන සමන් දෙව්රජු බුදුරදුන් වෙත එළැඹ ඇඳිලි බැඳ ගෙන “ස්වාමීනි, අපට වන්දනා
කිරීමට කිසියම් පූජනීය වස්තුවක් ලබා දෙනු මැනවැ”යි කියා ඉල්ලා සිටියේ ය. බුදුහු
දකූණතින් තමන් වහන්සේගේ හිස පිරිමැද කේශ ධාතු මිටක් ලබා දුන්හ. සුමන සමන් දෙව්රජු
රන් කරඬුවකින් කේශ ධාතු පිළිගෙන බුදුරදුන් වැඩ සිටි තැන කේශ ධාතු සහිත රන් කරඬුව
තැන්පත් කර සත් රියන් උසට ඉන්ද්‍රනීල මාණික්‍යමය ස්තූපයක් කළේ ය. සර්වඥ කේශ ධාතු හා
ගී‍්‍රවාස්ථි ධාතුව වැඩ සිටින මහියංගණ මහා ස්තූපයෙන් ද අවස්ථා කිහිපයක දී නොයෙක්
ආකාරයේ ප්‍රාතිහාර්යයන් සිදු වී ඇත.
සේරුවිල මංගල මහා සෑයේ ද කේශ ධාතු තැන්පත් කර ඇත. මේ කේශ ධාතු භූමින්ධර නම් වූ නාග
භවනේ ජයසේන නා රජු සතු ව තිබුණි. නා රජු කේශ ධාතු ලබා ගෙන ඇත්තේ තපස්සු භල්ලික
වෙළෙඳ දෙබෑයන්ගෙනි. නාග ලෝකයේ සිට කේශ ධාතු වැඩම කර වූයේ සිවු තෙරුන් වහන්සේ යි.
මෙයින් පෙනී යන්නේ සේරුවිල මංගල මහා සෑයේ සර්වඥ ලළාට ධාතුන් වහන්සේ මෙන් ම සර්වඥ
කේශ ධාතුන් වහන්සේ ද වැඩ සිටින බවයි. සේරුවිල මංගල මහා සෑයේ නිදන් කිරීමට කේශ ධාතු
ලබා ගත් ආකාරය ධාතුවංශයේ විස්තර වශයෙන් දැක්වේ.
චූළවංශයේ සඳහන් වන ආකාරයට පළමු වැනි මුගලන් රජු සමයේ දී (ක්‍රි.ව. 491 - 508) අඹ
හෙරණ ශිලාකාලයන් දඹදිව සිට ලක්දිවට සර්වඥ කේශ ධාතු වැඩම කරවීය. මුගලන් රජු ඒ කේශ
ධාතු මහත් වූ ගෞරවයෙන් යුතු ව පිළිගෙන අගනා කරඬුවක තැන්පත් කර දීපංකර ප්‍රතිමා
ගෘහයට වැඩම කරවා පුද සත්කාර පවත්වා ඇත.
බුදුරදුන්ගේ කේශ ධාතුන් වහන්සේ සය නමක් නිදන් කර තනන ලද ස්තූප සයක් ගැන විස්තර
“ඡකේශධාතුවංශය” නමැති ග්‍රන්ථයේ සඳහන් වේ. මෙය ප්‍රමාණයෙන් කුඩා පාලි ග්‍රන්ථයකි.
අතීතයේ “කේශධාතුවංශය” නමින් ප්‍රකට ග්‍රන්ථයක් තිබූ බව චූළවංශයෙන් පෙනෙයි. ඒත් ඒ
ග්‍රන්ථය මේ වන විට දක්නට නැති, ඉතා දුර්ලභ ග්‍රන්ථයකි.
චිතගොන් විහාරයේ තැන්පත් කර තිබූ ඉතිරි කේශ ධාතුන් වහන්සේගෙන් තවත් ධාතු කොටසක්
2007 වසරේ දී ලංකාවට ලැබුණි. එම කේශ ධාතුන් වහන්සේ කොළඹ, හුණුපිටිය ගංගාරාම මහා
විහාරයේ දීත්, මාදම්පේ සේනානායකාරාම විහාරයේ දී ත්, දින කිහිපයක් මහජනයාට
ප්‍රදර්ශනය කළ අතර අතිවිශාල පිරිසක් කේශ ධාතු වන්දනා කිරීමට පැමිණියහ.
බංග්ලාදේශයෙන් වැඩම කර වූ එම කේශ ධාතුන් වහන්සේ කොළඹ, හුණුපිටිය ගංගාරාම මහා
විහාරයේ තැන්පත් කර ඇත. ගංගාරාම මහා විහාරයේ වැඩ සිටින කේශ ධාතුන් වහන්සේ අඟලක්
තරම් දිග ය. සිහින් ය. තද කලු පැහැති ය. දීප්තිමත් ය. |