සිහියෙන් බුද්ධියෙන් ලෝකය විඳින්න
සියඹලාගොඩ ධම්මින්ද හිමි
යහපත, අයහපත, හොඳ නරක, සදාචාරය, දුරාචාරය ප්‍රඥාවෙන් දැකිය යුතු ය. ලෝණඵල සූත්‍ර
දේශනයට අනුව එය මහේශාක්‍යවීමට හේතුවකි. බුදුදහමට අනුව යමක් වැරැදි යන්න තීරණය කරන
මිණුම් දඬු 03කි. ඒ අතර හේතුඵල දහම හෙවත් විශ්ව සාධාරණ ධර්මය, සමාජ සම්මතය හා තමාගේ
ප්‍රතිපත්ති යන කරුණු ය.
ආගමික උත්සවයක්, සංස්කෘතික මංගල්‍යයක් හෝ වෙනයම් සමාජ සම්මත උත්සව සැණකෙළි වේවා ඉහත
මූලධර්මය මත පදනම් ව භුක්තිවිඳීම සහ පැවරීම කළ යුතු ය. එසේ නොවන සෑම විට ම
සිදුවන්නේ අලාභයක්. අපවාදයක්, දඬුවමක් පමණි.
ඕනෑම යහපත් දෙයක් කල්යත් ම අයහපත නිසා දූෂණය විය හැකි ය. සිංහල අලුත් අවුරුදු
චාරිත්‍ර හැසිරීම සහ කටයුතු ද මේ අර්ථයෙන් ම තේරුම් ගැනීම වැදගත් ය. සංස්කෘතිය
අනාගත පරම්පරාවට පැවරීමේ දී එය ඉතා සියුම් ව අවබෝධයෙන් කළ යුතු කාර්යයකි. අයහපත් දෑ
මේ සඳහා එකතු නොකිරීමට වැඩිහිටියන් වගබලා ගැනීම ඉතා වැදගත් වේ.
ලෝකය විඳි බොහෝ දෙනෙක් එය වින්දනය කළේ සිහියෙන් හා බුද්ධියෙනි. එහෙයින් විශේෂ
අවස්ථාවන්වල දී මත්ද්‍රව්‍ය මත්වතුර මුලට එකතු කර නොගැනීමට පරිස්සම්වීම ඉතා වැදගත්
වේ.
දහමට අනුව මත්වීමට හා ප්‍රමාදවීමට හේතුවන එවන් දෑ පරාභවයට හේතුවකි. වසල ක්‍රියාවකි.
මංගල සම්මත කාරණා අතර මජ්ජපානාච සංයමෝ යන්නට ප්‍රතිවිරුද්ධ ස්වභාවයකි. එවන් ක්‍රියා
සිදුවන්නේ නම් ආයුෂ, සෞභාග්‍ය, සැනසුම, සතුට, සාමය ප්‍රාර්ථනා කළ නොහැකි වේ.
ගිහි වේවා, පැවිදි වේවා සියල්ලෝ ම සතු ව කාය භාවනාව පැවතීම ඉතා වැදගත් ය. එය නැති
වූ තැන සියල්ලෝ ම ප්‍රමාද වූවෝ වෙති. ධනය, බලය, රූපය හෝ වෙනයම් කුමන කාරණාවක් මත
කෙනෙක් ප්‍රමාද වන්නේ නම්, එය දහම අගය නොකරයි. දහම නිතර ඇගයීමට ලක් කළේ අප්‍රමාදී
වීමයි.
දහමට අනුව ප්‍රමාද වූවෝ මළවුන් හා සමාන ය. තථාගතයන් වහන්සේගේ අවසාන බුද්ධ වචනය වූයේ
“අප්පමාදේන සම්මාදේථ” යනුවෙනි. බොහෝ ගිහි පැවිද්දන්ට අමතක වන වචනය බවට පත්ව ඇත්තේ ද
මෙයයි.
අශෝක රජු වරක ප්‍රමාද වී නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ අප්‍රමාදීවීමේ වටිනාකම
ඇසීමෙන් අනතුරුව තම ජීවිතය අයහපතින් දුරු කර ගැනීමට අවස්ථාව උදා කර ගත්හ. ඉතා පුංචි
සැපයක දී උඩඟු වී ප්‍රමාදයට පත්වීම මහත් අලාභයකි. දෙව්දත් හිමියන් මාගන්ධියා,
චිංචිමානවිකාව වහ වහා ප්‍රමාද වූ අය වූහ.
වර්තමානයේ ද විවිධ ක්ෂේත්‍ර තුළ එවන් ප්‍රමාද වූවන් හමුවේ. ප්‍රමාදය ගර්හාවට
හේතුවකි.
අප්‍රමාදය ප්‍රශංසාවට හේතුවක් වේ. අප්‍රමාදී වූ සක්‍රයා දෙවියන් අතර ශ්‍රේෂ්ඨ වූහ.
කායභාවනාව ඉතා වැදගත් වේ. කය හැසිරවීමේ දී කාමලෝකයක බොහෝ අයහපත් දෑ සිදුවීමට ඉඩ ඇත.
මෙය ඉතා හොඳින් තේරුම්ගත යුතු ය. මේ කය පරිහරණයේ දී රාගය, ද්වේෂය, මෝහය, බිය,
සැකසංකා පශ්චාත්තාප වැනි කාරණාවන්ට ගොදුරු වේ. එහිදී ව්‍යභිචාරී කටයුතු සිදුවීම
කායභාවනාව නැති වීමට හේතුවකි.
කායභාවනාව ඇති අය අනෙකාගේ අවධානය දිනා ගන්නට මත්පැන් පානය, වසබීම, සියදිවි අහිමි කර
ගැනීම වෙනුවෙන් සිදුකරන බොහෝ ක්‍රියාවන්ගෙන් ඈත්වීම අවශ්‍ය වේ. අප අනෙකාගේ අවධානය
දිනාගත යුත්තේ සම්මතයේ සිට මිස අසම්මතයේ නොවේ. අසම්මතයෙන් එය ලබා ගැනීමට යාමේ දී
අයහපත් පුරුදු, ක්‍රියාමාර්ග ගැනීමට සිදු වේ. එය යහපත් තත්ත්වයන් නොවේ.
කටයුතු කිරීමේ දී වරද, එහි හේතුඵලය පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය. තමන්ගේ
ඇස් දෙකට පෙනෙන, දෙසවනට ඇසෙන යම් වරදක් නම් එය තමන් තුළ ද ඇද්ද බලා, ඇත්නම් එය
නිවැරැදි කර ගැනීම වඩා වැදගත් වේ.
බාහිර ව සෑම අංශයක ම අලුත්වීම මෙන් ම තමාගේ සිතුම් පැතුම් ආකල්ප හැසිරීම් මේ සියල්ල
අලුත්වීම, පිරිසිදුවීම ඉතා ම වැදගත් වේ. එසේ නොවන්නේ නම් මහත් අලාභයකි.
දේවදත්ත හිමියන් බුද්ධෝත්පාද කාලයක උපත ලද වුවත් කායභාවනාව නැතිවීම මත අද අවීචි මහ
නිරයෙහි දුක් විඳී. එහෙයින් පිරිසුදු මිනිස් දිවියක් ලැබුවා වුව ද කය අවභාවිත
කරන්නේ නම් එය දෙලොව හානි පිණිස ම පවතී. තමාගේ පිරිසුදු බව හෝ අපිරිසුදු බව හෝ රඳා
පවතින්නේ තමා තුළ ය. එය වෙනත් කෙනකුට සිදුකළ හැකි දෙයක් නොවේ. නිවන පවා මරණින්
මෙපිට දෙයක් මිස මරණින් මතු තත්ත්වයක් නොවේ. එනිසා ම පොළොව ගිනි තියා අහසෙහි
දෙවියන් සෙවීමෙන් පළක් නොවේ. එය ඉතා හොඳින් තේරුම් ගත යුතු වේ.
අම්බලට්ඨික රාහුලෝවාද සුත්‍රයෙහි දී රාහුල හිමියන් අමතා තථාගතයන් වහන්සේ දේශනා කළේ
කරන ක්‍රියාව තමන්ට, අනුන්ට, මේ දෙපිරිසට ම හානි නොවන්නේ නම්, එය සිදු කරන්න
යනුවෙනි. ඒ බුදුමඟ ගමන් කළ හැකි නම් අයහපතින් මිදීමේ හැකියාව ලැබේ.
ආත්මලාභී ව, ආත්ම තෘෂ්ණාව සහිත ව කටයුතු සිදුකිරීම, බුදුරදුන් සරණයාමක් නොවේ. දහම
යන්නෙන් පොදුවේ පිළිගනු ලබන්නේ බුදු දහම, කතෝලික දහම, හින්දු දහම, ඉස්ලාම් දහම
නොවේ. දහම යනු මෛත්‍රියයි, කරුණාවයි. අවිහිංසාව, පරාර්ථකාමීත්වය, ඉවසීම,
උපේක්ෂාවයි. මේ මානව ගුණධර්ම යමකු තුළ නොපවතින්නේ නම් ඔහුගේ හෝ ඇයගේ හෝ ආගමික
ජීවිතයෙන් ඇති වැදගත්කමක් නොපෙනේ.
සාමාන්‍යයෙන් කෙනකු සිල්වතකු, ගුණවතකු ලෙස පෙනී සිටීම සාමාන්‍ය වේ. වඩා වටින්නේ
ඔහුගේ හෝ ඇයගේ හෝ සීලය අපට දැනෙන ප්‍රමාණය යි.
කෙනකු සිල්වතෙක් ලෙස පෙනී ඉන්නේ නම් ඔහු භෞතික, ආධ්‍යාත්මික දියුණුවේ යම් පංගුවක්
අත්පත් කර ගෙන සිටිය යුතු වේ. එසේ නොවන්නේ නම් එය අනර්ථකර වේ. සීල ගුණය යනු තමන්ට
මෙන් ම සමස්ත සමාජයට දැකි ය යුතු දෙයකි.
අයහපත දුරු කිරීමේ දී වටිනාකම සහ මිල අතර වෙනස වඩා හොඳින් තේරුම් ගැනීම අවශ්‍යය.
එසේම සියල්ලට ම ආර්ථික සාධකය මත තීන්දු කළ යුතු නොවේ. එවිට යහපත, අයහපත තෝරා ගැනීම
කළ හැකි ය. එසේ නොමැති විට ලාභය මත ම තීන්දු තීරණ ගැනීමට පෙළඹේ.
අප සිහියෙන් කර ගත යුතු කරුණ වන්නේ ආත්ම තෘප්තිය, පරෝපකාරයේ කැමැත්ත. පව පින තේරුම්
කොටගෙන කටයුතු කරන මිනිසුන් ද සමාජයේ ඇති බවයි. එහෙයින් මුදලට යට නොවන පිරිස් මේ
සමාජය යහපත් දිශාවට ගෙන යද්දී එසේ නොවන්නන් ද තම මනස යහපත් දිශාවට යොමු කරවීම
අවශ්‍ය වේ. |