[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් පුර පසළොස්වක පෝ දා 2025-04-12

පිළිවෙතින් පෙළ ගැසෙමු

දිවමන් බුදුරදුන් ලෙස සෙංකඩගල පුර සිරි දළදා මන්දිරයෙහි විරාජමාන ව වැඩ සිටින දළදා හාමුදුරුවෝ සමස්ත ලෝකවාසී බොදු ජනතාව ගේ ද, අනාගත පරපුරේ ද ආධ්‍යාත්මික බවේ සංකේතය යි. වසර ගණනාවකට පසු පින්සිත් සුපහන් කරවමින් ඒ උතුම් දළදා වන්දනා කිරීමේ පුණ්‍යවන්ත අවස්ථාව එළඹීම බොදු දනන් ලද භාග්‍යයක් ම ය.

දළදා හිමියන්ගේ ආශිර්වාදය ලැබ ලෞකික, ලෝකෝත්තර ජීවිතය සුවපත් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් අපමණ පිරිස් දළදා වන්දනාව වෙනුවෙන් දැන් සිට ම පෙළගැසීම තුළ බෞද්ධ හදවත්වලට දැනෙන්නේ පහන් හැඟීමකි.

තථාගත බුදුපියාණන් වහන්සේගේ සුවාසූ දහසක් ශ්‍රී සද්ධර්මයේ ස්පර්ශය ලැබුවා වූ උතුම් දන්තධාතුන් වහන්සේ වන්දනාමාන කරනවා යන්න සරල කාරණයක් නොවේ. එක් අවස්ථාවක වක්කලී හාමුදුරුවන් අමතා බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළේ “යම් කෙනෙක් ධර්මය දකී නම් හෙතෙම මා දකී” යනුවෙනි.

දළදා වහන්සේගේ ආශිර්වාදය ලබන්නට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරිදි ධර්මය දැකිය යුතු ය. ධර්මය දකිනවා යනු ධර්ම ඥානය වර්ධනය කර ගැනීම ම නොවේ. ජීවිතයට ප්‍රායෝගික කර ගැනීම ය. ‘ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි’ එවිට තමන් සුරකින ධර්මය විසින් ම තමන් සුරැකෙනු ඇත.

සියලු බෞද්ධයෝ බෞද්ධකම රැක ගන්නෝ විය යුතු ය. තථාගතයන් වහන්සේගේ මහා කරුණාව, මෛත්‍රී ගුණය කිසිවකුට සම කළ නොහැකි ය. යම් කෙනෙක් ශ්‍රී සද්ධර්මය සරණ ගියේ ද, කරුණාව මෛත්‍රීය තම හදවත්හි ද රෝපණය කර ගන්නට අප්‍රමාදී විය යුතු ය. ඒ උත්සාහය ජීවිතයේ ප්‍රශ්න, ගැටලු පහසුවෙන් හා අර්ථාන්විත ව විසඳා ගත හැකි අපූර්වතම මාවතකි.

මෙත් සිත වර්ධනය කරන පුද්ගලයා සිල්වත් ය. ඔහු පස් පව් නොකරයි. පන්සිල් සුරැකෙන සමාජය තුළ ජීවිතය පැවැත්වීමෙහි ලා බිය, සැක සංකා උපදින්නේ නැත.

තථාගතයන් වහන්සේ මාර සේනා පරාජය කළේ ඉවසීමෙනි. එය උසස් තපස් ගුණයක් බව ධර්මෝපදේශය යි. ඒ උතුම් ආදර්ශය බෞද්ධයා තම ජීවිතයට ද පුරුදු පුහුණු කළ යුතු ය.

එක් අවස්ථාවක සුරාවෙන් මත් වූ නාලාගිරි නම් ඇතු උන්වහන්සේ ඉදිරියට පැමිණියේ හෙණ හඬ නඟමිනි. එහෙත් භාග්‍යවතුන් වහන්සේගේ මෙත් සිසිල් ගුණය ඉදිරියේ ඇතු දමනය වූ සැටි අපූර්ව ය. ජීවිතයේ අපමණ බාධක, අභියෝග පැමිණෙන්නේ නාලාගිරි ඇතුන් ලෙසිනි. තථාගතයන් වහන්සේ අභියෝගවලට මුහුණදුන් ආකාරය ආදර්ශය කර ගන්නවා නම් බෞද්ධයා අභියෝග හමුවේ පරදින්නේ නැත.

ජීවිතයට නින්දා අපහාස පැමිණීම ලෝක ස්වභාවය යි. වරෙක චිංචිමානවිකාව බුදුරදුන්ට අපහාස කළේ ඉතා අශෝභන ලෙස ය. එහෙත් සන්සුන් සමාහිත බලෙන් අප මුනින්ද්‍රයාණෝ ඒ සියල්ල දිනූහ.

ධර්මය තුළ විග්‍රහ කෙරෙන්නේ ජීවිතයේ යථාර්ථය යි. සම්බුද්ධ චරිතය ආදර්ශයට ගෙන, දහම තුළ ජීවත්වීමේ අරමුණු පෙරදැරි ව උතුම් දළදා වන්දනාවට පිළිවෙතින් පෙළ ගැසෙමු.

බක් පුර පසළොස්වක

 අප්‍රේල් 12 සෙනසුරාදා පූ.භා 03.24 පුර පසළොස්වක ලබා 13 ඉරිදා පූ.භා 05.53න් ගෙවේ.
12 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 12

Second Quarterඅව අටවක

අප්‍රේල් 21

Full Moonඅමාවක

අප්‍රේල් 27

First Quarterපුර අටවක

මැයි 04


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]