[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සනාතනික වටිනාකම් දිය කරන අනුමාන තීරණ

සනාතනික වටිනාකම් දිය කරන අනුමාන තීරණ

ලොව සෑම සත්වයකුට ම වඩා මිනිසා තේරුම් ගැනිම අපහසුයි. දුෂ්කරයි. එය පැහැදිලි ව, කරුණු සහිත ව අපේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා. කෙනකුගේ රූපය දැකලා, ශරීර වර්ණය, රුපශ්‍රිය දැකලා, උස මහත දැකලා බොහෝ අය මුළාවට පත් වෙනවා. ඒ වගේම ඉතා කෙටි ඇසුරකින් විශ්වාසවන්ත වෙනවා.

සංවර බව, සිල්වත් ගුණවත් බව පෙනෙන්නට තිබුණත් අභ්‍යන්තරයෙන් බොහොම පහත් ගති ලක්ෂණ ඇති අයකු ම තමයි බොහෝවිට අවසානයට අපට දැක ගන්නට පුළුවන් වන්නේ.

බොහෝ විට වෙළෙඳපොළේ ආභරණ වර්ග විවිධ රන්, රිදී ආදි අගනා ද්‍රව්‍යවලින් මෙන් ම සමහරවිට රන්මුවා පෙනුමක් ඇති, ව්‍යාජ ස්වභාවයක් පෙන්වා දෙමින් විකිණීමට එදත් තිබුණා. අදත් තිබෙනවා. රන්වන් පෙනුමක් ඇති ආභරණවලට රැවටිලා ඒවා මිල දී ගැනීමට විශේෂයෙන් කාන්තා පක්ෂය පෙළඹෙනවා. මුදල් වැය කරනවා. අන්තිමට තමන් මහා මුළාවකට පත් වී ඇති බව තේරුම් ගෙන පසුතැවීමට පත් වෙනවා.

ඒ විතරක් නොවෙයි, පසුගිය කාලයේ නොයෙක් ව්‍යාජ රැවටීම් මත වංචනික මූල්‍ය ආයතනවල මුදල් මවාපෑම්වලට රැවටී කොපමණ නම් පිරිසක් අද මහත් අමාරුවට පත් වි සිටිනවා ද? සමහරු සිදු වූ පාඩුවට, කම්පනයට පත්ව සිය දිවි පවා අහිමි කර ගත්තා. මානසික වශයෙනුත් උම්මත්තක භාවයට පත් වුණු අවස්ථා තිබෙනවා.

නොයෙක් විදිහට රටේ ජනතාව මුළා කර ව්‍යාජ ලෙස විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙනවා. මේ තත්ත්වය අදත් එදත් සමාජයේ පොදු තත්වයක්. ඉතින් මේ විදිහට නොයෙක් ආකාරයෙන් වෙස්වළාගත් උදවිය සමාජයේ විමුක්ති දායකයන් ලෙස ජනතාව මුළාවට පත් කරමින් විවිධ අසාධාරණ අදායම් පමණක් නොව, නොමඟට යවා අසහනයට පත්වන එම ජනතාවගෙන් නොයෙක් ලාභ ප්‍රයෝජන ලබා ගනිමින් තමත්ගේ කාමභෝගි සැප සම්පත් වැඩි දියුණු කර ගන්නවා. සැබැවින් ම මේ ව්‍යාජ පෙනුමක් ඇති ව ක්‍රියා කරන විමුක්තිදායකයන් ඇතුළතින් ඉතා අවාසනාවන්ත ලෙස අසුද්ධ පිරිසක්. පිටතින් මහා කරුණාවෙන් හා අනුකම්පාවෙන් දුකට පත් වූවන් එයින් මුදවා සදාකාලික සුවයට පත් කරන බව පෙන්වා දෙමින්, වහසි බස් දොඩමින් ඔවුන්ගේ ආගමික මතවාදයන් ලෝකයේ පතුරුවනවා.

බුදුරජාණන් වහන්සේ මේ තත්වය පෙන්වා දෙන්නේ ඉතා අපූරු සිද්ධියක් මුල් කර ගෙනයි. මේ විස්තර සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයේ එන සත්ත ජටිල සූත්‍රයෙහි අපට හමුවෙනවා.

දිනක් බුදුරජාණන් වහන්සේ හා කොසොල් මහරජතුමා අතර සාකච්ඡාවක් සැවැත්නුවර මිගාරමාතු පාසාදයේ බිහිදොර එළිපත්තේ දී සිදු වෙනවා. මේ අවස්ථාවේ දී එහි ඉදිරියෙන් ගමන් කරන කිහිළිවල, නාස් සිදුරු තුළ, දෙකන්වල, දිගු ලොම් ගස් වැඩුණු, හිස රැවුල් දිගු ලෙස වැඩී පහළට එල්ලා වැටුණු, හිස මත ජටා බැඳ ගත් ජටිලයන් හතක් ද, උරහිස එක් සලුවක් පමණක් පැළඳ ගත් ඒකසාටකයන් හතක් ද, ඇඟේ නූල්පටක තරම්වත් වස්ත්‍රයක් නැති නිර්වස්ත්‍ර අචේලකයන් හතක්, තැන තැන ඇවිදිමින් විමුක්තිය පෙන්වා දෙමින් දහම් දෙසනවා කියන පරිබ්‍රාජකයන් හතක් ද, නිර්වස්ත්‍ර නිඝණ්ඨකයන් හත් දෙනෙක් ද වශයෙන් කණ්ඩායමක් ගමන් ගත්තා.

මේ දර්ශනයෙන් වහා මහත් ප්‍රීතියට පත් කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ සමඟ කරමින් සිටි පිළිසඳර කතාබහ එක්වරම නවතා දමා නැඟී සිට දුව ගොස් අර මිසදිටු පූජකවරුන් කණ්ඩායම් ඉදිරියෙහි දනින් වැටී මහත් භක්තියෙන් හා ගෞරවයෙන් 'රාජාහං භන්තෙ පසෙනදී කොසලො' යනුවෙන් මහත් හඬින් කියමින් දෙපා මත වැඳ වැටෙමින් නමස්කාර කර ඔවුන් ඉක්ම ගිය පසු බුදුරජාණන් වහන්සේ වෙතට ම පැමිණ ප්‍රකාශ කරනවා "දුටුවා ද ස්වාමීනි, අර මෙතැනින් ගිය පිරිස, ඒ උන්වහන්සේත්, ඔබ වහන්සේගේ මෙහි වැඩ වසන ශ්‍රාවකයන් වගේම පිරිසක්. ඒ උදවියත් මේ වගේ ම රහතන් වහන්සේ. කෙලෙස් නැසූ උත්තමයන් වහන්සේ කිසිවකට ආශාවක් නැහැ. වස්ත්‍රයක්, ඇඳුමක්වත් තරම් දෙයකට ආශාවක් නැහැ. කෙලෙස් නැති කරපු පිරිසක් ” කියලා.

ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ කරුණු පහක් යටතේ දිර්ඝ කාලයක් තුළ විමසා පුද්ගලයකු තේරුම් ගෙන ක්‍රියා කළ යුතු අනුපිළිවෙළක් විස්තර කරනවා.

අපි සමහරවිට එක් එක් පුද්ගලයා, භික්ෂූන් වහන්සේ ගැන, ඒ අයගේ සිල්වත්, දුසිල්වත් බව ගැන කියනවා. විවේචනය කරනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ කෙනකුගේ සීලවන්ත බව ගැන දැක්ක දුටුව පමණින් තීරණය කිරීමට බැහැ. ඒ අය නිතර ඇසුරු නිසුරු කරලා, කාලාන්තරයක් ඒ අය සමඟ ළඟින් ජිවත්වෙලා, ඒ ගැන නිතර සෙවිල්ලෙන් ඉඳලා, තමන් සැබෑ බුද්ධිමත් නැණැතියෙක් ම වෙලයි ඒ ගැන නිගමනයකට පැමිණිය යුත්තේ. ඒ වගේ ම කෙනකුගේ ජීවිතයේ පාරිශුද්ධත්වය, ගෞරවාන්විත බව, පූජනීයත්වය තීරණය කළ යුත්තේ ඒ අය සමඟ නිතර කතාබස් කරමින් දිගු කලක් ගත කිරීමෙන් පමණක් ම යි. එපමණක් නොව කෙනකුගේ ධෛර්යවන්ත බව, උත්සාහය කොපමණ නම් ශක්තිමත් ව පවතිනවා ද යන්න තීරණය කළ හැක්කේ දිර්ඝ කාලයක් තිස්සේ ඒ පුද්ගලයා ඉදිරියට හමුවන අභියෝග, ආපදා, විපත්ති වැනි කරුණුවල දී ඒවාට සාර්ථක ව මුහුණ දී ඒවා ජයග්‍රහණය කර ගැනීමට දක්වන සමර්ථ බව දීර්ඝ කාලයක් තුළ විමසා බැලීමෙන් පසුව බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා.

අපි යම් යම් පුද්ගලයන්ගේ නැණවත් බව, ස්ථාමෝචිත ප්‍රඥාව ගැන ප්‍රමාණ කරනවා. ඒ පුද්ගලයා සමඟ විවිධ මාතෘකා, කාරණා, ගැටලු සම්බන්ධ ව සාකච්ඡා කරන විට ඒ අයගේ ප්‍රඥාවන්ත භාවය මනිනවා. බුදුරජාණන් වහන්සේ එහිදීත් පෙන්වා දෙන්නේ එක් අවස්ථාවක්, කරුණක් ගැන පමණක් නොව දිර්ඝ කාලයක් තුළ ම කරනු ලබන සාකච්ඡා මගින් යම් කෙනකුගේ ප්‍රඥා මට්ටම ප්‍රමාණ කළ යුතු බවයි.

මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීමට උත්සාහ දරා ඇත්තේ අප බොහෝ විට වැරැදි සහගත ව ගන්නා විසඳුම්, තීරණවලට සනාථනික වටිනාකමක් දිය නො හැකි ව ඒවා ලත් තැන ම ලොප් වී අනපේක්ෂිත අවස්ථාවන්ට මුහුණ දෙන්නේ මේ කෙටි තීරණ නිසා බවයි.

බක් පුර පසළොස්වක

 අප්‍රේල් 12 සෙනසුරාදා පූ.භා 03.24 පුර පසළොස්වක ලබා 13 ඉරිදා පූ.භා 05.53න් ගෙවේ.
12 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 12

Second Quarterඅව අටවක

අප්‍රේල් 21

Full Moonඅමාවක

අප්‍රේල් 27

First Quarterපුර අටවක

මැයි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]