[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දැය එකලු කළ මිණි පහන හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ

දැය එකලු කළ මිණි පහන හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ

දහවන සියවසේ සිහල දැයත්, සිහලකමත්, බොදු දහමත්, ශබ්ද ශාස්ත්‍රයත් නිලීන ව මිලාන ව යමින් පැවති දූර්දශාපන්න වකවානුවක ය අප කථානායකයාණෝ මෙලොව එළිය දුටුයේ, ඒ වර්ෂ 1827 ජනවාරි මස 20 වැනි දින හික්කඩුව නම් ගම් පියසේ දී ය.

හික්කඩුවේ හෙට්ටිගොඩ ගම්වැසි ජොහාන්ස් අබේගුණවර්ධන රාලහාමි හා දණ්ඩන්ගොඩ ගමගේ ක්‍රිස්තිනාහාමි යන දම්පතීහු මෙම පින්වත් කුමරුගේ දෙමවුපියන් වූහ. මෙම කුමරාගේ ගිහි නම වූයේ නිකුලස් අබේවීර ලියනාරච්චි ගුණවර්ධන යන්න යි. බුදුසසුන කෙරේ තම සිත් නෙත් යොමුවීම නිසා 1840 වර්ෂයේ නොවැම්බර් මස දී තොටගමු විජයබා විහාරස්ථානයේ දී පැවිදි දිවියට එළඹියේ මාබොටුවන රේවත හිමියන් හා මැලෑගොඩ ශ්‍රීනිවාස ගුණරතන යන හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් හික්කඩුවේ ශ්‍රී සුමංගල යන නමිනි. අනතුරුව පැවිදි අධ්‍යාපනය වළානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් ආදි බහුශ්‍රැත මහ තෙරවරුන් ඇසුරෙන් හදාළ එතුමා ඉතාමත් උත්සාහයෙන්, ධෛර්යයෙන් හා කැපවීමෙන් අධ්‍යාපනය හදාළ අතර, නිසර්ග බුද්ධිය හා සහජ දක්ෂකම නිසා ම ගුරුවරුන් දැක්වූ දෙය සිය ගුණයෙන් අවබෝධ කර ගැනීමට දක්ෂ වූයේ ය. උගතමනා බණ දහමින්, සුපිරිපුන් බුද්ධියෙන් හා නිසි වයසින් ද හෙබි සුමංගල තෙරණුවෝ 1848 වන වර්ෂයේ දී මහනුවර මහාවිහාර මංගල උපෝසථාගාරයේ දී උපසම්පදා පදවියට පත් වූයේ ය.

මෙම වකවානුව වනවිට සිංහලයන් ආර්ය සිංහල සභ්‍යත්වයත්, ආර්ය සිංහල නාමාවලියත් යන උතුම් අනන්‍යතා අතහැර සිටි සමයකි. නිවැරැදි ව සිංහල වාක්‍යයක් ලියාගත නොහැකි ස්වදේශීය පිරිසක් සිටි සමයකි. මෙකල ලක්දිව ශාස්ත්‍රාලෝකය පැතිරවීමට මහත් ආයාසයක් ගත් ජාතිවාත්සල්‍යයෙන් යුතු පිරිසකගේ ඇරයුම පරිදි හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් 1871 දී ගාල්ලෙන් කොළඹ මාලිගාකන්දට වැඩම කොට අරාජිකත්වය නමැති තිමිර පටලයෙන් වැසෙමින් තිබූ ලක්දෙරණත්, තත් සංස්කෘතියත්, සභ්‍යත්වයත්, එකලු කරනුවස් ශ්‍රී සුමංගල නමැති මුදුන් පහනින් යුතු විද්‍යොදය නමැති ප්‍රදීපස්ථම්භය 1873 වර්ෂයේ දී පිහිටුවාලූහ.

උන්වහන්සේ ධර්ම විනය කෙරේ අතිශය ගෞරව සම්ප්‍රයුක්ත වූවා සේ ම ත්‍රිපිටකය විෂයයෙහි පාරප්‍රාප්ත වූයේ විය.

බුදුදහම පමණක් නොව තත්කාලීන ව විශ්ව ව්‍යාප්ත ආගම් වූ ක්‍රිස්තියානි ආදි ආගම් පිළිබඳ ව ද උන්වහන්සේ පෘථුල දැනීමකින් සන්නද්ධ වූහ. උන්වහන්සේ පරිහරණය කළ ඉංග්‍රීසි බයිබලය වර්තමානයේ ද විද්‍යොදය පිරිවෙන් බිමේ දිස්වේ.

සුමංගල නාහිමිපාණන් වහන්සේ තත්කාලීන ව දේශ දේශාන්තරයන්හි ද ප්‍රචලිත පණ්ඩිත රත්නයක් ව සිටියහ.

උන්වහන්සේගේ මැදිහත් වීම මත බද්දේගම වාදය, උදන්විට වාදය, ගම්පොළ වාදය, පානදුරා වාදය, ඌරුගොඩවත්තේ වාදය යන පංච මහා වාද සහ අධිමාස වාදය, සව්සත්දම් වාදය, පාරුපන වාදය, නණළල වාදය ආදි වාදවිවාද රාශියක් සිදුවිය. මෙම වාදවල දී සුමංගල නාහිමියෝ කථිකයන්ට අවශ්‍ය කරන කරුණු සපයා දෙමින් ඔවුන් උද්‍යෝගිමත් කළහ. එබැවින් ඉන් ලද ජයග්‍රහණ භාෂාවේ පෝෂණයට, සාහිත්‍යයේ දියුණුවට, අධ්‍යාපනයේ ප්‍රතිෂ්ඨාපනයට සංඝ සමාජයේ හැඩගැසීමට හා ගිහිපැවදි දෙපාර්ශ්වයේ ම ආගමික ජාතික ශාස්ත්‍රිය උද්‍යෝගය හා නැඹුරුව ඇති කරලීමට අතිසාධනීය පියවර රාශියක් ඉස්මතු කළේ ය. මින් නැගි රාවය ප්‍රතිරාවය ඔස්සේ ලංකා බෞද්ධයන්ගේ මහා ජයග්‍රහණ පිළිබඳ වාර්තා කියවූ විවිධ විදේශික උගත්හු ලක්දිව කරා ගමනාරම්භ කළෝ ය. එසේ පැමිණි අය අතරෙහි කර්නල් ඕල්කට්, ලෙඩ්බීටර්, බෙනට් පෝල්, ඩාල්කේ, බ්ලැවැස්කි, මේරි මියුසියස්, හිගින්ස් ආදි විද්වත්හු අග්‍රගණ්‍ය වූහ. මේ අතර කර්නල් ඕල්කට්තුමා සුමංගල හිමියන් වෙත පැමිණ බුදුදහම ඉගෙන ගෙන ලක්දිව පුරා සැරි සරමින් බෞද්ධයන්ගේ නිඳීගැට අරවමින් දේශන පැවැත්විය. පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා එමඟින් බෞද්ධ පාඨශාලා ආරම්භ කරවූහ. කලට ඔබින ඉංග්‍රීසියට ද නිසි තැන පවරමින් නව උගත් සිංහල බෞද්ධ පරම්පරාවක් තැනීමට ආනන්ද, නාලන්ද, මහින්ද, ධර්මරාජ ආදි විද්‍යාල බිහිවිය. විද්‍යොදය පිරිවෙණ පිහිටුවීම තුළින් ජාතික හා අධ්‍යාපනික අතින් සිදුකළේ ඉමහත් සේවයකි. විද්‍යොදය යනු සිරි සුමංගල හිමිගේ සජීවී ප්‍රතිමූර්තිය යැයි කීව ද වරදක් නොවේ. ඉන් සිංහල සංස්කෘතියේ ඉමහත් ප්‍රබෝධයක් ඇති කළේ ය.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් බුද්ධ ධර්මයේ, භාෂා ශාස්ත්‍රයේ, සිංහල දේශයේ හා සමස්ත බෞද්ධ ලෝකයා වෙනුවෙනුත් කළ අසමසම සේවය අතිශ්‍රේෂ්ඨ ය. උන්වහන්සේ මීට වර්ෂ 114කට පෙර එනම් 1911 වර්ෂයේ අප්‍රේල් මස 29 වැනි දිනයක සිහල දැයෙන් සමුගත්හ. නාහිමියන්ගේ 114 වැනි සංවත්සරයත්, විද්‍යොදය පිරිවෙණ පිහිටුවා වර්ෂ 150ක් සපිරීමේ මහෝත්සවයත් අප්‍රේල් 29 වැනි දින උත්කර්ෂවත් අන්දමින් විද්‍යොදය පිරිවෙණ මුල්කර ගෙන සැමරෙන මේ මොහොතේ සිහල දැය එකලු කළ මහා පහන්ටැඹ වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

 

බක් පුර පසළොස්වක

 අප්‍රේල් 12 සෙනසුරාදා පූ.භා 03.24 පුර පසළොස්වක ලබා 13 ඉරිදා පූ.භා 05.53න් ගෙවේ.
12 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 12

Second Quarterඅව අටවක

අප්‍රේල් 21

Full Moonඅමාවක

අප්‍රේල් 27

First Quarterපුර අටවක

මැයි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]